‘කොටියා සහ පිනුම් ගසන්නා’ කියවා අවසන් වූ වහාම මා තුළ සිදු වූ එක් අසිරිමත් සිදුවීමක් නම්, ටික දිනක් ගෙවෙන තුරු, තමන් පිළිබඳ වෙනස්ව සිතන්න පුරුදුව සිටි, වෙනස් ආකාරයේ සිහිනයක් හඹා ගිය, කොටි දෙනක හා මා ඒකාත්මික වී සිටීමයි. මින් පෙර ගෙදර සුරතලයට ඇති කරන ආදරණිය මිතුරන් වන සුනඛයන් හැර වෙන කිසිම සත්වයෙකුට පුද්ගලභාවයක් ආරෝපණය කිරිමේ උවමනාවක් මට තිබුනේ නැත. එහෙත් කොටියා සහ පිනුම් ගසන්නා කෘතිය කියවීමෙන් පසුව, කොටියා යන සත්ත්වයා පිළිබඳව, ඔවුන්ගේ ජීවන විලාශය පිළිබඳව මම විශේෂයෙන් සිතන්නටත්, ඔවුන්ගේ ලෝකය පිළිබඳ රෝමැන්තික කතාවක් මා තුළ ගොඩ නැඟන්නටත් ඉඩ හළෙමි. මට තව දුරටත් කොටියා නම්, වන සත්ත්වයා, දුටු මතින් බියක් දනවන, රෞද්‍ර තිරිසන් සතෙකු නොවේ. මම දැන් වෙනදාටත් වඩා ඔවුන්ගේ ජීවන විලාශයට ගරු කරමි. ඔවුන්ගේ ජීවත්වීමේ අයිතියට ගරු කරමි. එසේම ඔවුනට ද හැඟීම්, කැමති අකමැති දේ මෙන්ම සිහින පවා ඇති බව මා විශ්වාස කිරීමට ඉඳුරාම කැමැතිය.
මම ස්වභාවයෙන්ම පරිසරයට දැඩිව ආදරය කරන කෙනෙකි. ඒ නිසාම මා මේ මොහොතේ සංවර්ධනය මුවාවෙන් මේ රට තුළ සිදුවන බිහිසුණු පරිසර සංහාරය දෙස වඩාත් තැති ගැන්මෙන් බලා සිටින කෙනෙකි. පසුගිය දිනවල නිරන්තරයෙන් විවිධ උගුල් වලට හසුව බළල් පවුලට අයත් එක් එක් සාමාජිකයා මියැදෙන සැටි වේදනාවෙන් බලා සිටියෙමි. එය කිසිසේත්ම යථාර්තයක් විය නොහැකි නමුත් මා පොත කියවා අවසාන කළ විට, මට සිතුනේම ඉතාමත් සාහසික ලෙස පරිසරය විනාශ කරන මේ ගහලයින්, අහම්බෙන් හෝ මෙවැනි ජීවිත දැනීමක් ලබා දෙන කෘතියක් ඇසුරට පත් වී නම්, පරිසරයට ද මිනිසාට මෙන්ම ගරුත්වයක් ඇති බවත්, ස්වපැවැත්ම සමබර කරගනිමින් මේ මිහිතලය තුළ පැවැතීමට එයටත් අයිතියක් ඇති බවත්, මිනිසා යනු සියල්ලට ඉහළින් සිටින, ඕනෑම දෙයක් තමන්ට රිසි ලෙස විනාශ කිරීමටත්, නිර්මාණය කිරීමටත් ඇති සර්වබලධාරියා නොවන බවත් යන්තමින් හෝ තේරුම් ගනු ඇති බවයි.
සුසන්නා තමාරෝ! මට එක දෙයක් ස්ථිරමව කිව හැකිය. ඔබගේ ව්‍යාපෘති ඉතාමත් සාර්ථකය! මා කොටියා සහ පිනුම් ගසන්නා කියවා හමාර කොට එහි අවසාන පිටුව, එනම් සයිබීරියානු කොටියා නැතහොත් අමර් කොටියා පිළිබඳව දැක්වෙන විස්තරයත්, ඔවුන් මේ පෘතුවි තලයෙන් වඳවී යාමට මුහුණ පා ඇති සැටිත්, ඔවුන් සංරක්ෂණය කරන ව්‍යාපෘතිය යටතේ 2022 වන විට සයිබීරියානු කොටි ගහනය 6000ක් දක්වා වර්ධනය වනු ඇතැයි යන අපේක්ෂාව පිළිබඳ සටහන කියවන විට, සුසන්නා තමාරෝ නම් ප්‍රබන්ධකාරිය විසින් එවැනි ප්‍රබන්ධ කෘතියක් නිර්මාණය කිරීමෙන්, බලාපොරොත්තු වුණු ප්‍රථිපලය මුළුමනින්ම ඇය අත්පත් කරගැනීමට සමත් වූ බව, ඇයගේ පාඨකයෙකු ලෙස මට ඉඳුරාම පැවසිය හැකිය. ඒ මක්නිසාදයත් එම පොත කියවා අවසාන වන විට මා එහි ප්‍රබන්ධ කතාවෙන් මත් වී සිටියා පමණක් නොව, සයිබීරියානු කොටි දෙනගේ ජීවිතයට, හැඟිම් වලට මෙන්ම සිහින වලටද මා ආලය කිරීමට පටන් ගෙන තිබුණි. ඉඳින් මින් පසු මෙම කෘතිය නිසා ඇති වුණු රෝමාන්තික සිතිවිලි ගොන්නෙන් මිදී, මට කොටියෙකු දෙස නැවතත් අවශේෂ ආකාරයකින් බැලිය නොහැක. මට තවදුරටත් කොටියා යනු සතුන් මරා කන බිහිසුණු වන සත්ත්වයා නොවෙයි. ඔවුන් මිනිසා සේම තමන්ට අනන්‍ය වූ ජීවිතයක් ගත කරන, එසේම මිනිසාට මෙන්ම මේ මිහිතලය මත තමන් කැමති පරිදි ජිවත්වීමට අයිතියක් ඇතැයි කියා පාන ගෞරවණිය ජීවින් කොට්ඨාශයකි. ඉතින් එවැනි දැනුමක් ඇත්තෙකු කිසිවිටෙක කොටියෙකු හෝ ඔවුන් ජිවත්වෙන පරිසරය හෝ විනාශ කිරීමට අනියම් ආකාරයෙන් හෝ පෙළඹේවිද? මට නම් එසේ කළ නොහැකිය.
සුසන්නා මේ අනභිවනීය සිතුවිලි ගොන්න අපගේ මනසේ රෝපණය කරන්නේ ඉතාමත් සුන්දර, ලයාන්විතව ගලායන ප්‍රබන්ධයක් තුළ බහාලීමෙනි. මට මේ මොහොතේත් මගේ මසැස ඉදිරියේ දිස්වන්නේ තේජාන්විතව මෙන්ම ලයාන්විතව පොළවට දැනී නොදැනී, සියුම් ලෙස එහෙත් බරැති පා තබමින් තමන්ගේ අපූරු ඉලක්කය හඹා යන කොටිදෙනයි.
ඔව් සැබවින්ම! වෙනස් සිහින හඹා යන්නෝ යනු මේ ලොව හුදකලාව වෙසෙන්නෝය. කොටි දෙන ද එසේමය. ඇයට ඇයගේම රාජධානියක් තනා ගැනීම, පවුලක් හෝ දරුවන් හදා ගැනීම වෙනුවට, ඊට හාත්පසින් වෙනස් වූ ඇයගේ සිහිනය හඹා යාමට ඈ ආදරය කළාය. ඇයට ඈත්වී ජීවත් වන්නැයි අවවාද ලැබු අයවලුන්ටම(මිනිස් වර්ගයාට) ලෙන්ගතු පෑමේ අභියෝගය ඇය නොබියව භාර ගත්තාය. එහෙත් ඇය තමන්ගේ වරිගයෙන් ඈත්වී, ඇසුුරක් පතන්නේ මිහිතලය සුවපත් කළ හැකි, සොබා දහමේ ශක්තියත් දැනුමත් කැටිකොට ගත් මිනිසෙකුගෙන්ය. සුසන්නා එම සුන්දර සබඳතාවය තුළින් අපට කියන්නේ මේ මිහිතලයට ආදරය කරන, සොබා දහමේ සමබරතාවට ගරු කරන සොබා දහමේ ශක්තිය තේරුම් ගැනීමට උත්සාය කරන එවැනි නුහුරු සබඳතාවන්ට ද මේ මිහිතලයේ ඉඩ ඇති බවය.
ඇය සේම ඒ සුවිශේෂි මිනිසාද මේ මහපොළවේ අඳුරු ශක්තීන් පිටු දකිමින් හුදකලාව වෙසෙන්නෙකි. ඔවුහු එකිනෙකාගේ ඇසුර තුළින් සිය තනිකම පළවා හරිති, ආදරය රැකවරණය ලබති. එක් මොහොතක තම පරම්පරා උරුමයෙන් ලත් ඥානයට පිටුපාන ඇයට ඒ සඳහා වන්දියක් ගෙවීමට ද සිදුවෙයි. එහෙත් ඇයගේ එකායන සිහිනය, එනම් ලෝකයට ආලෝකය ලබා දෙන හිරු සොයා යාම ඇය අත් හරින්නේ නැත.
ඇය ඇයගේ සිහිනයට අවංකය, එය විශ්වාස කරන්නීය. ඒ වෙනුවෙන් ජීවත් වන්නීය. සියළු දේ අහිමි වී ගිය විට දී පවා, ඇයගේ සිහිනය ඇය ජීවත් කරවන්නීය. ඒ නිසාම ඇය ගේ ජීවිතය පුරා හුදකලාව සහ දොම්නස යනු, ඇය හැර පියා නොයන ආධ්‍යාත්මික ලැබැඳියන්ය. ඔව්! වෙනස් ලෙස ජිවත් වීමට අපට මහත් සේ ශක්තිය අවශ්‍යය, අප අප තුළම දිය විය යුතුය, වැය විය යුතුය, බොහෝ දුක් වේදනා විඳ දරා ගත යුතුය. සොබා දහම් නීතිය එසේය. එහෙත් එවැනි ශක්තියකට හා එම ශක්තිය දරන්නීට සොබා දහම ද පෙරළා ආචාර කරන්නීය.
එහෙයින් මේ ලොව තිබිය හැකි දුෂ්කරතම සහ දීර්ඝතම සිහිනය දරාගත්තාට කොටි දෙනට ද සොබා දහම පෙරළා නමස්කාර කරන්නීය. කොටි දෙන සොබා දහම විසින් දායාද කරන සොඳුරුතම තිළිණය ලබන්නී ඒ නිසාය.
ඉඳින් වෙනස් ජීවිතයක් සොයා ගිය, තම සිහිනය අත් නොහැර ජීවත් වූ ඒ සුවිශේෂි ජීවියාගේ කතාව එසේය. එම කෘතිය පුරාම එය කියවන විට අපට දැනෙන්නේ, කොටි දෙන කුමන ආකාරයේ ත්‍රාසජනක අත්දැකීම්වලට මුහුණ දුන්නත්, ප්‍රීතිය, දොම්නස ඇතිකරවන කුමන ආකාරයේ අත්දැකීමකට මුහුණ දුන්නත් ඇය ඒවා සම සිතින් දරා ගන්නා බවය. එම හැඟිම පාඨකයා තුළ දනවන්නේ එම කෘතිය පුරාම පවත්වා ගන්නා එහි භාෂාවේ සුවිශේෂි රිද්මය තුළිනි. එම රිද්මය අප තුළ ඇති කරන්නේ එක්තරා ආකාරයක භාවනාමය මනෝභාවයකි. එහි දිග හැරන කොටි දෙනගේ කතාන්තරය සමඟ ඒකාත්මික වීමට අප සමත් වන්නේද එම රිද්මය නිසාය. එසේ මුළු කෘතිය පුරාම බාධාවකින් තොරව එවැනි සුවිශේෂි රිද්මයක් පවත්වා ගැනීමට එම කෘතියේ පරිවර්තිකාව වන නිපූනිකා ප්‍රනාන්දුගේ දායකත්වය ඉතා වැදගත්ය. ඇය එම රිද්මය පවත්වා ගැනීමට සම්බන්ධයෙන් සුවිශේෂ වෙහෙසක් දරා ඇති බව නම් පැහැදිලිය.
සැබවින්ම මගේ අත්දැකීමට අනුව නම්, පරිවර්තනයකදී මුල් කෘතිය තුළ කිසියම් රිද්මයක් වේ නම්, එම රිද්මය හෝ ඊට ආසන්නව සමාන රිද්මයක් පරිවර්තනය තුළ පවත්වා ගැනීමට අප ඒ කෘතිය තුළ, ඒ කාර්යය තුළ ජිවත් විය යුතුය. නැතිනම් පරිවර්තන කාර්යය කරන පුද්ගලයා කෙතරම් මහන්සි වුවද, ඇයට හෝ ඔහුට මුල් කෘතියේ අන්තර්ගතයට සාධාරණයක් ඉටු කළ නොහැකිය, එම රිද්මය ඔහුට හෝ ඇයට නියමාකාරයෙන් ග්‍රහණය කර ගත නොහැකිය. මෙම කෘතියේ ඇති භාෂාව තුළින් පාඨකයා තුළ ඇති කරන ධ්‍යානය සැබවින්ම පුදුම එළවන සුළුය. ඒ වෙනුවෙන් අපි එහි පරිවර්තිකාව වන නිපුනිකාට ස්තූති වන්ත විය යුතුය. සැබවිනම් ඇය තම නිර්මාණය තුළ ජිවත් වී ඇත.
මේ නිපුනිකාගේ දෙවන පරිවර්තිත කෘතියයි. කොටියා සහ පිනුම් ගසන්නා සැබවින්ම සිංහල පාඨකයාට නැවුම් අත්දැකීමක් ලබා දෙන කෘතියකි.එහි භාෂාවද නැවුම්ය, පාඨකයන් ලෙස අප ලබන කියැවීමේ අත්දැකීමද නැවුම්ය, අපූරුය. ඒ අයුරින් සලකා බලන විට කොටියා සහ පිනුම් ගසන්නා යනු, නිපුනිකා විසින් පරිවර්තනයට තෝරා ගත් වෙනස්ම ආකාරයේ නැවුම් සහ අපූරු කෘතියකි. නිපුනිකා පරිවර්තනය කළ කෘතියක් උපරිමයෙන් රසවිඳි පාඨකයෙක් ලෙස මම ඇයට සුභ පතමි. ඇය අතින් මෙම කෘතියේ පරිවර්තන කාර්යයෙදී ඉඳහිට සිදුවී ඇති තාක්ෂණික දෝෂ මඟ හරවා ගැනීමට ඇය මහන්සි වන්නේ නම්, මෙවැනිම ආකාරයේ තවත් සුවිශේෂි විශ්ව සාහිත්‍ය කෘති ඉතා සාර්ථක ලෙස පරිවර්තනය කර, සිංහල පරිවර්තන සාහිත්‍ය කෙතට දායාද කිරීමට සමත්කම් දක්වන ශූර පරිවර්තකාවක් බවට පත් වීමට ඇයට ලේසියෙන්ම හැකියාව ඇත.
කොටියා සහ පිනුම් ගසන්නා – සුසන්නා තමාරෝ
පරිවර්තනය – නිපුනිකා ප්‍රනාන්දු
සුභාවි ප්‍රකාශන