2002 වසරේදී තබ්බෝව අභය භුමිය ගැසට් කිරීමේදී ප්‍රදේශයේ රජයේ සහ පෞද්ගලික ඉඩම් අදාළ කාර්ය සඳහා පවරාගෙන අභය භූමියක් ලෙස ගැසට් කර ප්‍රකාශයට .ලදී. ආසන්න වශයෙන් එවකට වගානොකළ පෞද්ගලික ඉඩම් අක්කර 1200 ක් මෙම අභය භූමියට පවරාගන්නා ලදී. උග්‍ර වන අලි ගැටලුව පවතින කරුවලගස්වැව ඇතුළු මෙම කලාපයේ අලි මිනිස් ගැටුම සහ මී ඔයේ ජල පෝෂකයක් ලෙසත් ඇතුළුව ගැටළු විශාල ප්‍රමාණයකට විසඳුම් මෙමගින් ලැබුණි. මෙම රක්ෂිතයේ කලුඑබ රක්ෂිත කොටස අදටත් අලින් සියගනනකට වාසස්තානයකි.
හෙක්ටයාර 792කින් යුතු මෙම කලුඑබ රක්ෂිත ප්‍රදේශයේ ඉතා වටිනා තණ භුමි සහ විල්ලු සහිත ලක්ෂණ වලින් පිරි ප්‍රදේශ පිහිටා ඇත. එම එළිමහන් භුමි අලින්ට කදිම වාසස්ථාන වේ. මෙම ප්‍රදේශයේ අක්කර 100ක පමණ වැවක් සාදා කුඹුරු කිරීමට යයි පවසමින් ඉඩම් අක්කර 200ක් ඇල්ලීම සඳහා සනත් නිශාන්ත මහතා උපක්‍රම යොදමින් සිටින බවට ප්‍රදේශයේ අලි ගැටලුවෙන් දැඩි පීඩාවට පත් ගැමියන් අප වෙත පවසයි.
දුප්පත් ගොවියන්ට වගා ඉඩම් ලබාදෙන මුවාවෙන් රක්ෂිතයේ කිලෝමීටර ගණනක් ඇතුලට පාරක් සාදා, පෞරානිකව පැවති වැවක් බවට ප්‍රකාශ කරමින් තමන්ගේ හිතවතුන්ට සහ හෙන්චයියන්ට ඉඩම් බෙදාදෙන උපක්‍රමයක් ලෙස මෙය භාවිතා කිරීමට සනත් නිශාන්ත මහතා කටයුතු කරමින් සිටින බවට තතු දත් ප්‍රදේශයේ නිලධාරීන් පවා ප්‍රකාශ කරයි.
කෙසේ නමුත් ලංකාවේ වැඩිම පරිසර හානි මෑතකාලීනව වාර්තා වූ පුත්තලම දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයා වන චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගේ සහයද මෙයට ලැබෙන බව අපට වාර්තා වේ. මෙම ප්‍රදේශයේ මහා පරිමාණයෙන් කඩොලාන කැපෙන විටත්, කැලෑ හෙහෙලිකිරේම් සිදුවන විටත්, යම් යම් සංවිධානාත්මක කණ්ඩායම් විසින් රජයේ ඉඩම් අල්ලගන්නාවිටත් ඉතාම අලස ස්වරුපයෙන් කටයුතු කළ කලින් කෑගල්ල දිස්ත්‍රික් ලේකම්ව සිටි චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගේ අක්‍රීය බව ප්‍රදේශයේ පරිසර හිතකාමීන්ට මහත් ගැටලුවක්ව ඇත. එසේම ඔහු කෑගල්ල ප්‍රදේශයේ සිටියදී ප්‍රදේශය වසාගෙන කටුපොල් පැතිරීමත්, දිය ඇලි ඇලදොළ කුඩා ජලවිදුලි බලාගාර මාෆියාවේ ගොදුරු බවට පත්වීමත්, කෑගල්ල පස් සහ කළුගල් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට යටත්ව කඳු සමතලා වීමත්, ගංගා රක්ෂිත, කුඹුරු සහ පහත්බිම් වලට සිදු වූ හානිය සැලකීමේදී, ඔහුගේ පරිසරයට ඇති ලැදියාව පිළිබඳව නැවත ප්‍රශ්න කළ යුතුව ඇත.
මෙලෙස කලුඑබ රක්ෂිතය වනසුනොත්, අලිමිනිස් ගැටුම උග්‍ර වී කරුවලගස්වැව, මොරියකුලම, එගොඩපිටිය, පුරානන්කල්ම,සිරාම්බෙරිය, මානවෙරිය වැනි ගම්වල ජනතාවට ගම බිම් හැරයාමටත් ගොවිබිම් ගෙවතු පාලුවට හැරීමටත් සිදුවනු ඇත. එසේම මෙම රක්ෂිතයට තම හිතවතුන්ට වගා කටයුතු වලට ඇතුළුවීමට දීම යනු අලින් මෙයින් පලවා හැරීමක් මෙන්ම අනෙක් සත්ව ප්‍රජාවටද වාසස්ථාන අහිමි කිරීමකි. වටිනා ගස් ඇතුළු වනජ සම්පත් රක්ෂිතයට අතුලුවන්නන්ගෙන් වැනසී යනු ඇත. පළමුව තාවකාලික මඩුද, දෙවනුව තාවකාලික ගොඩනැගිලිද පසුව ස්ථිර ගොඩනැගිලිද ඇතිවනු ඇත. ඊටත් පසුව අක්කර 200 අක්කර 500 වී පසුව අක්කර 1700කට වැඩි මුළු භුමි භාගය මොවුන්ගේ ග්‍රහණයට නතු වනු ඇත. විදුලි වැටවල් ඇද අලින් මරුමුවට පත්කරනු ඇත. එසේම මෙම ස්වභාවික එළිමහන් තනභුමිය කුඹුරක් වූ පසු අලින්ට ආහාර නොලැබී ඔවුන් ගම්බිම්වලට පනිනු ඇත. වනජීවියට ප්‍රශ්න දෙගුණ තෙගුණ වනු ඇත. ඔවුන්ටද අලින් අල්ලා හොරෝවුපතානට හෝ වෙනත් කොහෙට හෝ ගෙනයනු ඇත. බහුතරයක් අලින් සෙමින් මරණයට පත්වනු ඇත. ඒ අතර වගා භුමි අක්කර සිය ගණන් වැනසෙනු ඇත. වන සංරක්ෂණයට අදාළ රක්ෂිත ප්‍රදේශයේ ඇති තම කාර්යාලය වසා දමා ගෙදර යා හැකිය.
වර්තමාන ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රාකාශයේ පැහැදිලිව දක්වා ඇත්තේ 3% කින් වන ගහනය වැඩිකරන බවකි. මෙම මැති ඇමතිවරුන් එය සිහියේ තාබගෙන වැඩකළ යුතුය. කෙසේ නමුත් පසුගිය කාලය පුරා දක්නට ලැබුනේ වනාන්තර දිගින් දිගටම විනාශ කිරීමය.
ලබන සෙනසුරාදා දින මෙම ස්ථානය නිරීක්ෂණයට සහ අනුමැතිය ලබාදීමට අදාල නිලධාරීන්ට කැඳවීමක් සිදු කර ඇත. වන සංරක්ෂණය මෙම කාර්යට විරෝධය දක්වා ඇති බවට වාර්තා වී ඇති නමුත් ඔවුනට විශාල දේශපාලනික බලපෑමක් මේ වන විට ඇතිවෙමින් ඇත. මෙහි ඉඩම් ලබාදීමට යෝජිත අයවලුන් සහ ඔවුන්ගේ ඇමතිවරයාට ඇති සම්බන්ධය අප හොඳින් දන්නා නමුත්, මේ අවස්තාවේදී ඒ සම්බන්ධව වැඩිදුර යමක් ප්‍රකාශ නොකරමු.
5/2001 චක්‍රලේඛය ඉවත්කිරීම වැනි ප්‍රතිපත්ති හරහා කරන්නට විනාශය ඒවා ඉවත්කිරීමටත් පෙර සිදුකරන මෙවැනි නීතිවිරෝධී ක්‍රියාවලින් මොනවට පැහැදිලි වේ. වගා නොකරන වගා කළ හැකි රක්ෂිත නොවන ඉඩම් අක්කර ලක්ෂ ගණනින් ඇති අප රටේ රක්ෂිතම කෘෂිකර්මය/වගා ව්යාප්තකිරීමේ මුවාවෙන් රක්ෂිත සහා සංවේදී ප්‍රදේශ වැනසීම අනුමත කළ නොහැකිය. මේවා පිටුපස ඇති අවසාන අරමුණ නම්, තම දේශපාලන හිතවතුන්ට ඉඩම් බෙදාදීමත් පසුව ඒවා තමන්ගේ ඉඩම් බවට පත්කරගැනීම හෝ විල්පත්තුවේ සහ යාල ප්‍රේරක කලාපයේ මේ දිනවල මතුව ඇති ගැටලුව මෙන් එවැනි වගා ඉඩම් මහාපරිමාණ දේශීය හෝ විදේශීය සමාගම්වලට පසුකාලීනව විකිණීමය.