Breaking News

ආණ්ඩුව කලාකරුවන්ට එරෙහිවත් PTA යොදා ගනියි

පසුගිය ජුනි 2 වැනිදා කිලිනොච්චියේ සංගීතඥයෙකු වන ගනේෂ් කුමාර් සංකීතන් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දින 14කට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. එයට හේතුව ලෙස සඳහන් වන්නේ යුද්ධයෙන් මියගිය තමිල් ජනතාව ගැන සංගීතමය නිර්මාණයක් සිදු කිරීමයි.

පසුගිය ආණ්ඩු කාලසීමාවන්වල විවිධ ආණ්ඩු ශක්තික සත්කුමාර, මාලක දේවප්‍රිය, අහ්නාෆ් ජසීම් වැනි කලාකරුවන් සඳහා ICCPR වැනි පනත් යොදාගනිමින් තිබුණි.

පසුව මෙම ආණ්ඩුව දීපචෙල්වන් ලේඛකයාට එරෙහිව රේගු ආඥා පනත බාවිත කරමින් සිටියි. දැන් කලාව මර්දනය සඳහා අලුතින්ම භාවිතා කරමින් තිබෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත බව පෙනෙන්නට තිබේ.

පහත පළවෙන්නේ tamilnews1.com නම් වෙබ් අඩවියේ මෙම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධ ලිපියක පරිවර්තනයකි. මෙම පරිවර්තනය What News වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.

යාපනයේ මේ දිනවල විවිධ ස්ථානවල කෝවිල් උත්සව පැවැත්වෙන පසුබිමක, එම උත්සවවලදී පැවැත්වෙන මංගල වාදන (මේල කච්චේරි) සහ සංගීත සංදර්ශනවලදී දේශාභිමානී පිබිදීමේ ගීත වාදනය කිරීම සහ ගායනා කිරීම සම්බන්ධ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් පවතී. මේ හේතුවෙන් පොලිසිය ඒ පිළිබඳව දැඩි පරීක්ෂණ ආරම්භ කර ඇත.

පසුගිය සතියේ උරුම්පිරායි ප්‍රදේශයේ පැවැති සංගීත සංදර්ශනයකදී මෙවැනි දේශාභිමානී ගීත ගායනා කළ බවට ලැබුණු චෝදනාවක් මත, උතුරේ ප්‍රසිද්ධ මියගිය ගායක එස්. ජී. ශාන්තන්ගේ පුත්‍රයෙකු වන කෝගුලන් ඇතුළු දෙදෙනෙකු කෝපායි පොලිසිය විසින් ප්‍රශ්න කිරීම් සඳහා කැඳවා තිබුණි. එහිදී ඔවුන්ගෙන් දැඩි ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව නිදහස් කර තිබේ.

යුද සමයේදී උතුරු-නැගෙනහිර (මව්බිමෙන්) බිහි වූ සියලුම ගීත එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ගීත නොවන බවත්, එම වකවානුවේදී ද ආදර ගීත, භක්ති ගීත මෙන්ම යුද්ධය නිසා ඇති වූ අලාභ හානි සහ වේදනා ප්‍රකාශ කරන ගීත රැසක් බිහි වූ බවත් ගායකයෝ ප්‍රකාශ කර සිටිති. තමන් ගායනා කරන්නේ එම ගීත බවත්, බෙදුම්වාදය ඇති කරන කිසිදු ගීතයක් තමන් ගායනා නොකළ බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.

මේ අතර, මෙවැනි පිබිදීමේ ගීතයක් (දේශාභිමානී ගීතයක්) ගායනා කර එය සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ චෝදනාව මත තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

යාපනය, චාවකච්චේරි ප්‍රදේශයේ මෑතකදී පැවැති කෝවිල් උත්සවයකට සමගාමීව පැවැත්වුණු සංගීත සංදර්ශනයකදී කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි රැප් (Rap) සංගීත ශිල්පියෙකු වන තරුණයෙකු විසින් භක්ති ගීත සහ දකුණු ඉන්දීය සිනමා ගීත ගායනා කර තිබේ.

කෙසේ වෙතත්, ඔහු එම සංදර්ශනයේදී ගායනා කළ ගීතවල වීඩියෝ දර්ශන සඳහා, මීට පෙර ඔහු විසින් නිර්මාණය කර තිබූ රැප් ශෛලියේ දේශාභිමානී ගීතයක් පසුබිම් සංගීතය ලෙස බද්ධ කර (Edit කර) ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම්වල පළ කර ඇත.

මෙම වීඩියෝ පට සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස ප්‍රසිද්ධ වීමත් (Viral වීමත්) සමඟ, දකුණු ලංකාවේ (තෙන්නිලංගෛ) බොහෝ පිරිසක් මේ සම්බන්ධයෙන් දැඩි විවේචන සහ ජාතිවාදී අදහස් ඉදිරිපත් කිරීමට පටන් ගත්හ.

මේ තත්ත්වය මත, අදාළ වීඩියෝව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ දිස්ත්‍රික් අපරාධ මර්දන පොලිස් ඒකකය විසින්, එම ගීතය ගායනා කළ කිලිනොච්චියේ පදිංචි තරුණයා අත්අඩංගුවට ගෙන චාවකච්චේරි පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන එම තරුණයාගෙන් පොලිසිය දැඩි ලෙස ප්‍රශ්න කරමින් දීර්ඝ විමර්ශන සිදු කරයි.

leave a reply