Breaking News

ඔබ සිටින තැන කියා දෙන මාලන් බණ්ඩාර ගේ “අඟුණ මල් “

හිල්මි සුපුන් 

මාලන් බණ්ඩාර ගේ තුන්වන කාව්‍ය එකතුව ” අගුණ මල් ” කෙටි කාව්‍ය සංග්‍රහය. කීප වතාවක්ම කියවා අවසන් කළ මේ කෙටි කාව්‍ය සමුච්චය තුළ හිතේ පැටලුණු කවි කීපයක් පිළිබඳව ලියන්නට උවමනාව තිබුනත් විවිධ හේතු මත ඒ ලිවීම පිළිබඳ සිතුවිල්ල ඉදිරියට තල්ලු වෙවී ගියා. කෙසේ වෙතත් දැන් ඒ සඳහා අවස්ථාවක් ලැබී තිබෙන මොහොතේ එය අවසන් කිරීමට හැකි වන පරිද්දෙන් කාලය කළමනාකරණය කර ගත්තෙමි.

“අගුණ මල් ” හි කවි මිනිස් ජීවිත සමඟ මිනිස් චර්යාවන් සමග මිනිස් ඇවැතුම් පැවැතුම් සමග ගලපගන්න පුළුවන්. ඒ බොහෝ කවි අතරින් මේ පළමු කවියත් දෙවන කවියත් මිනිස් ඇවතුම් පැවතුම් වල දෙයාකාරයක් අපට මතක් කර දෙනවා. අපි තිත්ත කාරක ලෙස ඉවත දමන සමහර මිනිස්සු ජිවිතේ අමාරුම තැන්වලදී ප්‍රතිලාභ බලාපොරොත්තු නොවීම ශක්තිය සපයන අවස්ථාවන් තියෙනවා.

තිත්ත කොහොඹ පත්
මුසු කරයි
වියලි සුළඟට
සිහිළ

අපි ප්‍රිය මනාප, අපට උදව් වෙනවා යැයි අප සිතන චරිත තුළින් අප දෙසට යොමු වී ඇති විනාශය හෝ අයහපත සක්වන්නේ ප්‍රමාදවී කල්ගතවී.

මල් සුවඳ අරන් ගිය සුළඟම
හැඩි කරන හැටි වටපිට
පෙති හල හලා බිම
ආපසු ඇවිත් හවසට

අපි ජීවත්වන මේ වර්තමාන ලෝකය බොහෝ සංකීර්ණතා සහිතයි .ජිවත්වීම සඳහා බොහෝ දේ එකතු කර ගත යුතුයි කියන ආකල්ප නිර්මාණය කරමින් ඒ ආකල්ප මත හිඳගෙන ක්‍රියාත්මක වෙන මිනිසුන් හදපු පරිභෝජනවාදී ලෝකයකි . මේ රටාව තුළ බහුතරයට ජීවත්වීම අසීරුයි . මේ අසීරුවෙන් ජීවත්වෙන බහුතරයේ එකම ආදායම් මාර්ගය තමන් සතු ශ්‍රමය විකිණීමයි. ශ්‍රමයට නිසි වටිනාකමක් නොලැබෙන ශ්‍රමය සූරා කන සුළු පිරිසක් විසින් විශාල ධනයක් ඒකරාශී කර ගන්නා ක්‍රමය තුළ මිනිස්සුන්ට ලඟාවිය නොහැකි සිහින නිර්මාණය කරන්නද මේ අය උපක්‍රමශීලී වෙනවා. මේ පරිභෝජනවාදී සිහින ලෝකයේ වැඩිපුරම නන්නත්තාර වෙන්නේ අතරමං වෙන්නේ මධ්‍යම පාන්තික ජීවිතයක් වෙනුවෙන් සටන් වදින මිනිස්සු, මේ සිහින ලෝකයේ ජය කෙළි නංවන්න සටන් කරන මිනිස්සුන්ට ශ්‍රමය විකිණීමේ සීමාව ඉක්මවා වැඩ කරන්නට සිද්ධ වෙලා තිබෙනවා. ඊට ප්‍රධානම හේතුව තමයි තමන් වීකුණන ශ්‍රමයට නිසි වටිනාකමක් නොලැබීම

මේ හේතුව මත රැකියාව ජීවිතේ ප්‍රථම කාර්යය බවට පත් වූ විට පැය අටෙන් පසුව ඔටී කර ඊට පසු ගෙදරත් වැඩ කරන්න සමහර අය හුරුවෙනවා. මේ හරහා සිද්ධවෙන්නේ ජීවිතයේ සමබරතාවය ගිලිහී යාමයි. එකිනෙකා අතර තිබෙන සබඳතාවයන් දුරස් වීම. ස්වාමි පුරුෂයා බිරිඳ සමගත් , දරුවන් සමග පවත්වාගෙන යා යුතු ආදරණීය බැඳීම් පවා , හිතවත්කම් පවා, ආදරය පවා මේ නිසා දුරස් වෙන්න පටන් ගන්නවා මොකද සිහින සැබෑ කරගන්න මුදල් අවශ්‍ය වෙන නිසා රැකියාව ජීවිතයේ ප්‍රථම අවශ්‍යතාවය බවට මිනිස්සු නිරායාසයෙන් ම පත් කර ගන්නවා. එතකොට ජීවන සබඳතා ඒ හරහා නොදැනුවත්වම බිඳවැටෙනවා. මාලන් බණ්ඩාර මේ සංකීර්ණ කතාව ඉතාමත් කෙටියෙන් කියනවා

නිදහසේ
ගෙට එන්න
ගේට්ටුවෙ එල්ලා
කන්තෝරුව

ස්වාමි පුරුෂයා බිරිඳට හෝ බිරිඳ ස්වාමිපුරුෂයාට මේ විවේචනය කරන්නේ බොහෝවිට ඉවසලා බැරිම තැන. මේ දෙදෙනාගෙන් කෙනෙකුට ජීවිතය අන් බැලන්ස් වෙලා තිබෙන බව වැටහුණු වෙලාවට. තනි පුද්ගලයෙක් පිට වරද පටවා මෙහි අනික් පාර්ශවයන් වලට ගැලවීම ලබන්න බැහැ මොකද සමාජ ක්‍රමයක් ලෙස මෙය අප පිට බලහත්කාරයෙන් පටවා තිබෙන තත්වයක්. නිරාකරණය කර ගැනීම සඳහා සාමූහික තේරුම් ගැනීමත් අත්‍යවශ්‍ය වෙනවා.

අහන විට යෝධයන් ගැන
පුතු කැටුව යමි
වෙල් ආදර
සීයා නිදන තැනට

ඉතිහාස කතා තුළ යෝධ චරිත, වීර චරිත අපට හමු වෙනවා. ඒ අතරතුර වර්තමාන අපි ජීවත්වෙන ලෝකය විසින් මත වාද නිර්මාණය කිරීම වෙනුවෙන්ම අපට වීරයන් යෝධයන් එසේත් නැතිනම් බහුතරය අඟුටු මිට්ටන් කර තනි පුද්ගල ගැලවුම් කාරයෝ නවීන කතා තුළින් අප හමුවට ගෙනවිත් තියෙනවා. සුපර් මෑන්ලා ස්පීඩර් මැන් එවැනි යෝධයන් වීරයන් ගණයට අයත් වෙනවා. නමුත් එදිනෙදා ජීවිතයේදී අපි පොරබදන අරගලයේදී ඒ කිසිවෙකුත් අපේ ජීවන අරගල උදව් කාරයෝ බවට පත් වෙන්නේ නැහැ. අපි වෙනුවෙන් වෙහෙසී අපි වෙනුවෙන් අරගල කරපු මිනිසුන් ඉහත ප්‍රකාශ කළ නිර්මාණ යෝධයන් ළඟ අඟුටු මිට්ටන් විය හැකි. නමුත් සැබෑ ජීවන අරගලය තුල නිර්මාණය වෙන වීරයන් සැබෑවටම වෙල අද්දර නිදන සීයලාය. අනාගත පරපුරට අප පෙන්විය යුත්තේ එවන් සැබෑ යෝධයන් වීරයන් වය.

හැරගිය මගෙයි
ඉඳහිට හමුවන
ගැඹුරු අඩි

ඉහත කවිය ලඟින් මේ කවිය තිබූ විට අප දන්නා අදුනන සැබෑ යෝදයා ව නැවතත් අපට මුණ ගස්වන්න මාලන් උත්සාහ කරන බවක් අර්ථවත් කරගන්න පුළුවන්. හැර ගිය මග ඉතිහාසයෙන් මිස වර්තමානයෙන් අපට හමුවන්නේ නැහැ. එනිසා මේ කවිය ඉඟි කරන්නේ ඉතිහාසය පිළිබඳව. මේ කියන මගෙයි බොහෝ දෙනෙකුට ගමන් කරන්නට පුළුවන්කම තියෙනවා. නමුත් ඉඳහිට පමණක් ගොඩක් අඩි මැද්දෙන් ගැඹුරු අඩියක් හමු වෙනවා. ඒ කවුරුන් විය හැකිද? ඒ අර සීයගෙ අඩිය විය නොහැකිද? “හැර ගිය මගෙහි ඉඳහිට හමුවන අඩිය ළඟ” අපට ප්‍රශ්නාර්ථයක් සමග රැඳී සිටිය හැකියි. ඒ විතරක් නෙවෙයි. කවිය සමග විවිධ අරුත් ගලපගන්න මාලන් අපට විශාල අවකාශයක් නිර්මාණය කර තිබෙනවා.

සිතමින් කියවමින් සිතමින් කියවමින් නැවතත් සිතන්න මාලන් බණ්ඩාර අපූරු කෙටි කවි සමුච්චයක් අප අතට පත්කර තිබේ. ප්‍රමාද වී හෝ අඟුණ මල් වල එල්ලී ඒ කවි පොතේ පිටු අතර සැරිසරන්නට ලැබීම මහඟු අත්දැකීමකි.

පළමුව නිමාවූ සෘතුවක ශේෂ පත්‍ර මාලන් ගේ හතරවන කාව්‍ය සංග්‍රහය රසවින්ද, ඉන්පසුව හතර වන කෙටි කාව්‍ය එකතුව රසවිද දැන් අප බලා සිටින්නේ නිවුන්හැල්ල සහෝදරයා හෙළිදරව් කළ ආකාරයට මාලන් ගේ පස්වන කෙටි කාව්‍ය සංග්‍රහය අප අතරට, අප අතට එනකං.

හිල්මි සුපුන්

 

leave a reply