වසන්තය සසලවන සරත් කවි

Date:

රනට රන් පත් සලා අවසන
ගිමන් හරිනෙය තුරක් නිසලව

සුළං හා ගිය හැලුණු රන්පත්
දිරාපත් වී පසට යටවිය

තරුව මළ කළු කුහරයක් බඳු
මැරුණු ආලය පිටේ බැඳගෙන
සෝක වනු පමණමද කාරිය
සරත මියයන ඉමක ළබැඳිය

කාත් කවුරුත් වැඩිය නොකියන
ක්ෂුද්‍ර කවියකු ලියූ කවියක
මෙ’පද සටහන් තිබී හමුවිය
කහගැහී ගිය පොතක පිටුවක

“මැකුණු පසු හිම
ඉරට පවරා
වසන්තේ මල් හදන කාරිය
නවත්වන්නට මෙයයි කාලය
අඳුරු අහසට අඬන කාරිය

“සියල් දෑ කල් – නොකල් මියගිය
ගොහොරු තෙත්බර පසට යටකර
වසන්තය ගැන බලාහිඳුමයි
තුරක, තණ පැලයක ද කාරිය!”

මා කැමැති ම ඍතුව කුමක්දැ’යි කිසිවකු මගෙන් සරතයේ දී ඇසුවොත්, මා නිසැකව ම කියනු ඇත්තේ ‘මගේ ප්‍රියතම ඍතුව සරතය’ කියා ය. (මේ පැනය අසන ඍතුව අනුව මගේ පිළිතුර වෙනස් වන්නට ඇති ඉඩකඩ ඉතා ඉහළ බව මා අවංකවම කිවයුතු ය‍. එහෙත් ‘කැමැතිම ඍතුව ගිම්හානය’ යයි මා කිසිදාක කී බවක්නම් මට මතක නැත‍.)

මා සරතයට ආසා කරන්නේ සරතය භවයක අවසානය සටහන් කරන නිසාවත්දැ’යි මම නොදනිමි‍‍. වසන්තේ පිපි මල්, ඵලවලට ඉඩදී මියගොසිනි. ඒ ඵල, පැසී – ඉදී මනුස්සයාගේ, සතා සතුන්ගේ හා මහපොළොවේ ජීවය බවට පත්ව මියගොසිනි‍‍. ඒ මල් ඵල හදන්නට වෙහෙස වූ හරිතප්‍රද බලාගාර තුරුපත්, සරාකල සිය ආයුකාලය අත්හැර අතු අගින් බසින්නේ නිකම් ම නොවේ. මහා සැණකෙළියක් මවමිනි. එය ගින්දර සැණකෙළියකි. ගිනිදළු වන් කහ-රතු-රඹ පත්, සමනොල කොලහලයක් සේ අතු අගින් බැස බිම විසිරෙන්නෝ ය.

එකල්හි, තුර නිරුවත් වන්නී ය. එක් භවයක් අත්හරින්නී ය.
ඊළඟට එන සිසිරය ඇය සියලු දුක් පීඩා මැද දරාගන්නී ය.
සිසිර ඉම වසන්තය එන බව දෑ දන්නී ය‍.
වසන්තය ආ විට කරන්නට ඇවැසි දෙය ද ඈ දන්නී ය.
ඔව්, අලුත් භවයේ සළුපිලි ඇඳගැනීම ය.
නැවතත් සරත කෙළවර ඒ භවය ද අත්හැරීම ය‍.
ඊළඟ වසන්තයේ අලුත් භවයක් එනතුරු කල්බැලීම ය. සසර සක කරකැවීම ය.

මා උපන්නේ ද සරාකල මිය යන නොවැම්බරයක ය‍‍. අවුරුද්දේ අන්ධකාර ම මාසය නොවැම්බරය යයි මේ අර්ධගෝලයේ මිනිස්සු කියති. එය වැරැදි නැත. සියල් කොළ රොඩු දිරූ පොළොව කළුවන් ය. සියල් පත් අත්හල තුරු ලතාවෝ කළු සොල්මන් අවතාර බඳු වන්නාහු ය. අහස කොපමණවත් හඬන්නට ඉන්නාක් මෙන් අන්ධකාර කළු පොරවාගෙන ය. අහසත් පොළොවත් අතරමැද සියල්ල අන්ධකාර ය.

මා සරාසමයට ලාලසා වඩන්නේ ගින්දර සැණකෙලියකින් ඇරැඹී මරණය බඳු අන්ධකාරයකින් අවසන්වන බැවින්දැ යි මම නොදනිමි‍‍.
භවය ඉවර කරන්නා වන සරාකලට ඇති මේ අද්භූත ආලය නිසාදෝ මා’තින් සරාකල්හි දී කවි වැනි මොනවා හෝ ලියැවෙයි. ඒ භවය අවසන් වූ විට මටමත් ඒවා අමතක වී යයි.

එහෙත් මේ වසන්තයේ දී එසේ අමතක නොවූ සරත් කවියක් දෙකක් බෙදාගන්නට මට සිතේ.

වැඩිම වුණොත් කවි දෙකකි.
මේ ඉන් පළමුවැන්න යි.
මේ සේයාරුවේ ඉන්නේ මේ කවියෙන් අමතන ‘ඈ’ නොවේ.
මගේ ‘ඈ’ ය.
මා දන්නා බොහෝ දෙන මගේ ‘ඈ’ ද දන්නා බැවින් ඊට වැඩි යමක් ‘ඈ’ ගැන නොකියමි.

සනත් බාලසුරිය

Share post:

Popular

More like this
Related

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...