අනූෂා සිවලිංගම් සහෝදරිය ඇගේ නිර්මාණාත්මක හා ශාස්ත්‍රීය කාර්‍ය භාරය සමග දශකයට ආසන්න කාලයක් ලාංකික සමාජ දේශපාලනයේ මානව ප්‍රකාශනය වඩාත් පුළුල් වපසරියක ගොඩ නැංවීමට දායක වීම බෙහෙවින් අගයමි. 2016 දී එස් කරුණාහරන් කිලිනොච්චියේ අත් විදි දශක ගණනාවක ජීවිත අද්දැකීම් ඇසුරින් නිර්මාණය වූ “ඉප්පඩි ඔරුක්කාලම්” (මෙහෙමත් කාලයක්) නම් ස්වයං මතකාවර්ජනය “මතක වන්නිය” නමින් සිංහලට පරිවර්තනය කරමින් සිංහල හා දමිල වාර්ගිකත්වය භාෂාත්මකව යා කිරීම මුල පුරන අනූෂා සිංහල බසින් නිර්මාණකරණයේ නියලෙන සහෝදර සහෝදරියන්ගේ නිර්මාණ කිහිපයක් ද දමිල බසින් පරිවර්තනය කර ප්‍රකාශයට පත් කර ඇත.
නිශ්ශංක.විජේමාන්නගේ “තාරා මගේ දෙව්දුව” හා නුවන් තොටවත්තගේ “මේ මගේ ඇගයි” යන කෘතීන් දෙමළ බසට පරිවර්තනය කරමින් ඇය අපූර්ව පරිවර්තන සාහිත්‍යයක් නිමවමින් සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ ඇගයීමට ද ලක්වූවාය. එසේම සිංහල බසින් නිර්මාණකරණයේ නියැලෙන කෙටිකතාකාරිනයන් හා කෙටි කතාකරුවන් දස දෙනෙකුගේ තෝරා ගත් නිර්මාණ “කර්ෂු” නමින් දෙමළ ට පරිවර්තනය කර ලංකාවෙහි සහ ඉංදියාවෙහි ප්‍රකාශයට පත් කිරීමද ඇයතින් සිදුවූ සුවිශේෂී කාර්‍යයකි.
දෙමළ බසින් නිර්මාණය වූ දීපචෙල්වන් ගේ “බංකරයක උපන් දරුවෙක් “,දේශපාලන කාව්‍යාත්මක සංවාදය”රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන ” නමින් සිංහල බසින් පරිවර්තනය කර ලාංකික සිංහල සාහිත්‍යයට එක් කිරීමටද ඇගේ භාශාත්මක පරිවර්තනීය ශක්‍යතාව හා මානවීය දෘෂ්ටිය සුසංයෝගීව භාවිත කර ඇත.”දෙමළ සිනමාවේ ලාංකේය ප්‍රයත්නය “නමින් දමිළ සිනමා ව පිළිබද ශාස්ත්‍රීය කෘතියක් ද ඇය 2018 දී රචනා කරයි.
දෙමළ දේශපාලන සංස්කෘතිය තුළ හා සාහිත්‍ය තුළ යටපත්ව තිබූ ස්ත්‍රී ප්‍රකාශනයේ සැඟව ගිය හඬෙහි දේශපාලනික රිද්මය අනූෂා සිවලිංගම් මෙවර වඩාත් තීව්‍රව ඉස්මතු කරමින් “දුර දසුනක හිරු ගිනිගෙන” නමින් 2026 පෙබරවාරියේ අපට අභිමුඛ කරයි.
එය හුදෙක් දෙමළ ස්ත්‍රීන්ගේ කාව්‍ය නිර්මාණාත්මක විමසීමකින් ඔබ්බට දෙමළ ස්ත්‍රීන්ගේ ආත්මීය අභ්‍යන්තර සංවේදනාවන් හා විමුක්තියේ අභිලාෂයන් එකට කැටි කර නිරූපණය කරන කැටපතකි.එසේම එය වාර්ගිකත්වයේ හිංසනයට සහ ආර්ථික සූරාකෑමේ ධනේශ්වර ක්‍රමයට එරෙහි මානවීයත්වයේ ප්‍රකාශනයකි.ලාංකික දේශපාලන සංස්කෘතික බැදීම් දෙස ගැඹුරින් සිතා බැලීමේ මනෝ සමාජීය ද්වාරයක් මේ හරහා ප්‍රතිනිර්මාණය වී ඇත.
මෙහි ප්‍රවේශයේදී ප්‍රංශ දාර්ශනික ස්ත්‍රීවාදී සමාජ ක්‍රියාකාරිනියක වන සිමොන් ද බෝවා ගේ සහ පශ්චාත් යටත් විජිත වාදය,ස්ත්‍රීවාදය,
විසංයෝජනය සහ මාක්ස්වාදය සම්බන්ධ ප්‍රබල දේශපාලන විචාරාවියක වන ගයත්‍රි ස්පිවැක්ගේ හාඑඩ්වඩ් සෙය්ඩ් ගේ සංකල්පනාවන් සංවාදයට ගනිමින් සමාජ දේශපාලන සංස්කෘතිය තුළ “අනෙකා” ලෙස අනන්‍ය කිරීමේ බල අසමතුලිතතාව පිළිබද සංකල්පය අනුෂා අවධාරණය කරනුයේ එකී සමාජ සංජානනය ලාංකික දමිල සමාජ සංස්කෘතියේ ස්ත්‍රීත්වය පිළිබද නිර්මිත ය තුළ විශ්ලේෂණය කරමිනි. බලයෙන් අඩු ලිංගික පාර්ශවයක් ලෙස ස්ත්‍රිය අනන්‍ය කිරීම හරහා “පුරුෂයා වඩා බලවත් බව” ගම්‍ය කෙරේ. ඒ න්‍යාය පදනම තුළ හිද ලාංකේය දෙමල කවිය හා එහි නියෝජනය විමසීමේදී එහි විවිධාකාර ආධිපත්‍යයන් නිරූපණය වන බව මෙම කෘතියෙහි සදහන් කෙරේ.එය භූගෝලීය හා සමාජ ලිංගික භාවය මත පදනම්ව පවතී.
යුධමය සමයේ ප්‍රකාශයට පත් කරන ලද දමිල කාව්‍ය නියෝජනය කළ ” මරනත්තුල් වාළ්වෝම්”( “මරණය සමග ජීවත්වීම”,”Let Us Live A Midst Death”) කාව්‍ය කෘතිය කවීන් 31 දෙනෙකුගෙ කාව්‍යය 82ක සාමූහික ප්‍රකාශනයක් වන අතර ඉන් 5 දෙනෙකු හැර සෙසු සියල්ලන් උතුර නියෝජනය කළ බව දැක්වේ. ඒ සෙසු භූගෝලීය කලාපයන් නියෝජනය කළ කවීන් අතර මලෙයහම් නැති නම් කදුකර දමිල ප්‍රජාව නියෝජනය කර ඇත්තේ එක් කවියකු පමණි.නැගෙනහිර ප්‍රදේශයෙන් තෝරා ගත් කවියන් තිදෙනෙකි. මුස්ලිම් ප්‍රජාව නියෝජනය කිරීමේදී එක් කවියෙකු පමණක් තෝරා ගෙන ඇත. මෙම විරෝධතා ප්‍රකාශනය සදහා ස්ත්‍රීත්වයේ නියෝජනය ඉතා පහළ මට්ටමක පැවති අතර කිවිදියන් 5දෙනෙකු ගේ කාව්‍යයන් පමණක් මෙයට ඇතුලත් කර ඇත.එයින් දමිල කවියේ ප්‍රාදේශීය ආධිපත්‍ය හා පුරුෂ අධිපතිත්වය පිළිඹිඹු කෙරේ.
“දුර දසුනෙක හිරු ගිනි ගෙන “කෘතියෙහි අනුෂා අවධාරණය කරන සුවිශේෂී කරුණක් නම් මෑත කාලීන දමිල කවිය, කවියා හෝ කිවිදිය විසින් ඉපද්දූවක් නොව ගලා ගිය කාලයේ අවකාශය විසින් සිය ප්‍රකාශනය ලෙස කවිය බිහි වූ බවයි.එනම් සිය වාර්ගිකත්වය මත පමුණුවන පීඩනයට එරෙහි ආත්මීය ප්‍රකාශනය ..විමුක්තියේ අභිලාෂය..කවිය බවට පත් වීමය.
වඩා වැඩි සමාජ අවධානයක් වටිනාකමක් අත් නොවූවද දමිල කවිය පෝෂණය කිරීමට සිය අද්දැකීම් හරහා කිවිදියෝ පූර්වයෙන් යම් ආකාරයක දායකත්වයක් දක්වන ලදී.එහෙත් 1970අවසන් වනවිට වාර්ගික ප්‍රචණ්ඩත්වය හා විමුක්තිය පිලිබද සිහින අතර කිවිදියන්ගේ කාව්‍ය වෙනස් දිශානතියක ආස්ථානගතව සමාජ දේශපාලන භාෂණයක්ව විකාශනය වන හැටි සහ ඒ තුළ ස්ත්‍රිය සුවිශේෂී ලෙස සිය විමුක්තිය පිළිබද පරිකල්පනය පසෙකලා පොදු සමාජ විමුක්තිය පිළිබද සංවාදය නියෝජනය කරන හැටි මේ කෘතිය තුළින් විදහා දැක්වේ.
1980 දශකයේදී ස්ත්‍රී කාව්‍ය ප්‍රකාශනයේ වැදගත්කම පිළිඹිඹු කරමින් චිත්‍රලේඛා මෞනගුරු විසින් “සොල්ලාද සේදිගල්”(නොකියූ කතා) නම් කෘතිය 1986දී දමිල කිවිදියන් දස දෙනෙකුගේ නිර්මාණ 24ක් ඇසුරින් පළ කිරීම ඓතිහාසික වෑයමක් විය.එහි රාජ්‍ය මර්දනය,මිනිස්ඝාතන,
අතුරුදහන් කිරීම, ජීවත්වීමේ හා භාෂණයේ නිදහස යන පුලුල් පරාසයන් තුළ කිවිදියන් සිය අනුභූතින් ප්‍රකාශනය කළාය.
කාලය හා දේශපාලන සමාජ අනුභූතින් අනුව කවියෙහි දමිල ස්ත්‍රී නියෝජනය 1920 මැද භාගයේ මලෙහම් පීඩිත ජනයාගේ නිදහස වෙනුවෙන් පෙනී සිටි මීනක්ෂි අම්මාල් කිවිදියගේ සිට යුධමය පසුබිම තුළ හා පශ්චාත් යුධකාලීන කිවිදියන් 27 දෙනෙකුගේ සමාජ දේශපාලන ආර්ථික හා සංස්කෘතික අනුභූතින් ඇසුරින් ප්‍රකාශනය කළ කාව්‍යයන් 39ක් සමග තවත් කවි කිහිපයක නිදසුන් සමඟ ලංකාවේ දෙමල ස්ත්‍රීත්වයේ ආත්මීය හා සමාජ දේශපාලන දෘෂ්ටිය විනි විදින්නට අනූෂා අපට අවකාශ සලසනුයේ ඒ ප්‍රකාශන අතරින් ඇතැම් කවි නිර්මාණාත්මක රිද්මීයත්වයෙන් එතරම් ප්‍රභල නොවූවද මානවීයත්වයේ පොදු සංවේදනාත්මක රිද්මීයත්වයෙන් ඉතා ඉහළ මට්ටමක පවතින බැවිණි.මෙහිදී මෙතෙක් දකුණේ සමාජය නොදැන සිටි දෙමළ කිවිදියන්ගේ ජීවන පසුබිම් පිළිබද සංක්ෂිප්තව අවධාරණය කරමින් ඔවුන් අපට වඩාත් සමීප කරවීමටද අනූෂා සමත්ව ඇත.
ජීවිතයේ බොහෝ අපේක්ෂා කැටිව තුරුණු සරසවි ශිෂ්‍යාවකව සිටිමින් අපූර්ව ලෙස සිය සිතුවිලි කාව්‍යය බවට පත් කරමින් සිටි අවසානයේ කුරිරු යුද්ධයක භීෂණය දරා ගත නොහැකිව ජීවිතයෙන් සමුගත් එස්. සිවරමණී කිවිදිය ගේ ශෝඛාන්ත සමු ගැනීම දශක 3ක් තිස්සේ මා පෙළන පීඩනයකි. යුද්ධයට එරෙහිව මට මෙන්ම අදහස් පළ කරමින් මේ බිමේ ජීවත්ව සිටින්නට වරම් නොලද සිවරමණී ප්‍රචණ්ඩත්වට එරෙහිව ලියා සිටි කාව්‍යයකින් “දුර දසුනක හිරු ගිනිගෙන” සංවාදයෙන් සමු ගන්නේ මෙහි අවධාරණය කෙරෙන සෙසු සහෝදර කිවිදියන් ගේ අනුභූතීන් සමග ඉදිරියේදී මේ සංවාදයේ දිගුවක් ලෙස නැවැත ඔබ හමු වන බව පවසමිනි.
එස්.සිවරමණී රාජ්‍ය ප්‍රචණ්ඩත්වය සේම සිය වාර්ගික සමාජ දේශපාලනය තුළ නිර්මිත ප්‍රචණ්ඩත්වයටද අභියෝග කළාය. එහෙයින් ඇය රාජ්‍ය වාර්ගික හිංසකයන්ගෙන් මෙන්ම තම සහෝදර ප්‍රජාව අතරද විවිධ අභියෝගයන්ට විරෝධතාවන්ට මුහුණ දුන් බව කියවේ.1989දී සිය නිර්මාණ පුලුස්සා දමා සියදිවි නසා ගන්නා සිවරමණී ගේ මරණයට පූර්වයෙන් ඇය ලියූ කාව්‍ය චිත්‍ර ලේඛා මෞනගුරු විසින් ප්‍රකාශිත” සොල්ලා ද සේදිගල් “නම් කාව්‍ය කෘතියෙහි පළව තිබීම නිසා 1980 දශකයේ ප්‍රකාශිත සිවරමණී ගේ ආත්මීය ප්‍රකාශනයන් අප වෙත ඉතිරිව ඇත.
මුල පිරීම (Initative,1986)
“කුදුව ගිය
මාගේ නිමේෂයන්
නැවත නැගිට්ට විය නොහැකිය
සතුට කා තුළත් නැත සැමදේම
සාමාන්‍යකරණය කරන අපරාධිත උත්සාහයන් තුළ නිදා සිටින
මිය යන
මිනිසුන්ට ලඝුව
මම
බලාපොරොත්තු සමග පරාජය වෙමින් ඉදින්නෙමි. “
අපේක්ෂාභංගත්වය මෙන්ම දේශපාලන සමාජ පරිසරය විදහා දැක්වීම මෙන්ම පීඩනයට එරෙහිව ඇගේ විරෝධය පෑමද මෙතුළින් ගම්‍ය කෙරේ.
‘නුඹලගේ සීමාවේ ජනේලයෙන් එපිටට
මාව විසිකර දමනු බැරිය
මෙතෙක්
මඩ ගොඩෙන්
එළියට පෙනෙන
කුඩා ගල් කැටයක් සේ
මම
මාව සොයාගතිමි…
………………..
විසි කර දැමිය නොහැකි ප්‍රශ්නයක්ව
මම
ප්‍රසන්න වූයෙමි”
එස්.සිවරමණී,1986
මෙතරම් ගැඹුරු ආත්මීය ප්‍රකාශනයක් ලාංකික සමාජයට අභිමුඛ කිරීම පිළිබද අනුෂා සිවලිංගම්ට අපගේ ප්‍රණාමය පුදමින් ඒ සංවාදය ස්පර්ශ කිරීමට දුර දසුනක හිරු ගිනිගෙන සමග එක්වන්න ඔබට සහෝදරත්වයෙන් ඇරයුම් කරනවා.







