Breaking News

න්ගුගි වා තියෙන්ගෝ: අප්‍රිකානු පශ්චාත් යටත්විජිත සාහිත්‍යයේ ගමන් තරුව නිවී යයි!

කෙන්යාවේ අසහාය සාහිත්‍යකරුවා, න්ගුගි වා තියොන්ගෝ (Ngũgĩ wa Thiong’o) අවුරුදු 87ක් දිවිගමන ගෙවා දමා ඊයේ(28) අභාවයට පත්විය.

නයිජීරියානු ලේඛක චිමමන්ඩා න්ගෝසි අඩිචි විසින් එක්තරා අවස්ථාවකදී, අභාවයට පත් කෙන්යානු ලේඛක න්ගුගී වා තියොංගෝ හැඳින්වූයේ ‘අප්‍රිකානු සාහිත්‍යයේ මඟ පෙන්වන ආලෝකය’ වශයෙනි. සිරගත කිරීම, පිටුවහල් කිරීම හෝ රෝගී විම නොතකා ලේඛකයකු ලෙසත් සමාජ පරිවර්තනය වෙනුවෙන් චින්තනය මෙහෙයවූවකු ලෙසත් නූතන අප්‍රිකානු සාහිත්‍යයේ ඔහුගේ කාර්යය ආසන්න වශයෙන් දශක හයක් පුරා විහිදී ඇත. කෙන්යාව, යටත් විජිතයක සිට වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය බවට පරිවර්තනය වන අවධිය දක්වා ඔහුගේ සාහිත්‍ය තුළ නිරූපණය කෙරේ. වා තියොන්ගෝ, අප්‍රිකාවෙන් බිහිව ලෝකයේ සාහිත්‍ය තුළ අප්‍රිකානු මානුෂිකත්වය, එහි අරගලය හා පන්නරය සටහන් කළ, විකල්ප මනුෂ්‍යභාවයක් වෙනුවෙන් නිරන්තරව සටන් කළ ලේඛකයකු සහ විචාරකයෙකි.

ඔහුගේ සාහිත්‍ය කෘති, ලංකාවේ රසික සහෘදයන්ට පිරිනැමූ අවස්ථා කිහිපයකි. පී.බී.ජයසේකර විසින් ‘නාඬව දරුව’ (Weep Not Child), ‘කුරුසයේ ලූ යක්ෂයා’ (Devil On the Cross), නාරාවිල පැට්‍රික් විසින් ‘මතිගාරි’ (Matigari), සේන තෝරදෙනිය විසින් ‘තිරිඟු ඇටයක්’ (A Grain of Wheat) සහ න්ගුගි වා තියොන්ගේ නාට්‍ය ආචාර්යවරියක වන මිසරේ මුගෝ සමඟ එක්ව ලියූ The Trial of Dedan Kimathi හි සිංහල පරිවර්තනය සෝමලතා සුබසිංහ විසින් ‘යදම්’ ලෙස වේදිකා ගත කෙරුණි. එසේම සෝමලතා විසින්, The Trial of Dedan Kimathi නාට්‍යය 1992 බ්‍රිතාන්‍ය මණ්ඩලය වෙනුවෙන් ඉංග්‍රීසියෙන් නිෂ්පාදනය කරන ලදී.

ජීවිත කතාව

කෙන්යාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති සමයක 1938 දී ‘ජේම්ස් තියොංගෝ න්ගුගි’ ලෙස උපත ලැබීය. ලිමුරු නගරයේ අඩු ආදායම්ලාභීන් වූ ඔහුගේ මව්පිය දෙපළ, වෙහෙස මහන්සි වී ජීවත් වෙමින් බ්‍රිතාන්‍ය මිෂනාරිවරුන් විසින් පවත්වාගෙන යනු ලබන සිසුන් රඳවාගෙන උගන්වන පාසලක පන්ති ගාස්තු ගෙවමින් ඔහුගේ අධ්‍යාපනයට කැප වූහ. එක්තරා දවසක වාරය අවසානයේ නිවාඩුවට නිවසට පැමිණි න්ගුගි දුටුවේ, යටත් විජිත පාලකයන් විසින් ඔහුගේ මුළු ගමම විනාශ කර ඇති බවය. යටත්විජිතභාවයෙන් නිදහස ලබන්නට ආරම්භ කළ කෙන්යානු ‘මාවු මාවු’ ව්‍යාපාරයට සහයෝගය දක්වන සියල්ලෝ මෙවැනි ඉරණමකට ගොදුරු වූහ. මර්දනය ව්‍යාප්ත කරමින් රැඳවුම් කඳවුරුවල ගාල් කෙරුණු දහස් ගණනක් අතර ඔහුගේ පවුලේ සාමාජිකයන් ද විය.

1959 දී, බ්‍රිතාන්‍යයන්ගේ පීඩාකාරී පාලනය තුළ ජීවිත අවදානම වැඩි වීමෙන් අධ්‍යාපනය අවසන් වන්නට පෙර උගන්ඩාව බලා ගිය ඔහු කීර්තිමත් මැකෙරේ විශ්ව විද්‍යාලයට ඇතුළු විය. එසේ උසස් අධ්‍යාපනයේ යෙදෙන අතරතුර, ලේඛක සමුළුවකදී, න්ගුගීගේ පළමුවන නවකතාවේ(Weep Not Child) අත්පිටපත සම්මානනීය නයිජීරියානු ලේඛක චිනුවා අචේබේ වෙත යොමු කළ නිසා ඔහුගේ මැදිහත්වීමෙන්1964 දී බ්‍රිතාන්‍යයේදී පළ කරනු ලැබ විචාරක පැසසුමට ලක් විය.

මැකෙරේ විශ්ව විද්‍යාලයේ නිර්මාණාත්මක ලේඛන පිළිබඳ දේශකයකු ලෙස සේවය කරන අතරතුර ඔහු 1967 දී, නයිරෝබි විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි සාහිත්‍ය මහාචාර්යවරයෙකු ලෙස ඉගැන්වීම ආරම්භ වසර දහයක් විශ්ව විද්‍යාලයේ ඉගැන්වීම දිගටම කරගෙන ගියේය. 1972 දී, එවකට වයස අවුරුදු 33 ක් වූ න්ගුගී A Grain of Wheat සහ The River Between කෘති පළ කරමින් අප්‍රිකාවේ කැපී පෙනෙන සමකාලීන ලේඛකයෙකු ලෙස බ්‍රිතාන්‍යයේ ටයිම්ස් පුවත්පතින් පැසසුමට ලක් විය. 1977 දී ඔහුගේ Petals of Blood කෘතිය ප්‍රකාශයට පත් කළේය. එම වසර තුළ සිය වෘත්තීය ජීවිතයේ තීරණාත්මක අදහසක් අනුව, යටත්විජිතභාවයෙන් උරුම කරගත් ජේම්ස් යන නම ඉවත්කරගෙන ‘න්ගුගී වා තියොංගෝ’ බවට පත් විය. එපමණක්ද නොව ඔහු තම සාහිත්‍යය සඳහා ප්‍රාථමික භාෂාව ලෙස යොදාගත් ඉංග්‍රීසි බස වෙනුවට මව් භාෂාව වන ‘කිකුයු’ භාෂාවෙන් පමණක් ලිවීමට දිවුරුම් දුන්නේය. මේ දක්වා න්ගුගීගේ පොත් යටත් විජිත රාජ්‍යය විවේචනය කළද, 1977 දී Petals of Blood කෘතිය හරහා ඊනියා නිදහසෙන් පසුව කෙන්යාවේ නව නායකයින්ට නිර්දය විවේචන යොමු කරමින්, ඔවුන් සාමාන්‍ය කෙන්යානුවන් පාවා දුන් ප්‍රභූ පන්තියක් ලෙස නිරූපණය කළේය.

අත්අඩංගුවට පත් වීම

එම වසරේම, ඔහු කෙන්යානු Ngaahika Ndeenda (මම අවශ්‍ය විටෙක විවාහ වෙමි) නාට්‍යය රචනා කළේය. කෙන්යාවේ සමාජයේ පශ්චාත් යටත්විජිත පාලනය සහ පන්ති අරගලය පිළිබඳ තියුණු විශ්ලේෂනයක් වූ එම නාට්‍ය එවකට ජනාධිපති ජොමෝ කෙන්යාටාගේ පාලනය විසින් තහනම් කෙරිණි. න්ගුගිගේ නවාතැන වැටලූ කෙන්යානු පොලිසිය, ඔහුගේම නාට්‍ය පිටපත්, මාක්ස්, එංගල්ස් හා ලෙනින් ලියූ කෘති සමග අත්අඩංගුවට ගනු ලැබ, නඩු විභාගයකින් තොරව උපරිම ආරක්ෂිත බන්ධනාගාරයක වසරක් සිරගත කරන ලදී. ඔහු එම සිරගත කාලය ලිවීම වෙනුවෙන් යොදාගත් ඔහු ‘කිකුයු’ බසින් සිය පළමු නවකතාව වන Caitaani Mutharaba-Ini (Devil on the Cross) ලිවීය. සටහන් පොතක් ලබා ගැනීමට ඔහුට අවසර නොලැබුණු නිසා, ඔහු මුළු පොතම ලිවීමට වැසිකිළි කඩදාසි භාවිතා කළ බව කියනු ලැබේ.

1978 දෙසැම්බර් මාසයේදී ඔහු නිදහස් වූ පසු, ඔහු නයිරෝබි විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙස නැවත සේවයේ පිහිටුවනු නොලැබූ අතර, ඔහුගේ පවුලේ අයට හිරිහැර කරන ලදී. එවකට ඒකාධිපති පාලනය ගැන ඔහු ලිවීම නිසා, න්ගුගී සහ ඔහුගේ පවුලේ අයට පිටුවහල්ව ජීවත් වීමට සිදු විය. දීර්ඝතම කාලයක් කෙන්යානු ජනාධිපතිව සිටි ඩැනියල් අරප්මොයි විශ්‍රාම ගිය පසු පමණක් 2002 දී ඔවුන්ට නැවත සියරටට පැමිණීමට අවශ්‍ය පසුබිම සකස් විය.

ඔහුගේ පසුකාලීන කෘති අතර, Detained, ඔහුගේ බන්ධනාගාර දිනපොත (1981), තවමත් රැඳී ඇති යටත් විජිතවාදී සබඳතා අත්හැරීමට සහ අව්‍යාජ අප්‍රිකානු සාහිත්‍යයක් ගොඩනැගීම සඳහා යුරෝපීය භාෂාවලට වඩා ඔවුන්ගේ මව් භාෂාවන්ගෙන් අප්‍රිකානු ලේඛකයන්ගේ කෘති ප්‍රකාශනය සඳහා හඬ නගමින් ඔහු ලියා පළ කළ සුප්‍රකට ලේඛනය, Decolonizing the Mind: The Politics of Language in African Literature (1986) සහ ගිකුයු ජන කතාවක් ඇසුරින් ඔහු ලියූ Matigari (1987) ඇතුළත් වේ.

න්ගුගී 1982දී එක්සත් රාජධානියේත් සහ පසුව ඇමරිකා එක්සත් ජනපදයේත් ස්වයං-පනවාගත් පිටුවහල් කිරීම ආරම්භ කළේය. ඔහු වසර 22 ක් කෙන්යාවට ආපසු පැමිණි විට, ඔහුට වීරයෙකුගේ පිළිගැනීමක් ලැබුණි. කෙන්යානුවන් දහස් ගණනක් ඔහුව පිළිගැනීමට පැමිණියහ. 2004 දී බිරිඳ සමඟ කෙන්යාවේ සංචාරයක නිරත වෙමින් සිටියදී ඔහු වාසය කළ මහල් නිවාසයට කඩා වැදුණු පුද්ගලයන් හතර දෙනෙකු විසින් න්ගුගීට පහර දී සිගරට් වලින් වධ හිංසා පමුණුවා ඔහුගේ බිරිඳ දරුණු ලෙස ලිංගික හිංසනයට ලක් කරන ලදී.

මෙම ප්‍රහාරය දේශපාලනික ක්‍රියාවක් බව අවධාරනය කළ න්ගුගි යේල්, නිව් යෝර්ක් සහ කැලිෆෝනියා අර්වයින් ඇතුළු විශ්ව විද්‍යාලවල මහාචාර්ය ධුර දැරූ එක්සත් ජනපදයට නැවත පැමිණියේය. ඔහුගේ වෘත්තීය ජීවිතය පුරාමත් වර්තමානය දක්වාමත් අප්‍රිකානු සාහිත්‍යය තුළ ආධිපත්‍යය දැරුවේ මහාද්වීපයේ බොහෝ රටවල යටත්විජිත පසුවිම නිසා නම් කරගත් නිල භාෂා වන ඉංග්‍රීසි හෝ ප්‍රංශ භාෂාවෙන් ලියන ලද කෘති මගිනි.

“අප්‍රිකාවට අධිරාජ්‍යවාදය නොමැතිව කිසිවක් කළ නොහැකි බව පවසන දේශපාලනඥයෙකු සහ අප්‍රිකාවට යුරෝපීය භාෂා නොමැතිව සාහිත්‍ය නිර්මාණයක් කළ නොහැකි බව පවසන ලේඛකයෙකු අතර වෙනස කුමක්ද?” යනුවෙන් න්ගුගි වා තියොංගෝ අප්‍රිකානු සාහිත්‍යකරුවන් ප්‍රශ්න කළේය.
පසුව ඔහුගේ සාහිත්‍ය ජීවිතයෙන් ඈත් වූ න්ගුගී දෙවරක් විවාහ වී දික්කසාද විය. ඔහුගේ දරුවන් නව දෙනෙකු අතර, හතර දෙනෙකුම කෘතීන් ප්‍රකාශයට පත් කළ කතුවරුන්ය.

ඔහුගේ ජීවිතයේ පසුකාලීනව, න්ගුගීගේ සෞඛ්‍යය පිරිහී ගියේය. 2019 දී ඔහුට හෘද සැත්කමක් කළ අතර වකුගඩු අකර්මණ්‍ය වීමත් සමඟ ඔහු ජීවිතය වෙනුවෙන් පොරබදන්නට පටන් ගත්තේය. 1995 දී, ඔහුට පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් ඇති බව හඳුනාගෙන ජීවිතය අවදානම් බවට ප්‍රකාශ වූ නමුත්, න්ගුගී එයින්ද සුවය ලැබීය. 2021 දෙසැම්බර් 16 වැනිදා න්ගුගි අභාවයට පත් වූ බවට ව්‍යාජ පුවතක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ අවස්ථාවේ ඔහුගේ පවුලේ සමීපතමයෝ එය වැරදි පුවතක් බව ප්‍රකාශ කළහ.
ඔහුගේ වකුගඩු අක්‍රියවීමේ තත්වයක් මරණයට හේතු වූ බව අනුමාන කෙරේ. න්ගුගිගේ ශිෂ්‍යාවක් මෙන්ම මේ වනවිට කෙන්යානු සමාජ විද්‍යාඥවරියක වන මාගරිටා වා ගචෙරු පැවසූ අදහසකින් මෙම සටහන අවසන් කළ හැකිය.

“To me, he’s like a Kenyan Tolstoy, in the sense of being a storyteller, in the sense of his love of the language and panoramic view of society, his description of the landscape of social relations, of class and class struggles” – Margaretta wa Gacheru.
(කතන්දර කියන්නෙකු හැටියට ගත්තොත් මට නම්, ඔහු කෙන්යානු ටෝල්ස්ටෝයි කෙනෙක් වගේ, භාෂාවට ඇති ඇල්ම සහ සමාජය, සමාජ සබඳතාවල භූ දර්ශනයන්, පන්ති සහ පන්ති අරගලය පිළිබඳ ඔහුගේ පුළුල් දැක්ම යන අර්ථයෙන් පවා එය එහෙමයි)

චන්දන සිරිමල්වත්ත

leave a reply