ආධුනික ලියන්නී

Date:

මගේ කාමරය අඳුරේ ගිලී ගිය මොහොතේ සිට තදින් දෑස් පියා නින්දට වැටෙන්නට උත්සාහ කලෙමි.

දෑස් පියා සිටිය මුදු, එක්වරම දැල්වී නිවී යන එළියක් දෑස් තුල රටා ඇන්ද බැවින් දෑස් හැර බැලූයෙමි. කිසිවක් නොමැත, එහෙත් සමාන්තර කාල පරාස තුල වරින් වර දැල්වී නිවෙන මේ එලිය විදුලි කොටන අහසේ මැවෙන රටාවක් බව අවබෝධ කරගෙන නිදන්නට උත්සාහ කලෙමි. රාත්‍රියේ මොනයම් හෝ වෙලාවක වැස්ස කඩා වැටෙන බව ස්ථිරය. වර්ෂාව සමග නිරන්තර ප්‍රේමයෙන් බැඳී සිටින මට ඒ සතුටකි. පොල් ගහේ ද සිටි මැක්කා සේ මගේ ලියැවිලි තුලට රිංගන වැස්ස සම්බන්ධයෙන් කමා වුව මැනවි.

මා ප්‍රේමය, එක අරමුණක ගැටී නොපවතී. මේ මොහොතේ වැස්සට ප්‍රේම කරන මම ඊලග මොහොතේ පිපෙන්නට අර අඳින කැකුළු මලකට ප්‍රේම කරනවා ඇත. තවත් මොහොතක අතු ඉති අතරින් මිදුමේ එතුනු බැස යන ඉරට ප්‍රේම කරනවා ඈත. ඒ ඒ අවස්තාව අනුව මගේ ප්‍රේමය, මේ විසල් අහස පුරා ගමන් කරනු පෙනෙන තාරකාවක සේ, එක තැන නොරැඳෙන සේ දිස් වන බැවින්, සත්‍ය වශයෙන්ම මම ප්‍රේම කරන්නේ කාට දැයි, කුමකට දැයි සොයා පලක් නැත්තේමය.

බොහෝ කලක සිට හදවත පත් ඉරුවක සටහන් කිරීමට ආශාවෙන්, තදබල වූ වුවමනාවකින්, වෙලී සිටියෙමි. හිතේ ඇතිවන හැඟීම්, ආවේග, නිසංසල සිතිවිලි ලියා තබන්නට ආශාවෙන් අකුරු ඇමුණූයෙමි. සමහර ලියවිලි තනිකරම අපභ්‍රංශයකි. ලියන මගේ හිතේවත් නැති දේවල් අන් අය හිතේ මැවෙන, මවන, විකාරයකි.
තැන තැන මාව විවේචනයට පත් වූ එකම ශෝකාලාපයකි. කියවන කිසිවෙකුට වැඩක් නැති වචන ගොන්නකි.

ඒත් මට, ලිවීම යනු නිවෙන්නට තැනූ පන්සල් භූමියකි.

ජීවිතයේ විවිධ සන්ධිස්ථාන වල සිදුවෙන හමුවීම් මට අනුව සැබෑම ආශිර්වාදයකි. ලියන්නට හදවත තුල සිතිවිලි මැවූයේ ඒ අය බැවිනි.

අපභ්‍රංශ වේවා, විකාර වේවා, ශෝකාලාප වේවා, මේ කොයි ලෙසකින් හැඳින්වුවත් මගේ ලිවීම තුල මට හමුවූ හෘදයාංගම සිත් ඇත්තන් ද අපමණ බව ලිවිය යුතුය.

එහෙන් මෙහෙන් ගලපා ගත් වචන එකතු කර ලියන මා වැනි ආධුනික ලියන්නියකගේ තත්වය එසේනම්, ප්‍රවීණ ලේඛක ලේඛිකාවන්ගේ ලේඛන, මොනතරම් සම්භාව්‍ය විචාරයන් ට සේම, සාවද්‍ය වූ මත මතාන්තර සමග ගැටෙනවා ඇතිද?

මා කෙසේවත් නොහඳුනන, කවදා හෝ මුණ ගැසී නොමැති, එහෙත් අතිශය ආධුනික මගේ ලියවිලි වෙනුවෙන්, ඉඩක් වෙන් කල, කාලයක් වෙන්කල හිතෛශීන් වෙනුවෙන් හෘදයාංගම ස්තුතිය පිරිනැමිය යුතුය.

“අම්මා, කිසිම දෙයක් නිකම් කලාම ඒකට වටිනාකමක් නෑ. ඔයා ලියන්න පටන් ගන්න. ඔයාටම විශ්වාසයක්, කන්ෆිඩන්ස් එකක් දැනෙනතුරු ලියන්න. ඒවා එතන මෙතන නොදා පොතකට ගමු. ”

ඒ මගේ පුතාගේ වචන මට මහමෙරක් වූ බවද ලියා තැබිය යුතුය.

කාර්යාලයේ, මගතොටේ හමුවන මා දන්නා සියලු දෙනා මගේ ලියමන් කියවා දුක් ගත්තා මට මතකය. සංවේදී ලියමන් නොලියන ලෙස ඉල්ලා සිටියා මතකය. මනස තුල, වයසින් එහාට නොගිය මට, ප්‍රේමය තාමත් තරුණය. ප්‍රේමය පිලිබඳව වු මගේ ලියැවලි වල වයසට ගැලපීම, නොගැලපීම සෙවූ ඒ සියලු දෙනාටම ස්තූතිය.

ඒ පැහැදිලි මාවතකට පැමිණීමට පෙරාතුව, කටු පඳුරු, ගල් මුල් පාදා පෙරට ගමන් කල යුතු බව වටහා දුන්නාටය.

ප්‍රවීණ ලේඛක ලේඛිකාවන් මගේ ගුරු තනතුරේ තබමි. ගෞරව කරමි. ඒ ඔවුන්ගේ ලියමන් මට ලියන්නට ගුරුහරුකම් දෙන බැවිනි.

ආධුනික මාව කියවන, වචනයකින් පවා මට දිරි දෙන සහෘද ඔබට හදවතින් ස්තුතිවන්ත වෙමි.

මං ආධුනික ලියන්නියක වෙමි.

 

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...