සුර ලොවින් මනු ලෝකෙට ආ සුරංගනාවක්දෝ – ආනන්දයක නිමාව !

සුර ලොවින් මනු ලෝකෙට ආ සුරංගනාවක්දෝ…
සිහින විමනින් මගේ ලොවට ආ
කුමාරිකාවක්දෝ….

රූසිරි දේහේ බැබලෙනවා
මා සිත ඉවසිලි නැති වෙනවා
මේ රැයේ – පාළුවේ
මා සොයාලා ඈ එනවා..
මායා…….මායා……..
මායාදෝ මාගේ නෙත් මානේ…..

මේ, මා ඇසූ ලස්සනම සින්දුවලින් එකකි, මර්වින් මිහිඳුකුල ගයන ඒ ගීය ලියූ අත, අද අළුයම නිසල වී ඇත.
ආනන්ද පද්මසිරි.
සිනමා පත්‍ර කලාවේදියෙකි. ලස්සන ගී ලියූ රචකයෙකි. රසවතෙකි. මිතුරු වැඩිහිටියෙකි. සොයුරෙකි. රණ්ඩු වෙවී යාළු වෙවී හිටි මිනිසෙකි. මධුවිතක ගැවසෙන විට කතා සරිත් සාගරයකි. ලේඛනයෙන් අපට ඉගැන් වූ ආදරණීයයෙකි.

මේ ඔහු අතින් ලියැවුණු ගී කීපයකි…

ආදරයේ රස ගීතිකා – ජෝති සමග ලතා
නව එළියක් – ජෝති
ආයුබෝවන් තුෂාරා – ජෝති
නිල් අඹරේ පියාසලන කුරුල්ලනේ මේ අහන්න – එම්. එස්. ප්‍රනාන්දු
සීතල හිම රටේ – මිල්ටන් මල්ලවආරච්චි
නිල් තරු නෙතු හිනැහේ – රූකාන්ත චන්ද්‍රලේඛා
දේවදාර ගස් අතරින් – විජය කුමාරතුංග
සුර ලොවින් මනු ලෝකෙට ආ – මර්වින් මිහිඳුකුල
ආදරේ ඔබ මා හට ඇතිද කියා (ලම්බාඩා තනුවට) – මරියසෙල් සමග පියල්
සාමේ ඉරේ රැස් දහරාවේ – මේරියන්ස්
ලෝකය බිහිවූ දවසේ ඉඳලා.. වතුරයි කාගෙත් මිතුරා සැමදා – මේරියන්ස්
දුම්වැටියේ – මේරියන්ස්
දහසක් මල් පිපිලා – අතුල සමිතා
කොණ්ඩෙ බැඳල අපේ පුතා – මාලනී බුලත්සිංහල
රෝස මල් යායේ – කසුන් කල්හාර
රන් සමනල ජෝඩුව වාගේ – රන්ජන් රාමනායක

හදිසි හෘදයාබාධයක් සමග ඔහු නෙතු පියාගෙන ඇත. අප හදට රිදුමක් දැනෙයි.
ඔහු මධුවිත පා(ල)නය කළේ දින දාගෙන ය. නිදසුනක් ලෙස.. නැවත විතක් පුරන්නේ ලබන ජනවාරි විස්ස යැයි සිතාගත්තොත් අම්මෙ මුත්තෙ කීවත් ඔහු එදවස තෙක් ‘කටේ තියන්නේ’ නැත.
ජෝතිලා විජයලා ගැන සජීවී අද්දැකීම් අපට කී මිනිසා, නැවත එන දිනයක් නොදන්වා මරණයේ තොටුපොළෙන් පිටව ගොස් තිබේ.

“කැපුවා !
කපනවා !!
ඒත් තවම කෙළින් !!!” යැයි සත්හඬ පත්තරයේ සිහිනය අතිරේකයට සංවාදගත වෙමින් 2016 දී ඔහු කීවේය.

ආනන්ද අයියේ, ඒ හඬ දැනුදු ඇසෙයි. ඒ සුහද හඬින් සුරලොව සුරඟනන්ට මනු ලොව විස්තර රහකර කියන්න !

 

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...