Breaking News

ලාංකික සහෝදරියන්ගේ විමුක්තියේ රාව නංවන “දුර දසුනෙක හිරු ගිනි ගෙන..”

දෙවැන්න..

කදුකර කම්කරු ප්‍රජාවගේ පීඩනයට එරෙහිව විමුක්තියේ ගිනි සිලු දැල්වූ මීනක්ෂි අම්මාල් පිළිබද අපූර්ව තොරතොරු රැසක් අනුෂා සිවලිංගම් පරිවර්තනය කළ “දුර දසුනෙක හිරු ගිනි ගෙන ” අපට හෙළි දරව් කරයි.

බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් සිය ආර්ථික අරමුණු ඉටු කර ගැනීමේ අභිලාෂයෙන් දකුණු ඉංදීය දිළිදු කම්කරු ප්‍රජාව බලහත්කාරී ලෙස සිය නිජ බිමෙන් පැහැර ගෙන විත් ශ්‍රීලංකාවේ විශාල වතු වගා භූමි ප්‍රදේශය වූ කදුකරය තුළ අමානුෂිකව සිරකර ඔවුනගේ ජීවිතය ඔවුනට අහිමි කරන ලදී. සියවස් දෙකකට පසුවද මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වමින් ශ්‍රමය සූරාකෑමට හා පාලකයන්ගේ බල අභිලාෂය අභිමුව ඉමහත් වංචනික රවටනු ලබමින් පරම්පරා ගණනාවක් සරණාගතයන් ලෙස ඔවුහු ජීවත්වෙති. දේශපාලන සමාජ ආර්ථික මූලික අයිතීන් අහිමිව මානුෂිකත්වයේ අන්ත ඛේදනීය ජීවන රටාවක් සමග රාජ්‍ය හා සමාජය තුළ මිනිස්කමේ පිළි ගැනීම පවා අහිමිව හුදකලා පීඩනයක ගිලී සිටින මෙම මලය කම්කරු ප්‍රජාව දෙස මානුෂීය දෘෂ්ටියක් හෙලන්නට
” දුර දසුනෙක හිරු ගිනිගෙන” ඉඩ ප්‍රස්ථා විවර කරයි.

මෙයට සිය වසකට පමණ පෙර දරිද්‍රතාවේ හා නොදැනුවත්කමේ අන්ත අසරණ පීඩනයක ගිලී සිටින කම්කරු ප්‍රජාවගේ පීඩනයට එරෙහිව හඩ නැගූ මීනක්ෂි අම්මාල් නම් විප්ලවවාදිනිය අනූෂා හදුන්වනුයේ ලාංකිය කම්කරු ව්‍යාපාරයේම නව පරිච්ජේදයක් ආරම්භ කළ සටන්කාමී ගැහනියක ලෙසිනි.එසේම මලය කාව්‍යයෙහි පුරෝගාමී ස්ත්‍රිය වන මීනක්ෂිගේ කවීත්වය ලේඛිකාව මෙහිදී” සටන්කාමී ගැහැනු කවියක් බදු කිවිදිය ” යනුවෙන් ඇගයීමට ලක් කරයි.

1894දී ඉංදියාවේ උපත ලබන මීනක්ෂි 1925දී සිය පවුලේ අවශ්‍යතාවකට ලංකාවට පැමිණෙයි. ඉංදියාවේ සිට මෙරටට පැමිණ කදුකර කම්කරු ප්‍රජාවගේ දුක්ඛිත පීඩනයට එරෙහිව ක්‍රියා කරමින් සිටි නඩේසය්යර් ඇයට මෙම ගමනේදී මුණ ගැසෙයි.
ඔවුන් දෙදෙනා එක්ව බලවත් බාධක හා අසීරුතා මැද මෙම කම්කරු ප්‍රජාවගේ පීඩනයට එරෙහිව මහත් මැදිහත් වීමක් කරන්නට දරණ උත්සාහයෙන් බිදක් මෙම කෘතියෙන් නිරූපණය කෙරේ.

ඇති නැති පරතරය,සම්මත කුල ස්ථරායනයේ පහළ සිටින්නන්ට තිරිසන් සත්වයන් සේ සැලකීම,ළදරු විවාහ,සැමියා මිය ගිය ස්ත්‍රියට නැවත විවාහ වීමේ ඉඩ ඇහිරීම,ස්ත්‍රීත්වය පිළිබද ගෝත්‍රික මිත්‍යා විශ්වාස,ස්ත්‍රී අධ්‍යාපනය අහුරා තිබීම හා ස්ත්‍රිය මත දැඩි පීඩාකාරී සම්ප්‍රදායක් බල පැවැත්වීම වැනි අගතීන්ගෙන් පිරී තිබූ යුගයක මීනක්ෂි අම්මාල් කම්කරු අයිතීන් හා ස්ත්‍රී විමුක්තිය වෙනුවෙන් පෙනී සිටීම ඓතිහාසික වශයෙන් වැදගත් සිදුවීමක් ලෙස පද්මා සෝමකාන්තන් “ඊල දෙමළ කාන්තා නායකත්වය” නම් කෘතියෙහි සදහන් කරයි.

අතිශයින් පීඩිත කම්කරු ජනතාව අතරට ගොස් ඔවුන් දැනුවත් කිරීමේ අරමුණින් කවි ලියා ගායනා කළ මීනක්ෂි ඇය මෙසේ ගැයූ “මෙට්ටු ගීත”හරහා මෙම ජනතාව සිය පීඩනය පිළිබද සවිඥානික කිරීමට වෙහෙසුණාය.වර්තමාන මලය ප්‍රජාවගේ අරගලයේ පුරෝගාමිනියක ලෙස මීනක්ෂි අම්මාල් ඉතිහාසයට එක්වේ.
සිංහල ජාතිකවාදයට හා ජාතිවාදයටද දැඩි ලෙස පහර දෙමින් බ්‍රිතාන්‍ය පාලකයන්ට ඔවුනගේ ආර්ථික සූරාකෑමට එරෙහිව හඩ නගන පළමු ගැහැනිය ලෙස පර්‍යේෂකයන් හා ලේඛකයන් හදුන්වන මීනක්ෂි ගේ කාව්‍යය කිහිපයක් අනුෂා තම කෘතියට එක් කිරීම අගය කළ යුතුය.

“ඉන්දියානු
කම්කරුවෝ මෙහි පැමිණියෝ
මේ දේශය පුබුදන්නට
උන් කැප වුණෝ

සිහි විකලේ මැති
ඇමතෝ හිනැහුණෝ හිතුණු හිතුණු අණ පනතින් උන් සැනසුණෝ”

ලාංකික දේශපාලනයේ මුග්ධ ජාතිවාදය හා මතවාදී ආධිපත්‍ය මනාව පිළිඹිඹු කරමින් එයට එරෙහිව පීඩිත කම්කරුවන් වෙනුවෙන් මීනක්ෂි අම්මාල් නිර්භයව සිය හඩ කාව්‍යය හරහා අවදි කරයි.

“ඉන්දියානුවො මෙහේ ඉන්න හොඳ නෑලු
උන් ඉල්ලපු නිදහස
උන්ට දෙන්න ඕන නෑලු”

මෙරට කාන්තාවන්ට ජන්ද බලය ලබා දීම සදහාද සුවිශේෂී මැදිහත් වීමක් කළ මීනක්ෂි කම්කරු පංතියේ අයිතීන් වෙනුවෙන් ලේඛනයේ යෙදෙමින් දේශපාලන වේදිකා මත හඩ නංවමින් හා එකී ප්‍රජාව අතර සැරිසරමින් කව් ගී ගයමින් ඔවුන් දැනුවත් කරමින් ඔවුනගේ විමුක්තිය උදෙසා කළ ඒ මහගු දේශපාලන මෙහෙවරට අප දේශපාලන සමාජයක් වශයෙන් ප්‍රණාමය පිරි නැමිය යුතුය. වතු අධිකාරිත්වයට එරෙහි වූ බ්‍රස්ගර්ඩ්ල් නම් ඉංග්‍රීසි ජාතිකයා රටින් පිටුවහල් කිරීමට එරෙහිව පැවැත්වූ දේශපාලන රැළියේ වේදිකාව මත මීනක්ෂි නැගූ දේශපාලන රාවය ඉතා ප්‍රභලය.

“කකුලට සෙරෙප්පුවක් නැතිව
බඩෙන් අඩක් පුරෝගන්න කැදවත් නැතිව
ඉන්න මහ පොළොවකුත් නැතිව
ඇයි අපි මෙවන් දුකක් විදින්නේ තවම

ලේ රත් විය යුතුමයි
නහර කෙළින් විය යුතුමයි
මොළය පාදා ගත යුතුමයි..”

1980 පසු උසස් අධ්‍යාපනය සමග කදුකර කම්කරු පීඩනය පිළිබද ස්ත්‍රී කාව්‍යය නිර්මාණයන්හි සැලකිය යුතු දායකත්වයක් හා යම් දෘෂ්ටිමය හැරවුම් ලක්ෂ්‍යයක් පිළිඹිඹු කෙරෙන බව ද එහි ලා කැපී පෙනෙන කිවිදියන් හා ඔවුනගෙ කාව්‍යය අනුභූතින් කිහිපයක්ද “දුර දසුනෙක හිරු ගිනිගෙන” සටහන් කරයි.

–දුර දසුන–

කඳු හිසක් මත
හෙවණක් ඇතත්
හිමිකමත් ගෞරවයක්
දුර දසුනකි…
පොත් බර
දැරිය යුතු උරයේ
වක් පිහියත්
දළු කූඩයත්

අඩි අටේ ලයිමේ
අපේ රාජ්‍යය
ඡන්දෙදි අපි එහේ
රජවරු

වෙස්සන්තරවරුය අපි
දහදියම වගුරන
සිරුරම පොහොර කර පුදන

කඩන්න කඩන්න
දළුලන හෙයින්දෝ හිමිකම පාවා දුන්නේ
තේ ගහකට
සල්ලි උපද්දන
ලේ නහර අපිට හැදුනුම්පත පමණි ඇත්තේ
අපට අපිව පිළිගැනුමට

දුක දුකම වැඩේ
අපේ ජීවිත ගමනේ
මේ කළුව පහව යන්නේ කවදාදෝ
හිත හැමදාම පිළිකන්නේ

අපි ගැන හිත උණුවේ කඳුළක්ව කඩා වැටෙන්නේ උදෑසන තණපත් සිඹින
පිනි බිංදු පමණි

ලරීනා අබ්දුල් හක් කිවිදිය 1998දී” වීසුග පුයලේ” කෘතියෙහි පළ කළ මලෙය ජනතාවගේ පීඩනයට එරෙහි විරෝධාකල්ප කාව්‍යයකි. සියවස් දෙකක මෙම කදුකර තේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ඉතාම අමානුෂික ලෙස ශ්‍රමය සූරාකෑමට ලක්වූ කම්කරුවන් බල දේශපාලනය තුළ රවටන අයුරු හා ඔවුනගේ අධ්‍යාපනය,විවේකය,
නිදහස අහිමි කරනු ලැබීම
හා ජීවිතයම කොල්ලකෑම ලරීනා විසින් මනාව ප්‍රති මූර්තිමත් කරයි.

උතුරේ කිවිදියන් තම ජනයාගේ විමුක්තිය උදෙසා කළ ප්‍රකාශනයන් “දුර දසුනක හිරු
ගිනි ගෙන” සංවාදයට ලක් කරනුයේ වාර්ගික හිංසනය විසින් නිහඩකරවන භූමියක වුව සිය විමුක්තිය වෙනුවෙන් නිර්භයව හඩ නැගූ සියලු කිවිදියන් ඉතිහාසය තුළ දේශපාලනික ඇගයීමට ලක් කරමිනි.1986දි ප්‍රකාශිත “සොල්ලාද සේදිගල්” ( නොකියූ කතා) කෘතිය පිළිබද අදහස් පළකරමින් ලේඛකයකු හා විචාරකයකු වන එස් .කරුණාහරන් ඒ හරහා සමකාලීන දේශපාලන සංදර්භය හා අප්‍රකාශිත ස්ත්‍රීත්වයේ ආත්මීය පීඩනය,දේශපාලන පීඩනය පිළිබද මනා පිළිඹිඹුවක් වූ බවත් එය ස්ත්‍රීන්ගේ සමාජ දේශපාලන දෘෂ්ටිය හා චින්තනය පැහැදිලි පරිවර්තනයක් උදෙසා බලපෑ බවත් සදහන් කරයි.

යුද්ධයෙහි තීව්‍රත්වය විසින් වාර්ගික හිංසනයට ද්විතීකව ස්ත්‍රිය මත ලිංගික හිංසනය පැතිරවීමට එරෙහිව ස්ත්‍රියගේ විරෝධතාව ද බෙහෙවින් තීව්‍රව ඉස්මතු විය.කවිය හරහා ඒ විරෝධතාව කලා නම් කිවිදිය ප්‍රකාශයට පත් කරනුයේ යුධ ගැටුම් හමුවේ ස්ත්‍රීත්වයේ ලිංගික බලහත්කාරී හිංසනයට එරෙහිව විශ්වීය ස්වරක් නගමිනි.

“මේ දූපතේ සාමය වෙනුවෙන්
නුඹේ
පරිත්‍යාගය කුමක්ද
වහ වහා එනු
උනා සළු පිළි
නිරුවත් වෙනු!

පව් උන්
ඒ වෛරය
වෙන කොහේ මෝචනය කරන්නද…

සිහල ස්ත්‍රීනි
නුඹලාගේ යෝනි
දැන් නිදහස්..”

සිංහල වාර්ගික වෛරය මෝචනය වන්නේ.. මුදා හරින්නේ දෙමළ ස්ත්‍රියගේ යෝනිය මත බවත් එහෙයින් එකී පුරුෂයාගේ වියරු ලිංගික ප්‍රචණ්ඩත්වයෙන් සිංහල ස්ත්‍රියගේ යෝනිය නිදහස්ව ඇති බවත් කලා ප්‍රකාශ කරන්නේ ඉතා ප්‍රභල දේශපාලන රූපකාර්ථයන් ගොඩ නංවමින් සමස්ත දෙමල ප්‍රජාවගේ විරෝධය හා වේදනාව කැටිකර මුදා හරිමිනි.

දශක තුනක් පුරා සිදු කරන ලද ගිණිය නොහැකි රහසිගත ලිංගික ප්‍රචණ්ඩත්වයන්ට ගොදුරුව මිය ගිය බොහෝ දෙමල ස්ත්‍රීන්ගේ පීඩනය පිළිබද දකුණේ සමාජය වෙත නිරාවරණය වූයේ යම් අංශු මාත්‍රයක් පමණි. ක්‍රිෂාන්ති කුමාරස්වාමී,කෝනේශ්වරී,ඉසිප්‍රියා යනු ලිංගික ප්‍රචණ්ඩත්වයට ලක්වූ දෙමල සහෝදරියන්ගේ වේදනාවෙහි
සංකේතයන්‍ කිහිපයක් පමණි.

සාමූහික ලිංගික හිංසනයෙන් පසු තම සහෝදරියන් එල්.ටී.ටී.සාමාජිකාවන් ලෙස අරුත් ගන්වමින් ඔවුනගේ යෝනි මත බෝම්බ පුපුරුවා විනාශ කරමින් දරුණු වධහිංසා මැද ඔවුනට පැමිණ වූ ලිංගික සාහසිකත්වය හා ඔවුන්ගේ ඝාතනය සාධාරණීකරණය කරන රළු වාර්ගික පුරුෂ දේශපාලනය මේ කවිය තුළ කිවිදිය මනාව නිරූපණය කරනුයේ එකී ම්ලේච්ඡවයට එරෙහිව දැඩි විරෝධයක් ගොඩ නංවමිනි.

සන්මාර්ක්කා “මවකගේ අදෝනාව “නම් කවිය හරහා බලහත්කාරීව මහ මග ඝාතනය කළ තම පුතුගේ සිරුර තම පුතුගේ ලෙස සතුරා ඉදිරියේපිළි ගැනීමට වන බිය නිරූපණය කරන මනුෂ්‍යත්වයේ පීඩිත ඛේදයේ ගැඹුරු වේදනාත්මක මනෝ කලාපයක් ස්පර්ශ කරමින් වාර්ගිකව විනාශ කළ සමාජ දේශපාලන භූමියක මනුෂ්‍යත්වයේ වේදනාවෙහි විලාපය ප්‍රති මූර්තිමත් කරයි.

“හන්දියේ පාර මත
නුඹේ සිරුර
පිට පුරාලේ ඒ නුඹ දැයි නැමී බැලුවා ඔහු රත්තරනේ ඒ නුඹමයි.

“ඇයි ආච්චි
නුඹ අඩන්නේ”
කටහඬක් සෙනග
අතරින් මතුවිය

“උඹ කොල්ලව දන්නවද” කාකි ඇඳුමකින්
බරති හඩක්
දිලිසෙයි ඒ අත තුවක්කුව

“දන්නේ නෑ.”
හිසින් සංකර
නිහඬ වූයෙමි.

මා වදාපු
පළමු මුතු කැටය හිතවාවන්නේ කෝම…
අනේ රත්තරනේ
මං වගේ පව්කාරියක් ..
මේ මගේ පුතා කියාගන්නට බැරි පව්කාරියක්…

මේ රැයේම
නුඹව රැගෙන
යා හැකිනම්
චෙම්මනියට
දවා අළු කරමි
මම
ඊයේ රාත්‍රියේ
දියබත් අනාදුන්
අතින්ම මේ ණයත් ගෙවන්නට තිබුණා
මට…”

“මවකගේ අදෝනාව” කවිය හරහා සමාජ ආර්ථික පරතරය සටන්කාමීන්ගේ පීඩිත යථාව හා ඔවුන් මෙහෙයවන දේශපාලනයේ ප්‍රභූ භූමිකාව හා
වාර්ගික හිංසනය තුළ මව්වරුන් හා දරුවන් විදිනා අනේක විදි කායික මානසික දුක් වේදනාවන් සම්මිශ්‍රණය කරමින් පුළුල් පරාසයක් තුළ සන්මාර්ක්කා කිවිදිය සිය ප්‍රකාශනය විදහාලයි.

වාර්ගික හිංසනයට හා ස්ත්‍රී හිංසනයට එරෙහිව දේශපාලන ප්‍රකාශනයන්හි ගැඹුරු වියමනක් ලාංකික සමාජ දේශපාලන සංදර්භය තුළ වියමං කරන “දුර දසුනෙක හිරු ගිනිගෙන ” නිර්මාණ සංවාද අතර ඌර්වසී කිවිදියගේ
“මහ උළු ගෙදර අධිකාරතුමනි..”කාව්‍යයද රාජ්‍ය මර්දනය හා අධිපති මතවාදය ඉතා ගැඹුරු ලෙස අභියෝගයට ලක් කරමින් සිය විමුක්තිය උදෙසා නොබියව සමකාලීන පීඩාකාරී දේශපාලන අධිකාරය ප්‍රශ්න කරනා ඍජු සංවාදයකි.

“මහ උළු ගෙදර අධිකාරිතුමනි…”

” අධිකාරිතුමනි
ඔබ
මා
සිරකර තබයි.

එයට එරෙහි විය නොහැකිය මට
කිසිවක් නොකියමි
මම
වද හිංසාද
නැවැත්විය නොහැකිය ඇයිද යත්,
මම සිරකරුවෙක්මි .

අපි ඉල්ලුවේ විමුක්තිය ඔබ කියයි මට
“උඹ ත්‍රස්තවාදියෙක් ..!”

කෑගැසීමෙන්
හඬා දෙඩීමෙන්
මා පෙළෙන වේදනාව
අඩු නොවේ සුළඟිල්ලක්වත් සෙලවිය නොහැකි මට
තුවාල මත ලේබල් නැති දියර වක් කරත්
එයටද මට එරෙහි විය නොහැකිය
එයත් ඔබදනී

එහෙයිනි, මෙම ආයාචනය
මා සිර කරන කුටියේ
මට ළඟා විය නොහැකි දුරින්
කුඩා කවුළුවක්
විවර කර දෙන්න නැති
නම් උළු කැට භාගයක කවුළුවක් හරි ඉවත් කර දෙන්න

මෙය පලා යාම පිණිස නොව
සුළං පොදක් මා දෑතේ දැවටුනදෙන්
ගමන් කරන පොඩි
වලා කුළක්
අතු අග උපදින දල්ලක් මගේ දෘෂ්ටිපථය හරහා යන කුරුල්ලෙක්
මෙතෙක් මා ජීවත් වූ විශ්වයේ
මගේ මිනිසාව
මම දකිමි…”

ඌර්වසීගේ මෙම කවිය කුට්ටමනී..තංගදුරේ හා උමා මහෙස්වරන් වැනි සිය වාර්ගික විමුක්තිය වෙනුවෙන් දිවි පිදූ සොයුරයන් රාජ්‍ය ප්‍රචණ්ඩත්වය විසින් ඝාතනයට ලක් කිරීමට පෙර සිංහල රාජ්‍ය බල අධිකාරිය දරුණු ලෙස අභියෝගයට ලක් කරමින් දෙමළ ජනයාගේ විමුක්ති අරගලය සාධාරණීකරණය කරමින් එහි මූල පදනම් විමසන ලෙස 1983 පෙබරවාරියේදී නීතිය ඉදිරියේ කළ දේශපාලන අරගලයෙහි දිගුවක් ස්ත්‍රීත්වයේ ප්‍රකාශනය හරහා විකාශනය වී ඇතැයි මට සිතෙයි.

දේශපාලන සමාජ විමුක්තිය පිළිබද හා ප්‍රචණඩත්වයෙන් තොරව මානවියත්වයේ අරුත් නිදහසේ විද ගැනීමට ස්වභාවිකත්යෙන් උරුම වූ අයිතීන් ආරක්ෂා කිරීමේ සවිඥානකත්වයෙන් ගැඹුරු දේශපාලන දෘෂ්ටියක් ඔස්සේ අපූර්ව ස්ත්‍රීමය කාව්‍ය කතිකාවක් ගොඩ නැංවූ දෙමල ස්ත්‍රීන්ගේ අදහස් ප්‍රකාශනයක් සියුම්ව ගවේෂණය කරමින් බොහෝ කිවිදියන් හා බැදුණු තොරතුරු පරිශීලනය කරමින් ඔවුනගේ අදහස් හා මතවාද සමාජ ගත කරන්න අනූෂා සිවලිංගම් “දුර දසුනක හිරු ගිනිගෙන හරහා “දරණ වෑයම අප මග නොහැරිය යුතුය. ලාංකික අදහස් ප්‍රකාශනය අතර අනූෂා සිවලිංගම්ගේ නිර්මාණ පරිකල්පනයද ප්‍රතිවිරුද්ධ වර්ගික සිතීම් දෙකක් එකට යා කිරීමට ඇය ගන්නා දේශපාලන වෑයමද සුවිශේෂී සලකුණක් ලෙස සනිටුහන් වන බව ද මෙහිලා ප්‍රකාශ කළ යුතුය.

මෙතෙක් ලාංකික අධිපති මත ධාරාව තුළ දෙමළ භාෂණයේ හඩට සවන් නොදීමේ ..සංවේදී නොවීමේ හා ඒ හඩ යටපත් කරනු ලැබීමේ සම්ප්‍රදායෙන් බැහැරව අප විසින් සහෝදරාත්මක දෘෂ්ටිකෝණයකින් මෙම සහෝදරත්වයේ හඩ ගැඹුරින් ස්පර්ශ කළ යුතු දේශපාලන කතිකාවක් බව අවධාරණය කරමි.
අවසන,
මෙම දෙමළ කිවිදියන් ගේ නිර්භීත බව අගයමින් ඔවුනට ප්‍රණාමය පුදන අතරම ඔවුනට අනුභූතීන් සැපයූ සමස්ත දෙමළ ප්‍රජාවගේ පීඩනයට එරෙහිව නව සිතා බැලීමේ ප්‍රවේශයකට එක්වන්නැයි දකුණේ ප්‍රජාවගෙන් ඉල්ලා සිටිමි.

තිලිනා වීරසිංහ
තිලිනා වීරසිංහ


leave a reply