වෙඩිවර්ධනගේ සුරේ මං බැන්දා

සුරේ මං බැන්දා
ඔයා කෝචොක් කරන පෙන්දා
සත්තුක.

අස්සන් කරපු දවසෙම
අපි ගියා ඈතක
දවස් දෙක තුනකට
චන්දුලත් එක්කම.

යන අතරමඟ
එයා කියනව කොල්ලට
‘අපි යන්නෙ කොළඹ හඳ දැක ගන්න
ගස්කොළං වටලාපු වැවක මැද’
දන්නවද?
ඒ සොරබොර.

පේනවා නේද? (ඇමුණුම)

මේ අපි හිටපු තැන
අසපුවක් වගෙ ලස්සන.

සොරබොර මෙහෙම
අපි මෙහෙම.

මේස උඩ ටී පෝ උඩ
ගස් මුල් ඇදුණ හැඩතල
බිත්තවල, අහුමුලුවල
කැටයම් දැමුණ ලී කොට
කොල්ලට ඉතින් හරි වැඩ.

අයිතිකරු රේනුක
සත්තුකගෙ ගජයෙක්
වන සංරක්සණේ වැඩ
විනෝදෙත් ගස් මුල්
ඉන්ද්‍රජාලික මිනිහෙක්.

ඉන්දුමා රේනුකගෙ පණ
හරි කොලිටි කෙල්ලෙක්
අනේ මන්දන්නෑ
එච්චර නිවෙන හැටි
එච්චර සරල වෙන හැටි
හිතා ගන්නත් බෑ.

පව්! ළමයි නෑ දෙන්නට
නැහිලා වාගේ චන්දුට
මගේ වයසම වෙන්නැති
ඒ අහිංසක කෙල්ලට
කල් තියෙනවනෙ තව
වාසනාවන් දරුවෙක්.

ඇත්තමයි සුරේ ඔයාට
හිතාගන්නත් බැරි වෙයි
චන්දුලගෙ ඇස් දෙක
සොරබොර රළ වගෙම
කෙලවරක් නැති සතුටක.

ගෙයි කාමර තුනයි
අයිතිකාරයො එකක
තව එකක් චන්දුට
නිස්කලංකම තැන
අපි දෙන්නගෙ කුටිය
ඒ කුටිය ඇතුළත
දරන්නම බැරිදෙය
සත්තුකගෙ ඇස්දෙක.

මුල් අදිද්දියි කරුවල
හඳ ආවෙ වැව ඉහත්තාවට
චන්දු හොඳටම නිදි
සැටි පුටුව මත්තෙම
මහන්සියි කොල්ලට.

අපි දෙන්න විතරයි
ඔරුවට ගොඩවුණේ
සත්තුකගෙ සැහැල්ලුව
හරි අමාරුයි සුරේ.

වැව මැද ඔරුව මත
ඇවිත් මගෙ තුරුලට
‘බලන්න භද්ද අර
සද්දයක් නැති අපේ මධු සඳ’
එහෙම කිව්වම සත්තුක
හරි දුකයි මට සුරේ.

හඳ කැලැත්තෙන වැව මැද
මෙන්න හිටි හැටියෙ ම
සත්තුක පැන්න වතුරට
සුදු කමිසෙ – සුදු කලිසම
හංසයෙක් වගෙ සත්තුක.

හිනානං වෙන්නෙපා
හොඳ ගනං මගෙ තුනටිය
ඔරු පැදලම වැවේ
සත්තුක ඇබිත්තක්වත්
වැවට බය නැහැ සුරේ.

රෑ දැඟලිල්ලෙ තරමට
දවල් වෙනකල් අපි නිදි
පැටලිලි ලිහාගෙන
කාමරෙන් අපි එනකොට
චන්දු උන්නේ ඉන්දු එක්කල
මිදුලෙ සෙල්ලම් කර කර.

සත්තුක තමයි ඉව්වේ
අපි පස්දෙනාටම
මං හිටියෙ සැටි පුටුවේ
කකුල් දිග ඇරගෙන
වැව් ‘ඉස්නානෙ’ කෙළවර
‘නේරංජනේ’ බල බල
එය ගෙනාවෙත් සත්තුක
‘සර්ප’ ලියවිලි අතරින්
එයා කැමතිම පොත
මගේ මංගල තිළිණය.

ඔන්න ඔහොමයි සුරේ
ගත වෙච්ච හැම මොහොතම
ආදරය ඉතුරුණ
ඒ සොරබොර ගමන
දරුවත් ළඟම උන් එක
ආදරයෙ උපරිම.

අද ඉඳන් මං වැඩ
ඒත් හිත හරි නිදහස්
එයා ඉන්නව කොල්ලට
දෙන්න හරි ආදරෙයි දෙන්නට
ගෙදර ඔක්කොම වැඩ
බලාගන්නේ සත්තුක.

බඳින්නට ඉස්සර
අපි එකට හිටි කාලෙත්
මං වැඩ ඇරිලා එනකොට
මුළු ගේම සන්සුන්
මං ‘වොෂ්’ දාං එනකොට
ලෑස්තියි කෑම මේසය.

ඔයාටත් කෑමට
එන්නට කියයි දවසක
බය නැතුව එන්න
(විහිළුවක් අනෙ, ලැජ්ජ හිතුණද)
හරි හොඳ කෙනෙක් සත්තුක
ඇවිත් බලන්න රස
එයාගෙ කෑම වේලක.

ඉතින් නවතින්නම්
මුල මතක් කර ලියුමේ
මං දන්නැද්ද හැටි
අග මුල පටලැවෙන මිනිහගෙ.

සුරේ මං බැන්දා
ඔය අත්දෙකෙන් වැළලූ
බලු නොවටිනා ‘වස්තුව’
ගොඩගත්තු හින්දා
සත්තුක කියා නම් පටබැඳ
ඔයා කෝචොක් කරන පෙන්දා.

ඊ ලියුං කරදහියක් [ සුළඟට අවනතව ] 2014 අගෝස්තු 30 Manjula Wediwardena

 

 

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...