Breaking News

ඉතිහාසයේ දැවැන්තම සංකේත වැඩ වර්ජනය අප්‍රේල් 28

28 දින පැවැති සංකේත මහා වැඩ වර්ජනය අතිශයින්ම සාර්ථක විය. මෙතරම් විශාල වැඩ කරන ජනකායක්, මෙතරම් විශාල වෘත්තීය සමිති ප්‍රමාණයක් සහභාගී වූ සංකේත වර්ජනයක් මෑත කාලය තුළ ලංකාවේ නොවීය. කටුනායක, කොග්ගල වැනි අපනයන සැකසුම් කලාපවල සේවක සේවිකාවන්ද දහස් ගණනින් මෙම වර්ජනයටත්, විරෝධතා වලටත් එක්ව තිබීම කැපී පෙනෙන සිදුවීමකි. මෙහි තිබූ විශේෂත්වය නම් සේවක සේවිකාවන් ඉතාම ක්‍රියාශීලී ලෙස විරෝධතා වලට එක් වීමයි. වෙන කාලවලදී වැඩ වර්ජන දිනවල නිවෙස් වලට වී සිටින සේවකයින් පවා මෙවර එසේ නොකොට මහ පාරේ විරෝධය දැක්වීමට එක් විය. ලංකාවේ සියළුම පාහේ ප්‍රධාන නගර විරෝධතා පෙළපාලි වලින් පිරී ඉතිරී ගියේය. එය සෑම තරාතිරමකට අයත් වැඩකරන ජනතාව එක්සත්ව පොදු අරමුණක් වෙනුවෙන් හඬ නැගූ ඉතා විරල අවස්ථාවක් විය.

අප මීට කලින් නැවත නැවතත් කියා සිටි ආකාරයට වැඩකරන ජනතාව වැඩ වර්ජනයක් හරහා පවතින පාලනය අවසන් කිරීමට මෙම අරගලය ආරම්භයේ සිටම සූදානමින් සිටි බව අද දින වර්ජනයේ සාර්ථකත්වය විසින් මොනවට පෙන්නුම් කළේය. නිද්‍රාශීලි වෘත්තීය සමිති නායකයින් විසින් විවිධ උපාමාරු යොදමින් වැඩ කරන ජනතාව අරගලයට පැමිණීම දිනෙන් දින පමා කරමින් තිබුණි. වෘත්තීය සමිති නායකයින් විසින් කොළ එළිය දැල්වූ වහාම අරගලයට තමන් කොතරම් සූදානමකින් සිටියේද යන්න වැඩ කරන ජනතාව විසින් පෙන්නුම් කළේය. අද දින වැඩ කරන ජනතාව විසින් ආණ්ඩුවට මෙන්ම වෘත්තීය සමිති නායකයින්ටද ලබා දුන්නේ කදිම පණිවිඩයකි. ආණ්ඩුවට තව මොහොතක් හෝ බලයේ රැඳී සිටීමට අයිතියක් නැති බවත්, ආණ්ඩුව වහාම ගෙදර යායුතු බවත් ඔවුන් විසින් මහපාරේ මොරගා කියා සිටියේය. ඒ මොරගෑම අඛණ්ඩ මහා වැඩ වර්ජනයකට පන්තිය සෑම ආකාරයකින්ම සූදානම් බව වෘත්තීය සමිති නායකයින්ගේ ඇසට ඇඟිල්ලෙන් ඇන මතක් කර දීමක්ද විය.

වෘත්තීය සමිති නායකයන් විසින් තීන්දු කර තිබුණේ 28 දින සංකේත වැඩ වර්ජනයකුත්, මැයි 6 දින හර්තාලයකුත් පැවැත්වීමටය. එහෙත් අද දින ලංකාවේ බොහෝ නගරවල කඩ සාප්පු බොහොමයක් වසා තිබුණි. පිටකොටුවේ තොග වෙළඳ සල් පවා වසා දමා තිබුණි. ඇතැම් නගර මුළුමණින්ම වසා දමාය. ඒ අනුව අද දින පැවතියේ සංකේත වර්ජනයක් පමණක් නොව යම් ආකාරයක හර්තාල් තත්ත්වයකි. වෘත්තීය සමිති නායකයින්ට වඩා වැඩ කරන ජනතාව මෙන්ම අනෙකුත් ජන කොටස්ද බොහෝ ඉදිරියෙන් සිටින බව මොනවට පෙන්නුම් කළේය. මේ නිසා වෘත්තීය සමිති නායකයන්ට මේ මොහොතේ ක්ෂණිකව ගැනීමට ඇත්තේ එකම තීන්දුවකි. ඒ අඛණ්ඩ මහා වැඩ වර්ජනයක් කැඳවීම පමණි.

අරගලයට එහි නියම ජවය හා හැඩය ලබාදිය හැක්කේ කම්කරු පන්ති ව්‍යාපාරයට බවත්, වෘත්තීය සමිති නායකයන් මේ බව හොඳින් දන්නා නිසා ඔවුන් එම ජවය මුදා හැරීමට බියවී ඇති බවත් අපි කියා සිටියෙමු. එසේම ඇතැම් වෘත්තීය සමිති මීළඟ ජනාධිපති සිහිනය වපුරන දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍ර කර පින්නාගෙන සිටින බැවින් කම්කරුවන් අරගලයට කැඳවීමට බිය වී ඇති බවද අපි කියා සිටියෙමු. අද දිනද ජනාධිපති සිහිනය වපුරන දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍ර අනුව කටයුතු කරන වෘත්තීය සමිති නායකයන් විසින් අරගලය තුළ පන්තියේ එක්සත්කම පළුදු කරන ආකාරයෙන් ක්‍රියා කිරීම කණගාටුදායකය. කොළඹ අවට වැඩ වර්ජනයේ යෙදුණු අති බහුතරය ගෝටාගෝගම කරා ගමන් කරමින් එම විරෝධතාකරුවන් හා අත්වැල් බැඳ ගනිමින් එම අරගලය තමන්ගේද අරගලය බව කියා පාද්දී, ජනාධිපති සිහිනයෙන් සිහිය විකල් කරගත් දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍ර කර ගසාගෙන සිටින වෘත්තීය සමිති නායකයන් කොටුවේ වෙනම රැළියක් පැවැත්වීම ඛේදජනකය. සෑම අතින්ම එක්සත්ව පහර එල්ල කළ යුතු මොහොතේ මෙසේ පටු දේශපාලන න්‍යාය පත්‍ර මත පන්ති ව්‍යාපාරයේ එක්සත් කමට බාධා පැමිණවීම අපි පිළිකුල් සහගත ලෙස හෙළා දකිමු. ඉදිරියේදී හෝ එම වරද නිවරැදි කර ගන්නා මෙන් ඔවුන්ගෙන් සහෝදරාත්මකව ඉල්ලා සිටිමු.

වැඩ කරන පන්තියේ එක්සත්කමත්, වැඩ කරන පන්තියේ වුවමනාවන් වෙන්කළ නොහැකි සේ ජන අරගලය සමඟ බද්ධ වී ඇති බවත් නිරන්තරයෙන් පාලකයින්ට දැනෙන ආකාරයට ක්‍රියා කිරීම මේ මොහොතේ වැඩ කරන පන්තියේ නායකත්වයේ වගකීමයි. ඒ වෙනුවෙන් 2022 අප මැයි දින පෙළපාලිය ගෝටාගෝගම කරා පැමිණ එම අරගල භූමිය තුළ මැයි රැළීය පැවැත්වීමට අප පියවර ගත යුතුය. මෙය වැඩ කරන පන්තියේ නායකයන්ට පැහැර හැරිය නොහැකි වගකීමකි.

ක්ෂණිකව අඛණ්ඩ මහා වැඩ වර්ජනයක් කැඳවීමට අමතරව පහතින් ඇති කරුණු මෙවර වැඩ කරන ජනතාවගේ මැයිදින ඉල්ලීම් විය යුතු බවටද අපි යෝජනා කරමු.

• උද්ධච්ඡ, ජනතාද්‍රෝහී, බල තන්හාවෙන් පෙළෙන පාලනය ගෙදර යවමු !

• ජනතාවට ව්‍යසනයක් වූ ආර්ථික-දේශපාලන ක්‍රමය වෙනස් කරමු !!

• ජනතාව මත මුදාහැර ඇති මර්ධනය හා රජය විසින් කරන මානව හිමිකම් උල්ලංඝනයන් වහා නැවැත්වීම !

• අන්තර්වාර පාලන ප්‍රෝඩාවට ඉඩ නොදීම !

• IMF යනු විසඳුමක් නොව තොණ්ඩුව තවත් තද කිරීමක් නිසා IMF කොන්දේසි ප්‍රතික්ශේප කිරීම!

• බහුජාතික සමාගම් හා බහුජාතික බැකු වල ධනය පවරා ගනිමින් ජනතා අවශ්‍යතා සපුරාලීම!

• ජනතාව පෙළන භාණ්ඩ හිඟයට වහා පිළියම් යෙදීම !

• සෞඛ්‍ය, අධ්‍යාපනය හා ප්‍රවාහනය ජනතා පාලනය යටතට පැමිණවීම !

• උද්ධමනයට සමානුපාතිකව සේවක වැටුප් වැඩි කිරීමේ යන්ත්‍රණයක් සැකසීම !

• සුළු හා මධ්‍ය පරිමාණ ගොවි හා ධීවර ණය අහෝසි කිරීම !

• සියළු ආකාරයේ වංචා, දූෂණ හා අක්‍රමිකතාවන් නවතාලීමට පියවර ගැනීම හා වංචනිකයන් හා දූෂිතයන් ජනතා අධිකරණයක් ඉදිරියට පමුණුවා පැහැර ගත් වත්කම් යළිත් ජනතා අයිතියට ලබා ගැනීම !

• විරැකියාව නැති කෙරෙන, කාර්මික සංවර්ධනය සමඟ පරිසර හා දේශගුණික චිරස්ථායීභාවය සහතික කෙරෙන වැඩ පිළිවෙලක් සකස් කිරීම හා ක්‍රියාවට නැඟීම !

• වැඩපළ මට්ටමින් සේවක කමිටු, ගොවි හා ධීවර කමිටු හා ප්‍රාදේශීය මට්ටමින් ජනතා සභා ගොඩ නඟමින් ඒවායින් තේරී පත්වන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් ජනතා පාලනයක් ගොඩ නැඟීම !
ලංකාලෝක

leave a reply