Breaking News

ආණ්ඩු විරෝධය සඟවන්න මැයි දිනය තහනම් කරන්න ආණ්ඩුව සැරසෙනවා

මැයි මස 1 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනයට අදාළ කටයුතු නවතා දැමීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය කිසිසේත් සූදානම් නැති බවද පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

කම්කරු දින කටයුතු වසංගත තත්වය නිසා නොපැවැත්වීමට දේශපාලන පක්ෂ එකඟතාවකට පැමිණි බවට සහ ඒ සම්බන්ධව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූ බවටත් වාර්තා පළ වෙමින් තිබේ. ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරයේ අරමුනු වෙනුවෙන් පවත්වන සටන්කාමිත්වය, සහයෝගිතාවසහ සාමුහිකත්වය පෙන්වන කම්කරු දිනය යම් රටකදී පවත්වන්නේද නැද්ද යන්නතීරණය කළ යුත්තේ එම රටේ වැඩකරන ජනතාව විසින් බවද එම පක්ෂය පවසයි. කම්කරු දිනය නොපැවැත්වීමට දේශපාලන පක්ෂ එකඟතාවකට පැමිණි බවට ව්‍යාජ පුවත් ප්‍රචාරය වීම සම්බන්ධව පෙ.ස.ප. විසින් අද(20) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදී මෙම කරුණු ප්‍රකාශ කළේ පෙ.ස.ප. ප්‍රචාරක ලේකම් සහ කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව විසිනි.

වැඩිදුරටත් අදහස් දක්වමින් දුමින්ද නාගමුව මෙසේද පැවසීය.
“සමහර විභාගවලදි කුඩා දරුවන්ට ඒකට මුහුණ දෙන්න බැරි තත්වයක් ආවම බඩේ අමාරු හැදෙනවා. මේ ආණ්ඩුවටත් සමහර අවස්ථාවලදී ජනතාව විරෝධය දක්වන, ජනතා අයිතිවාසිකම් ඉල්ලන අවස්ථාවලට මුහුණ දෙන්න බැරි බඩේගායක් හැදෙනවා. පහුගිය කාලෙ ආණ්ඩුව කළේ මොනවද, ජනතාවට ලබාදුන් ජයග්‍රහණ මොනවද, වරප්‍රසාද මොනවද කියාගන්න බැරි වුණාම කම්කරු දිනය අවලංගු කරන්න අවශ්‍ය ඇති. කම්කරු රැස්වීඹක් කැඳවලා කියන්න වෙන්නෙ මේ රටේ කම්කරු අයිතිවාසිකම් කප්පාදු කළ හැටි, වරාය නගරයේ විශේෂ පනතින් මේ රටේ ජනතා අයිතිවාසිකම් කප්පාදුව ගැනයි. වරාය කන්ටේනර් පර්යන්තය විකුණා දමන්න කම්කරුවන් රැවටූ හැටි, පරිසරය විනාශ කරපු හැටි, සිංහරාජය ඇතුළු ස්වභාවික වනානන්තර කැපු හැටි මිස කියන්න වෙන සාධනීය දෙයක් තියෙනවද? මේ වගේ ආණ්ඩුවට මුහුණ දෙන්න තියෙන අවාසිදායක දේවල් නිසා කම්කරු දිනය ඉස්සරහට එන කොට ආණ්ඩුවට බඩේ අමාරුව හැදෙන බව අපි දන්නවා.
කම්කරු දිනය නොපවත්වන බවක් දේශපාලන පක්ෂ තීන්දු කළා කියනවා, අපි හොයලා බැලුවම දේශපාලන පක්ෂ ගණනාවක් කම්කරු දිනය පවත්වන්න සූදානම් වෙනවා. මෙහෙම කටයුතු නවත්වන්න තීරණයක් ගත්තෙ කවුද? කවදද? ඒ වගේ රැස්වීමක් කැඳෙව්වෙ කව්ද? කියන ප්‍රශ්න අපි අහනවා. අනෙක් කාරණය තමයි, මේ රටේ කම්කරු දිනය පවත්වන ආකාරය තීරණය කරන්නෙ හමිදුව හෝ හමුදාපති නෙවෙයි, මේක මියන්මාරයක් නෙවෙයි. මේ රටේ හමුදාව ඒ වගේ තීරණ ගන්න කිසිදු මැදිහත්වීමක් හෝ ප්‍රකාශයක් කිරීමට අයිතියක් නෑ. ඒ අයිතිය තියෙන්නෙ, මේ රටේ රාජ්‍ය, පෞද්ගලික, වතු ආදි වැඩකරන ජනතාවට.

ආණ්ඩුව මේ කරන්නෙ කෝවිඩ් වසංගතය පාවිච්චි කිරීමක්. සමහර පෞද්ගලික අංශයේ ආයතන වසංගය හේතුවක් කරගෙන ගෙදර ඉඳන් වැඩ කරන්න කියනවා, වැටුප් කප්පාදු කරනවා, සේවකයන් දොට්ට දානවා, ඊපීඑෆ්, ඊටීඑෆ් පවා කපනවා. වියදම් කප්පාදු කරන්න කියලා මේ විධියට සේවකයන් මත වසංගතයෙ බර පටවලා ලාභ උපදවන්න උත්සාහ කරන බව අපි දන්නවා.
ආණ්ඩුව කරන්නෙ පහුගිය කාලෙ වසංගත සම්බන්ධ සෞඛ්‍ය පරික්ෂණ නිසි පරිදි සිදුකළේ නෑ. එ නිසා රෝගීන් සංඛ්‍යා වැඩියෙන් වාර්තා වුණේ නෑ. දැන් හදන්නෙ හදිසි වැටලීම් වගේ පැනලා නගරවල වසංගය වැඩි බව සංඛ්‍යාෙල්ඛණ පෙන්වලා කම්කරු දිනය පව්තවන එක නතර කරන්න සූදානම් වෙනවා. ඒ මගින් ආණ්ඩුවට විරෝධය මතුවන අවස්ථා වළක්වන්න, ඒ විතරක් නෙවෙයි, පෙළපාළි, රැස්වීම්, මහජන විරෝධතා මර්දනය කරන්න මේ ක්‍රමය ඉදිරියට ගෙන යන්න ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. පහුගිය දවස්වල ජනතාව අතරෙ වසංගතය වැඩි වශයෙන් ව්‍යාප්ත වෙන්න හේතු ඕන තරම් තිබුණා. ආණ්ඩුව ඒ සම්බන්ධ කිසිදු පියවරක් නොගෙන කම්කරු දිනය නවතා දැමීමේ අරමුණින් වසංගතයෙ ඉලක්කම් පෙන්වන්න සූධානම් වෙනවා. මේ තත්වය සම්බන්ධයෙන් අපි අපේ විරෝධය පළ කරනවා.

මොකද කම්කරු දිනය වෙනුනේ, මැයි 1 වැනිදා පනවන මේ සීමාවන්, ඉන්පස්සෙ දිගටම ආණ්ඩුවට විරුද්ධ දේශපාලන අදහස්, සංවිධානයවීම් මර්දනය කරන්න පාවිච්චි කරන බව අපි දන්නවා. වසංගතය පාවිච්චි කරලා ජනතාවගේ ගෙලට දාන තොණ්ඩුව ගැනයි මේ කියන්නෙ. හැබැයි මැතිවරණයක් ආවම, පළාත් සභා මැතිවරණය එන වෙලාවට ගානට නූල් බුරුල් කරනවා.

ඉදිරි දින කීපයෙදි වැටලීම් කරලා සමාජය භිතියට පත් කරන්න සූදානම් වෙනවා. ඒ වසංගතය මුවාවෙන් ඉදිරියට ප්‍රජාතන්ත්‍රවාදය හැකිලීමේ දිශාවට ආණ්ඩුව ගමන් කරමින් ඉන්නවා. ඒ තත්වය පරාජය කරන්න ඒකරාශි වෙන ලෙසත් කම්කරු දිනයේ අයිතිය ආරක්ෂා කරන්න සාමුහිකව මැදිහත් වෙන ලෙසත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය වශයෙන් අපි ඉල්ලා සිටිනවා.

 

leave a reply