Day: April 16, 2022

  • ලිහාගත යුතුම දේ තමයි නිර්දේශපාලනික සහා නිර්පාක්ෂික කියන අදහස් දෙක

    ලිහාගත යුතුම දේ තමයි නිර්දේශපාලනික සහා නිර්පාක්ෂික කියන අදහස් දෙක

    අරගලය ගැන තියෙන අදහස් අතර ලිහාගත යුතුම දේ තමයි නිර්දේශපාලනික සහා නිර්පාක්ෂික කියන අදහස් දෙක.

    අරගලය නිර්දේශපාලනිකයි කියන කරුණම වැරදියි. මොකද අරගලය යනුම දේශපාලනික ක්‍රියාවක් නිසා.

    මේ මොහොතේදී නිර්පාක්ෂිකයි කියන එක ඇත්තක් . එහෙම වීමත් හරි.

    මොකද පවතින දේශපාලන පක්ෂ මේ අර්භුදයේ කොටස් කාරයෝ වීම හා ජනතාව පාරට බැහලා ඉල්ලන්න දේශපාලන වෙනස කරන්න හැකියාවක් මේ අයට නොහැකි නිසා.

    පාර්ලිමේන්තුවේ ඉන්න 225 එපා කියන එකෙන් සංකේතවත් වෙන්නේ මේ දේශපාලන සම්ප්‍රදාය එපා කියන එක. පවතින සම්ප්‍රදායට එපිට පරිකල්පනයක් නැති සම්ප්‍රදායික පක්ෂ ප්‍රතික්ෂේප වීම සාධාරණයි, ස්භාවිකයි.

    නමුත් අරගලයට දේශපාලන මානයක් පරිකල්පනය කිරීම ඒ ගැන ගැබුරු සාකච්චාවක් ඇරබීම වහා වහා සිදුවිය යුතු දෙයක්.

    නැත්නම් ගෝටා ඇතුළු රාජපක්ෂ නඩය බිල්ලට දීලා පවතින ජරාජීරණ ක්‍රමය ආරක්ෂා කරගැනීමේ උත්සාහය ජය ගන්නවා.

    අත්දැකීමෙන් කිවුවොත් 87-89අරගලය ඉන්දියන් හමුදාව පන්නමු කියන සටන්පාටයට ලගු වීම් ප්‍රයෝජනයට ගත්ත ප්‍රේමදාස කලේ ඉන්දියන් හමුදාව පිටත් කර හැරීමයි.

    ඊටපස්සෙ අරගලය ට තිබුණු යුක්ති සහාගතභාවය සහාමුලින්ම නැතිව ගියා.

    එතනින් එහාට සිද්ද වුනේ කාබරේ දොරවල් වහාලා මියෝ මරනවා වගේ අරගල කරුවන්ව මරලාදාන එක විතරයි.

    Terrel Abeysinghe

  • අරගල බිම තුළ යාවත්කාලීන දේශපාලන පුරවැසියෙක් බවට පරිවර්තනය වන්න

    අරගල බිම තුළ යාවත්කාලීන දේශපාලන පුරවැසියෙක් බවට පරිවර්තනය වන්න

    ඊයෙ බැසිල් රාජපක්ෂට covid- 19 වැළඳී ඇති බවට පල වූ වාර්තා අනුව බොහෝ දෙනෙකු ප්‍රකාශ කර සිටියේ බැසිල් ඊට මුවාවී රටින් පැන ගැනීමට ඉඩ ඇති බවයි. බැසිල් යනු අර්බුද වලට මුහුණ දීමට නොහැකි අර්බුද සමනය වූ පසු පැමිණ එහි හිමිකාරිත්වය ගන්නට දඟලන පාංකඩ යෙකු බව අප ඔහුගේ ක්‍රියාකාරීත්වයෙන් ම වටහා ගෙන සිටින්නෙමු. මහින්ද ජනාධිපතිවරණයෙන් පැරදුණු පසු රටින් පැන ගිය පුද්ගලයන් අතර ප්‍රමුඛයා බවට පත්වුණේ ද මේ කියන බැසිල් රාජපක්ෂ නැමැති දේශපාලන පරපුටුවාය.

    රනිල් සමග ඩීල් ගසා නැවත දේශපාලන ස්ථාවරයක් ලබා ගැනීමෙන් පසුව ලංකාවට පැමිණි බැසිල් පොහොට්ටු පක්ෂය බිහි කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩා මහින්දගේ යුධ ජයග්‍රහණ උන්මාදය ද පාවිච්චි කර 2019 අප්‍රේල් 21 වන දින සිදුවු පාස්කු ප්‍රහාරය ද පාවිච්චි කරමින් දේශපාලන බලය මං කොල්ලකාගත් යටිකූට්ටු පාදඩ ප්ලෑන් කරුවා ය.

    සාමකාමී දේශපාලන වටපිටාව යටතේ තමන්ගේ මඩිය තර කර ගන්නට හැමතිස්සෙම වෙරදරන මේ දේශපාලන මංකොල්ලකරුවා මේ වන විට රටින් පැන ගොස් ඇති බවට වාර්තා පළ වෙනවා. පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් මේ තක්කඩි දේශපාලකයා ව හඳුන්වනු ලැබුවේ මොල හතක් ඇති මුදල් ඇමතිවරයා වශයෙනුයි. තමන්ගේ ගජමිතුරු මංකොල්ලකරුවන්ට රට පාවා දී කැමති ආකාරයට සූරා ගෙන කන්නට ඉඩ සලස්වා රට බංකොලොත් කර මේ වන විට මේ මෝල හතේ තක්කඩියා රටින් පැන ගොස් තිබේ.

    බැසිල්ගේ පැන යෑම තුළ මහජනතාවට දෙන පණිවිඩය රාජපක්ෂලාට මේ වනවිට කර කියා ගන්නට දෙයක් නොමැති බවයි . රටේ ජනතාවගේ එකමුතුකම හමුවේ ඔවුන්ගේ සියලු මර්ධනකාරී ක්‍රියා පිළිවෙත් පසුපසට ගැනීමට සිදු වී ඇති බවයි . ගෝඨාභය රාජපක්ෂ නැමැති උද්ධච්චය ජනාධිපති බවට පත් වුණු මොහොතේ සිට කල්පනා කළේ රටේ මර්මස්ථාන වලට ව්ශ්‍රමික හමුදා නිලධාරීන් පත්කර යම් අසීරු අවස්ථාවක් පැමිණෙන විට එය පාවිච්චි කර රට බලහත්කාරී ලෙස පාලනය කිරීමට අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කර ගැනීමටයි. කෙසේ වෙතත් මේ උද්දච්ච ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය පිළිබඳව කලින් වටහා ගත් ජනතාව ඊට මුහුණ දීමට අවශ්‍ය කරන එකමුතුකම, එක්සත්කම ඒකරාශී කරගැනීම හමුවේ මොවුන්ට තමන්ගේ වුවමනාවන් සාර්ථක කර ගැනීමට බැරි බව දැන් අපට පැහැදිලි වී තිබේ.

    ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ආරම්භ කරපු උද්ඝෝෂණ ව්‍යාපාරයට දින අටක් ගත වී තිබේ. ද්ඝෝෂණය ක්‍රියාවලිය අඛණ්ඩව පවතින බව වටහා ගත් ගෝඨාභය මේ වන විට ජනාධිපති කාර්යාලය එම ස්ථානයෙන් අයින් කර ගැනීමට කටයුතු කර ඇති බව දැනගන්නට තිබෙනවා. එයද ජනතා ජයග්‍රහණයකි. මේ අරගලය ආරම්භ වූ දා සිට ගෝඨාභය ජනාධිපතිවරයා සහ මහින්දගේ ආණ්ඩුව කුමන්ත්‍රණ කරමින් අරගලය විනාශ කිරීමට විවිධ උපක්‍රම උපාය යෙදුවත් ඒවා පරාජයට පත්වීම තුළ ඔවුන්ගේ නොහැකියාව තවදුරටත් වර්ධනය වෙමින් පවතින බවට ජනාධිපති කාර්යාලය ඉවත් කර ගැනීම ද හොඳ උදාහරණයකි.

    ජනතාව හමුවේ ආණ්ඩුව පාර්ශවය පරාජයන් අත්පත් කර ගන්නා අතර ජනතා අරගලය ‍ව්‍යාකූල කිරීම සඳහා විවිධ කණ්ඩායම් අවලාද උපක්‍රම පාවිච්චි කරමින් සිටින බවද අප තරයේ විශ්වාස කළ යුතුය. ගෝඨාභය ගෙදර පලයන් කියන සටන් පාඨය තුළ සැඟව ඇත්තේ ධනවාදය ජනතාව අතරින් ප්‍රතික්ෂේප වීම මිස පවතින මුහුණ වෙනුවට තවත් මුහුණක් මාරු කර මේ ක්‍රමයම ඉදිරියට ඇදගෙන යන මුහුණක් නොවෙන බව ඔවුන් වටහා ගෙන තිබේ. ඒ අනුව මේ අරගලය මොට කිරීම සඳහා පවතින ආණ්ඩුව පමණක් නෙවෙයි ධනවාදී දේශපාලන ඊළඟට බලය ලබා ගැනීමට බලාපොරොත්තු වන පක්ෂ පවා මේ අරගලය මොට කිරීම සඳහා අත්‍යවශ්‍ය කරන උපාය උපක්‍රම යොදමින් ඉන්නා බවද අප තේරුම් ගත යුතුයි.

    ඒ වෙනුවෙන් ඔවුන් දැනටමත් මැදිහත් වී සිටී. ඒවා විවිධ ආකාරයේ මැදිහත් වීම ය. එය හොඳින් වටහා ගැනීම ජනතාවගේ වගකීමකි. හෙයින් මේ අරගලය විනාශ කිරීමට ගෝඨාභය ඇතුළු ආණ්ඩුව පමණක් නොවෙයි ගෝඨාභයගේ ප්‍රතිපත්ති ම ඉදිරියට ගෙනියන්නට ඊළඟ බලය බලාපොරොත්තු වී සිටින සියලු දේශපාලන පක්ෂ කණ්ඩායම් මේ අරගලය තුළ භේදභින්න ඇති කිරීමට ක්‍රියාත්මක වෙන බව අප දැන ගත යුතුයි.

    අරගලය රැකගත යුතු යැයි ඔබ සිතන්නේ නම් ඔබවම ද අවිශ්වාස කරමින් ඔබ පිළිබඳව ප්‍රශ්න කරන්න. සිදුවෙන දේ පිළිබඳව විමසිලිමත්ව ඉන්න. අරගලය තුළ සහෝදරත්වය වර්ධනය කරන්නට කටයුතු කරන්න. අරගල බිම තුළට පැමිණ අනවශ්‍ය ආකාරයෙන් ආරක්ෂාවත්ය, පමණ ඉක්මවා ගිය අරගලයට දක්වන ආදරයත් ඇති මිනිසුන් කෙරෙහි අවධානයෙන් ඉන්න. අරගල කරුවාගේ වේශය අරගෙන පැමිණෙන අරගල කරුවා සහ කුමන්ත්‍රණ කරුවා පැහැදිලිව හඳුනාගන්න. ඒ සඳහා ඔබ යාවත්කාලීන වන දේශපාලන ඥානය සහිත පුරවැසියෙක් බවට පරිවර්තනය වන්න .