Breaking News

නුසුදුස්සන් වනජීවී නීතිය ක්‍රියාත්මක කිරීමේ පාඨමාලාවට යැවීමේ සුදානමක්

මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝණය කරමින් විදේශීයව පැවැත්වීමට යන වනජීවී නීතිය ක්‍රියාත්මක කිරීමේ පාඨමාලාව අවලංගු කර නැවත විධිමත් ආකාරයෙන් පවත්වන ලෙස ඉල්ලා සිටීම.

වනජීවි අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් අත්සන් තබා අංක වජි/5/16/Special Training1/2021 හා 2021/07/16 දිනැති ලිපිය මගින් වනජීවී කාර්යාලවලට දැනුම් දී තිබුණේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලබන වනජීවී නීතිය ක්‍රියාත්මක කිරීමේ පාඨමාලාව සඳහා වනසත්ත්ව අඩවි ආරක්ෂක i,ii,iii, වනසත්ත්ව අඩවි සහකාර, වනසත්ත්ව නියාමක යන නිළධාරීන් හට අයඳුම්පත් ඉදිරිපත් කරන ලෙසය. අදාල අයඳුම් පත්‍රය එම ලිපිය සමග කාර්යාලවලට එවා තිබුණි. නමුත් මෙම අයඳුම් පත්‍රය සමග ඒවා තිබූ ලිපියෙන් මෙම පාඨමාලාව සඳහා නිළධාරීන් තෝරා ගන්නා ක්‍රමවේදය, තරඟ විභාගය පවත්වන ආකාරය සහ විභාගය පවත්වන මාධ්‍යය, පාඨමාලාව දේශීයවද විදේශීයවද පැවැත්වෙන්නේද යනවග සහ පාඨමාලාවේ අන්තර්ගතය පිළිබඳව කිසිදු සටහනක් නොතිබුණි. තවද අයඳුම්පත්‍රයේ මෙම පාඨමාලාව සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් පිළිබඳව කිසිම සඳහනක් නොතිබූ අතර වෘර්තීය සුදුසුකම් හා ඉංශ්‍රීසි භාෂා හැකියාව පිළිබඳව පමණක් සටහන් කිරීමට අවස්ථාව තිබුණි. නිළධාරීන් විසින් සිදුකර ඇති අධිකරණ කටයුතු පිළිබඳව සඳහන් කිරිමට මෙම අයඳුම්පත්‍රයේ පැහැදිලි ස්ථානයක් නොතිබුණි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහත තනතුරු නියෝජනය කරන නිළධාරීන් වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත ක්‍රියාත්මක කරන සාම නිළධාරීන් වන නිසා වනජීවී නීතිය පිළිබඳව දැනුම සහ පුහුණුව රාජකාරිය සිදු කිරීම සඳහා අවශ්‍යම අංගයකි. එය සෑම නිළධාරියෙකුටම පොදුවේ ලබාදිය යුතුය. නමුත් මෙම පුහුණුව නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන මූලික පුහුණුවක් නොවන බව ඉල්ලුම්පත් යොමු කිරිමේ ක්‍රමවේදය මගින් මනාව පැහැදිලි වනු ලබයි.

මෙම ලිපියට අදාල ලිපි ගොනුව Special Training ලෙස සඳහන් වන නිසා මෙය විශේෂ පුහුණුවක් බව පැහැදිලිය. නීතිය ක්‍රියාත්මක කිරිම සඳහා විශේෂ පුහුණුවක් ලබාදිය යුත්තේ දෙපාර්තමේන්තුව මගින් නිළධාරීන්ට ලබාදෙන මූලික නීතිය ක්‍රියාත්මක කිරිමේ පාඨමාලාව හදාරා ඇති සහ සක්‍රීයව වනජීවී දෙපාර්තමේන්තුවේ නීතිය ක්‍රියාත්මක කිරිමේ කටයුතුවලට දායක වන නිළධාරීන්ටය.

පසුව කාර්යාල වලට එවා තිබූ සහකාර අධ්‍යක්ෂ (නීති ක්‍රියාත්මක කිරීම්) ඩී.එම් වීරසිංහ මහතා විසින් අත්සන් තබා ඇති අංක වජි/5/16/Special Training1/2021 හා 2021/11/10 දිනැති ලිපිය මගින් දන්වා තිබුණේ නිසි පරිදි සම්පූරණය කරන ලද අයඳුම්පත් ඉදිරිපත් කර ඇති අයඳුම්කරුවන් තරඟ විභාගයකට භාජනය කරනු ලබන බවත්, තරඟ විභාගය සමත් අයඳුම් කරුවන් ව්‍යුහගත සම්මුඛ පරික්ෂණයකට යොමු කරන බවත්ය. ඒ් අනුව මූලික අයඳුම්පත්‍රය ඒවූ දිනයේ සිට ආසන්නව මාස 04ක්පමණ ගොස් අයඳුම්කරුවනට වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත ආශ්‍රයෙන් සකස්කරන ලද බහුවරණ ප්‍රශ්ණ 50 ක තරඟ විභාගයක් ඉංශ්‍රීසි මාධ්‍යයෙන් පවත්වන බව දැනුම්දෙනු ලබයි. තවද එමගින් අවසන් පුහුණුලාභීන් තොරාගන්නා බවද පවසා ඇත. මෙම දැනුම්දීම මුල් අවස්ථාවේදීම සිදුකළ යුතුය. තවද ඉහතින් සඳහන් කරන ලද නිළධාරීන්ගේ බඳවා ගැනිමේ ක්‍රමවේදය අනුව ඉංග්‍රීසි භාෂාව අනිවාර්යයෙන් සමත්විය යුතු විෂයක් නොවන නිසා මෙම තරඟ විභාගය ඉංග්‍රීසිභාෂාවෙන් පැවැත්වීම අපගේ මූලික අයිතිවාසිකම් පවා කඩවීමකි.

එම ලිපියට පසුව කාර්යාලවලට එවා තිබූ අධ්‍යක්ෂ මෙහෙයුම්ගේ අංක WL/5/16/Special Training1/2021 හා 2022/01/06 දිනැති ලිපිය මගින් දන්වා තිබුණේ වනජීවී කළාප වලින් යොමුකළ අයඳුම් පත් ඇගයීමට ලක්කිරීමේදී බහුතරයක් අසම්පූරණ අයඳුම්පත් ලෙස නිරීක්ෂණය වූ බවත් ආසන්න අධීක්ෂණ නිළධාරියා සහ කලාප සහකාර අධ්‍යක්ෂවරුන් විසින් අයඳුම්පත් යොමු කිරීමේදී දක්වා ඇති නොසැළකිළිමත්බව අයඳුම්පත් ප්‍රතික්ෂේපවීම කෙරෙහි මූලිකවම බලපා ඇති බවත්ය. බස්නාහිර, දකුණ, අනුරාධපුර වැනි කළාපවල සියළුම අයඳුම්කරුවන්ගේ අයඳුම්පත් ප්‍රතික්ෂේප වී ඇති අතර අනෙකුත් කළාපවල ද බොහෝ නිළධාරීන්ගේ අයඳුම්පත් ප්‍රතික්ෂේප වී ඇත. අයඳුම්පත් යොමුකිරීමේදී ආසන්න අධීක්ෂණ නිළධාරීන් සහ කළාප සහකාර අධ්‍යක්ෂවරුන් නොසැළකිළිමත්බවක් දක්වා ඇත්තම් ඒ සම්බන්ධව ඔවුන්ට විරුද්ධව කටයුතු කරනවා වෙනුවට අයඳුම්පත් ප්‍රතික්ෂේප කිරීම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව හා සමානය. තවද එම ලිපියේ සඳහන් වූයේ ප්‍රතික්ෂේපිත අයඳුම්පත් පිළිබඳව විස්තර පසුව දැනුම්දෙනු ලබන බවයි. නමුත් මේවනතෙක් එවැනි දැනුම්දීමක් සිදුකර නොමැත. තවද මෙම ලිපියෙන් පැහැදිලි වනුයේ එකම ප්‍රශ්ණ පත්‍රය වෙලාවල් දෙකකදී කණ්ඩායම් දෙකකකට දී ඇති බවයි එයද ප්‍රශ්ණගත ක්‍රියාවකි. තවද මෙම විභාගය සහ සම්මුඛ පරීක්ෂණය පැවැත්වීම සඳහා මෙය සංවිධානය කෙරූ නීති අංශයේ සිටින නිළධාරීන්ද සහභාගී වී ඇති බැවින් මෙහි විනිවිදබභාවය පිළිබඳව විශාල ගැටළු පැනනැගී ඇත.

එම ලිපියට පසුව කාර්යාලවලට එවා තිබූ සහකාර අධ්‍යක්ෂ (නීති ක්‍රියාත්මක කිරීම්) ඩී.එම් වීරසිංහ මහතා විසින් අත්සන් තබා ඇති අංක වජි/5/16/Special Training1/2021 හා 2022/03/16 දිනැති ලිපිය මගින් දන්වා තිබුණේ විභාගය සමත් අයඳුම් කරුවන් සඳහා සම්මුඛ පරීක්ෂණය 2022/04/01 දින පැවැත්වෙන බවත් එය ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන බවත් සුදුසුකම් සහිත අයඳුම්කරුවන් සඳහා ලිඛිත පරීක්ෂණයක් 2022/01/21 දින රන්දෙණිගල වනජීවී පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වූ බවත්ය. පැහැදිලිව කියනවානම් අදාල තරඟ විභාගය පැවැත්වූයේ සුදුසුකම් ලත් අයඳුම්කරුවනට නොව නොසැළකිළිමත්භාවයකින් තොරව නිර්දේශ ලබාදී තිබූ ආසන්න අධීක්ෂණ නිළධාරීන් සහ කළාප සහකාර අධයක්ෂවරුන් විසින් යොමුකළ අයඳුම්පත්වල සිටින නිළධාරීන්ටය.

තාක්ෂණය ඉතා අවමව භාවිත කරනු ලබන දෙපාර්තමේන්තුවක් වන වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ ආකාරයේ වැඩසටහනක් සංවිධානය කිරිම පිළිබඳව ස්තුති වන්ත වන අතර තෝරා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව ඉතා පිළිකුලෙන් යුතුව අපගේ විරුද්ධතාවය ප්‍රකාශ කරමි. මන්ද යත් මෙම තරඟ විභාගය සඳහා තේරීපත්වී තිබූ බොහෝ නිළධාරීන් දෙපාර්තමේන්තුවෙි නීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතුවලට සක්‍රීයව දායක නොවන නිළධාරීන් ලෙස සඳහන් කළ හැකිය. නීතිය සක්‍රීයව ක්‍රියාත්මක කිරිමට උරදෙන මේ තරඟ විභාගය සඳහා ඉල්ලුම් කර තිබූ බොහෝ නිළධාරීන් පිරිසකට තරඟ විභාගය සඳහා මුහුණදීමේ අවස්ථාව අහිමිකර තිබුණි. තවද තවත් බොහෝ නිළධාරීන් පිරිසකට අදාල අයඳුම්පත්‍රය ලැබී නොතිබූ නිසා ඉල්ලුම් කිරීමට නොහැකි වී ඇත.

වනජීවී දෙපාර්තමේන්තුවේ සෑම කාර්යාලයකින්ම පාහේ අළුතෙන් පවරන නඩු, විභාගවන නඩු සහ අවසන් වූ නඩුවල විස්තර සාක්ෂි කරුවන් සහ නඩු මෙහෙයවනු ලබන නිළධාරීන්ගේ නම්ද සමග කළාප කාර්යාල හරහා ප්‍රධාන කාර්යාලය වෙත යවනු ලබයි. එම නිසා පැහැදිලිව නීති අංශයට වනජීවී දෙපාර්තමේන්තුවේ නීතිය ක්‍රියාත්මක කිරිමේදී සක්‍රීයව ඒ සඳහා දායක වන නිළධාරින් කළාප මට්ටමින් හඳුනා ගැනිමට හැකිවිය යුතුය. වාර්තා කොපමණ යැව්වත් නීති අංශය ඒවායින් ප්‍රයෝජනයක් නොගන්නා බව මෙවැනි තෝරා ගැනීම් වලින් මනාව පැහැදිලි වනු ලබයි. මේ ආකාරයට සිදුකරනු ලබන තෝරා ගැනිම් වලින් සිදුවනු ලබන්නේ නීතිය ක්‍රියාත්මක කිරිම සඳහා මහත් වෙහෙසක් ගන්නා නිලධාරීන් අධෛර්යමත්භාවයට පත්වීම පමණි. එය දැනටමත් ක්ෂේත්‍රයෙන් අසන්නට ලැබෙයි. වනජිවී දෙපාර්තමේන්තුවේ පවතින පරිපාලන දුර්වලතාවයන් ඔප්පු කිරිම සඳහා මෙම සිදුවීම තවත් එක් උදාහරණයක් පමණි. මෙහි ඇති තවත් හාස්‍යයට ලක්වන කරුණක් නම් ඉංශ්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වූ තරඟ විභාගය සහ ඉංශ්‍රීසි භාෂාවෙන් පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණය සඳහා වන සියළු උපදෙස් සිංහල භාෂාවෙන් ලබා දී තිබීම සහ ඊට අදාල මෙම ලිපිය මගින් සඳහන් කර ඇති සියළුම ලිපිද සිංහළ භාෂාවෙන් ලබා දී තිබීමයි.

2022.04.01 දින ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වූ සම්මුඛ පරීක්ෂණයෙන් තේරී පත්වී ඇති නිළධාරින් කණ්ඩායම් දෙකකට වෙන්කර එයින් පළවෙනි කණ්ඩායම 2022.10.30 වන දින නේපාලය බලා පිටත්වන බව අපවෙත දැනට ලැබී ඇති තොරතුරු වලින් පැහැදිලි වනු ලබයි.

රාජ්‍ය ආයතනයකට ලැබෙන විදේශ පුහුණුව එම ආයතනයේ වෙබ් අඩවියේ සඳහන් කළ යුතු නමුත් මෙහි එවැනි කිසිවක් සිදු නොවූයේ ප්‍රධාන කාර්යාලයට අවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාව තෝරා ගැනීමට බවයි, අයලදුම්පත්‍ර යොමු නොකළ බොහෝ නිලධාරීන් මෙය විදේශ පුහුණුවක් බව දැන සිටියේ නම් මෙම පුහුණුව සඳහා අයදුම්පත් යැවීමට ඔවුන් වඩාත් උනන්දු වනු ඇත.

තවද විදේශ පුහුණුව සඳහා නිලධාරීන් තෝරා ගැනීමට නිසි ක්‍රමවේදයක් වනජීවී දෙපාර්තමේන්තුවට නොමැති බවද වනජීවී නිලධාරීන් පවසා ඇත. බොහෝ අවස්ථාවල ප්‍රධාන කාර්යාලයේ ඉහළ නිලධාරීන්ගේ හිතවතුන් ඊට සහභාගි වනු ලබන අතර එකම නිළධාරී පිරිසද නැවත නැවත විදේශීය පුහුණු සඳහා සහභාගී වනබව පවසයි.

මෙම සමස්ථ ක්‍රියාවළියෙහිම පවතින විනිවිදභාවයකින් තොරවීම සහ සමාවදිය නොහැකි වැරදි සහ හිතාමතාව තමන්ට අවශ්‍ය පිරිසක් රට යැවිමට තිබූ අවශ්‍යතාවය නිසා වනජීවී දෙපාර්තමේන්තුවේ කළාප මටිටමින් නඩු මෙහෙයවීමේ කටයුතුවල යෙදී සිටින නිළධාරීන් පිරිසෙන් 95% ක පමණ නිළධාරී පිරිසක් සඳහා මෙම විදේශීය පුහුණුව අහිමිව ගොස් ඇත. එම නිළධාරීන් අතර ඉංග්‍රීසි භාෂාව මනාව හැසිරවියහැකි නිළධාරීන් පවා සිටින බව අනාවරණය වී ඇත.

මෙහි ඇති විනෝදජනක තවත් සිදුවීමක් නම් පසුගිය අවුරුදු පහේ කිසිම අධිකරණ කටයුුත්තකට ක්‍රියාශීලීව දායකවී නැති නිළධාරීන් පවා මෙම පුහුණුවට තේරී පත්වීමයි. උදාහරණයක් ලෙස වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඇති වැටලීම් ඒකකය මගින් අධිකරණ කටයුතු සිදුකරන නමුත් එහි ඇති අධිකරණ කටයුතු සිදු නොකරන අනෙකුත් අංශවල නිළධාරීන් පවා මෙම විශේෂ පුහුණුව සඳහා තේරී පත්වීමයි.

මේ ආකාරයට මූලික මිනිස් අයිතිවාසිකම් පවා උල්ලංඝණය කර තෝරාගෙන ඇති මෙම නිළධාරීන් පිරිස මෙම පුහුණුව සඳහා යැවීම නවත්වන ලෙසත් නැවත අයඳුම්පත් කැඳවා සාධාරණ තරඟ විභාගයක් පවත්වා සුදුසු අයඳුම් කරුවන් තෝරා ගන්නා ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි. කඩිනමින් ඒසේ නොකළහොත් මේ පිළිබඳව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව වැඩිදුරටත් කාරුණිකව දන්වා සිටිමි. අපගේ සහෝදර වෘර්තීය සමිති විසින් මෙම කරුණු පිළිබඳව ගරු වනජීවීඅමාත්‍යවරයා අමාත්‍යංශ ලේකම් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් වරයා සහ වනජීවී අධ්‍යක්ෂ මෙහෙයුම්වරයා දැනුවත් කර ඇත.

Click to access Controversial-foreign-Training-program-of-DWC.pdf

 

 

leave a reply