ගගන වර්ණකුලසූරිය නැමැති තරුණ කවියා, පිටවැසුම් නිර්මාණවේදියා, මේ කෘතිය මගින් සිංහල කවිය වෙත හඳුන්වා දෙන මේ කාව්‍ය ශානරය පිළිබඳ සිංහල විචාර සාහිත්‍යයේ එතරම් බරපතල සංවාදයක් මෙතෙක් සිදුවී නැත. සැබැවින්ම පවසන්නේ නම් එබඳු සංවාදයක් කවර තරමින්වත් සිදුවී නැත. ඒ අර්ථයෙන් ගගන මේ කෘතිය සම්පාදනය කිරීමත් මෙම කාව්‍ය ශානරය පිළිබඳ සපයා ඇති අතිශය වැදගත් හැඳින්වීමත් සිංහල කවීන්ගේ, චිත්‍ර කලා වේදීන්ගේ මෙන්ම සියලු සාහිත්‍ය කලා විචාරකයන්ගේ අවධානයට ලක්විය යුත්තක් බව පැවසිය යුතුය.
ලෝක පරිමාණ මට්ටමින් මෙම කාව්‍ය ආකෘතියට අදාල ඉතිහාසය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් ගගන තම ‘හැඳින්වීම’ මඟින් ඉදිරිපත් කිරීමට සමත් වී ඇත. මෙම පසුකථනයේ දී මා උත්සාහ කරන්නේ එම ආකෘතික පැනීමේ ඇති අර්තර්ගතමය (Content) වැදගත්කම පිළිබඳ අවධානය යොමු කිරීමට ය; එනම් එහි වන දේශපාලනික- ආර්ථිකය පිළිබඳ අදහස මතු කර ගැනීමට ය.
මෙම කාව්‍ය ශානරය සඳහා යෝජනා වී ඇති විවිධ හැඳින්වීමේ නාම අතරින්, ‘Blackout Poetry’ යන යේදුම දැනට ඒ සඳහා ඉදිරිපත් වී ඇති උචිතම හැඳින්වීම බව මාගේ නිරීක්ෂණය යි. ඊට ප්‍රධාන හේතුව ලෙස මා සලකන්නේ එමගින් එම කාව්‍ය ශානරයට අදාල ස්වරූපමය(Form) පක්ෂය පමණක් නොව එහි අන්තර්ගතමය (Content) පාර්ශවයේ ඇති වැදගත්කමද නිරූපණය වීමයි.
සිංහල කාව්‍ය වංශ කතාව පරීක්ෂා කිරීමේ දී පෙනී යන ප්‍රධාන නිරීක්ෂණයක් වනුයේ සිංහල කවියේ විවිධ යුග, ධාරා හා ශානර හැඳින්වීමේ දී ඒවායේ ආකෘතික පක්ෂයට වැඩි බර තැබීමක් තබා ඇති බව ය. ගී, සිව්පද, සිලො, නිසදැස්- නිදහස්, ආඛ්‍යාන(Narrative Poetry), සංයුක්ත කාව්‍ය (Concrete Poetry) ආදී වශයෙන් සැලකීමේ දී ඒවායෙහි අවධානය සම්පූර්ණයෙන් ම මෙන් එල්ලවී ඇත්තේ ආකෘතිමය ස්වභාවය වෙත බව දැකගත හැකිය. (ලෝක මට්ටමේ තත්ත්වය මීට වෙනස් ය.) කවියේ අන්තර්ගතමය පක්ෂය වෙනුවට මෙලෙස ආකෘතිය ඉස්මතු වීමේ දේශපාලනය අවබෝධ කරගැනීම මෙහි දී අතිශය වැදගත් ය.
Writer’s Digest වෙබ් සඟරාවට (https://www.writersdigest.com-list of 168 poetic forms for poets | type of poems and poetry) අනුව Blackout Poetry යන්න හඳුන්වා දෙනුයේ පෙර පළ වූ කිසියම් පෙළක්(ලිපි) භාවිතා කරමින් රචනා කරන කාව්‍ය විශේෂයක් (Making poems from articles) යනුවෙනි. එහෙත් Blackout යන්න මගින් විග්‍රහ කරන අන්තර්ගතමය වැදගත්කම තබා ආකෘතිමය විශේෂත්වයද එමගින් එතරම් හොඳින් ආවරණය කෙරෙන බවක් නොපෙනේ.
වේදිකා නාට්‍ය කලාවට අදාලව ‘Blackout’ යන ශිල්පීය වදන භාවිතා කෙරෙන ආකාරය පිළිබඳ අවධානය යොමු කිරීම මෙහිදී වැදගත් වන බව හැඟේ. මන්දයත් එහිදී blackout යන්න මගින් අවධාරණය කෙරෙන්නේ හුදෙක් වේදිකාව අඳුරු කිරීම පමණක් නොවේ. අඳුරු කිරීම තුලම මෙතෙක් නොපෙනී තිබූ යමක් දෘශ්‍ය කිරීමද එහිදී සිදුවන බව දැකගත හැකිය. කවියට අදාලව මේ කවි ශානරය යටතේ සිදුවන්නේ මේ වනවිටත් පලවී ඇති පෙළක, ලේඛනයක, පිටුවක ඇතැම් කලාප සඟවන අතර ඇතැම් කලාප පෘෂ්ටය මතු පිටට හෙළි කර දැක්වීමයි. එහෙත් එය වේදිකා නාට්‍යයක ඇඳුරු පසුබිමේ තෝරාගත් ස්ථානයක් හෝ චරිතයක් හෝ සංකේතයක් හෝ යොමු පහනක් (spot light) මගින් ආලෝකවත් කර දැක්වීමට සමාන නැත.
මන්දයත් වේදිකා නාට්‍යකරුවා අඳුරු කරනුයේද ආලෝකවත් කරනුයේද තමාගේම පෘෂ්ටයයි. එය තමන් ම සැලසුම් කර ඉදිරිපත් කිරීමට අපේක්ෂා කළ රූපයකි; අර්ථයකි. එහෙත් මේ කාව්‍ය ශානරයේදී සිදුවන්නේ එය නොවේ.
මෙහිදී සිදුවන්නේ මින් පෙර අන් කිසියම් ලේඛකයෙකු පළ කල පඨිතයක් මත ‘Blackout කවියා’ ආධිපත්‍ය පිහිටුවීමය. ඒ අර්ථයෙන් කවියා මේ සිදුකරන්නේ මුල් කතුවරයා මරා දැමීමක්(The Authour is dead) බව බාර්තියානු අර්ථයෙන් (Rolland barth) පැවසිය හැකිය. එහෙත් එය ද සම්පූර්ණයෙන්ම සත්‍යයක් ලෙස පිළිගත නොහැක්කේ මේ වනාහි මුල්
කෘතිය විචාරයට ලක් කිරීමක් නොව එම පෘෂ්ටය ම භාවිතා කර අන් නිර්මාණයක් පළ කිරීමක් වන බැවිනි. සැබැවින්ම මෙහිදී සිදුවන්නේ තමන්ට ඇති අදහසක් ඉදිරිපත් කිරීමට අනෙකෙකුගේ පෙළ භාවිතා කිරීමකි.
සාමාන්‍යයෙන් ඕනෑම කවියෙකු සිදු කරන්නේ තෙරක් නොපෙනෙන විශ්වයේ වස්තූන්ගෙන් තමාට අවශ්‍ය තේමාව මතු කරගැනීමට සුදුසු ප්‍රස්තුතය පමණක් තෝරාගෙන එය තමන්ගේම ආකෘතියකට බහා ඉදිරිපත් කිරීම යි. එසේම එහිදී ඔහු (ඇය) තම තේමාව හෝ තේමාත්මකය මතු කර ගැනීම සඳහා තම භාෂාවෙහි උතුරා පිටාර ගලන වාග් කෝෂයක් තමන්ට අවශ්‍ය, උචිතම වචන පමණක් තෝරා ගනී. ඒ අර්ථයෙන් සළකා බැලීමේදී blackout කවියා සිදු කරන්නුයේද එයම බව ඔබට වැටහෙනු ඇත.
වෙනස වන්නේ තමන්ගේ තේමාව මතුකර ගැනීම සඳහා සාමාන්‍ය කවියෙකුට හිමිවන තෙරක් නොපෙනෙන විශ්වය වෙනුවට ඔහු (blackout කවියා) ඉදිරියේ ඇත්තේ මීට පෙර කිසිවෙකු විසින් රාමු කරන ලද ඉතා කුඩා විශ්වයක් වීමයි. එමෙන් ම උතුරා පිටාර ගලන වාග් කෝෂයක් වෙනුවට එහිදී ඔහු ඉදිරියේ ඇත්තේ මින්පෙර එම භාෂාවෙන් කිසියම් ලේඛකයෙකු විසින් තෝරා බේරා ගෙන ඉදිරිපත් කළ අක්ෂර, වචන හා වාක්‍යාංශ හා වාක්‍ය ප්‍රමාණයක් පමණය.
එසේ මීටපෙර අන් ලේඛකයෙකු විසින් රාමුගත කරන ලද කුඩා ව්‍යූහයක, තෝරා බේරා ගන්නා ලද අක්ෂර, වචන,වාක්‍යාංශ හා වාක්‍ය ප්‍රමාණයක් ඉදිරියෙහි සිටින blackout කවියා, එම කුඩා ව්‍යූහයේ පවතින ඇතැම් ප්‍රදේශ, අක්ෂර, වචන, වාක්‍යාංශ හා වාක්‍ය නොපෙන්වීමට (මේ සඳහා සුදු පැහැය පවා භාවිතා කරයි.) තමන්ට අවශ්‍ය කරන ප්‍රදේශ, අක්ෂර, වචන, වාක්‍යාංශ සහ වාක්‍ය පමණක් මතුකර දක්වයි. එපමණක් නොව සාමාන්‍ය කවියාට වෙනස්ව blackout කවියා, තම රසිකයා ඉදිරියේ තමන්, තමන් ඉදිරියේ පවතින ව්‍යූහයේ ඇතැම් ප්‍රදේශ නොපෙන්වීමට හෝ අපැහැදිලි කිරීමට සලස්වා ඇති බව පිළිගනී; පෙන්වා දෙයි.
මෙම කාව්‍ය ශානරයේ පවතින දේශපාලනිකය වටහා ගැනීමේ දී කවියාගේ මෙම කාව්‍යමය ක්‍රියාව (action of poets) පිළිබඳ අවධානය යොමු කිරීම අතිශයින් වැදගත් වනු ඇත. මෙම ක්‍රියාව ප්‍රධාන වශයෙන් අංශ 2ක් ඔස්සේ වර්ගීකරණය කළ හැකිය.
- මකාදැමීම හෙවත් නොපෙනෙන්න සැළැස්වීමේ ක්‍රියාව (අපැහැදිලි කිරීම)
-
මතු කර දැක්වීම නොහොත් ඉතිරි කිරීමේ ක්‍රියාව (දෘෂ්‍යමාන කිරීම)
Blackout poetry යනු මෙම ක්‍රියා දෙවර්ගය හේතුවෙන් නිපදවෙන නවතම කාව්‍ය ශානරයක් බව මේ අනුව අපට පැවසිය හැකිය. අප විශ්වාස කරන පරිදි මෙම කාව්‍ය ශානරය ප්‍රථම වරට විධිමත් ග්‍රන්ථයක් ලෙස සිංහල රසිකයා අතට පත්වන්නේ ගගනගේ මෙම කෘතිය මගිනි. මහගමසේකර, අජිත් තිලකසේන සිංහල කවියට සංයුක්ත කවිය (concrete poetry) හඳුන්වාදීමට සිදුකළ සම්ප්‍රදානය තරමටම ගගනගේ මෙම කෘතිය සිංහල කාව්‍ය ඉතිහාසයේ කඩයිම් අවස්ථාවක් වනු ඇත.
එනිසා ම උක්ත ක්‍රියා දෙවර්ගය හේතුවෙන් නිපදවෙන blackout කවියේ දේශපාලනික මානය මතුකර ගැනීමට ගගනගේ නිර්මාණයන්ම ආශ්‍රය කරගැනීමට උත්සාහ කරමු.
- මකා දැමීම හෙවත් නොපෙනෙන්න සැලැස්වීමේ ක්‍රියාව (අපැහැදිලි කිරීම)
දෘශ්‍ය කවි(visual poetry) අතර blackout කවිය විශේෂිත වන එක් ප්‍රධාන ලක්ෂණයක් ලෙස මෙය දැක්විය හැකිය. මෙය පැහැදිලිවම ෆැසිස්ට්වාදී(Fascism) ක්‍රියාවකි. අනෙකෙකුගේ පඨිතයක් තමන්ට අවශ්‍ය පරිදි වාරණය කිරීමකි.
(censored). මෙම ක්‍රියාව මහජන පරිමණ්ඩලයේ (Public sphere) සිට පෞද්ගලික පරිමණ්ඩලය (Private sphere) දක්වා සෑම ක්ෂේත්‍රයක ම භාවිතා වන අතිශය ෆැසිස්ට්වාදී භාවිතාවකි.
මුද්‍රිත මාධ්‍යයන්ගේ සිට විද්‍යුත් මාධ්‍ය දක්වා මෙසේ අනෙකාගේ පඨිතයන් මකා දැමීමේ ක්‍රියාව වාරණ මණ්ඩල (censor board) විසින් විවිධ කාල අවකාශයන්හි ක්‍රියාත්මක කර ඇති අන්දම අප අත්දැක ඇත. පෞද්ගලික ජීවිතයේ දී ද අප කෙතරම් අනෙකාගේ නම් මකා දමා ඇත් ද ?
(රූපය 01) ඒ වෙනුවට මෙහිදී සිදුවන්නේ කලාකරුවාම කපා දමන්නා බවට පත් වීම ය. මෙතෙක් වාරණයට හසු වූයේ කලාකරුවා වන අතර මෙහිදී කලාකරුවාම වාරකයෙකු බවට පත් වීම ය. එය ප්‍රති ෆැසිස්ට්වාදී (anti-fascism) ව්‍යාපෘතියක් බවට පත් විය හැකිය. මෙරට වාරණය තදබල ලෙස පැවති සමයන්හි, ‘රාවය’, ‘ඇත්ත’ බඳු පුවත්පත් ඊට එරෙහිව තම මුල් පිටුව සැළසුම් කළ ආකාරය මීට නිදසුන් ලෙස දැක්විය හැකිය. බලධාරියාගේ කපා හැරීමට එරෙහි මේ එක් පුවත්පතක් සිදුකරනු ලැබුවේ සිය මුල් පිටුවෙහි පුවත්පතෙහි නම හා දිනය ආදී විස්තර හැරුණු විට අන් සියලු ඉඩ සම්පූර්ණයෙන්ම කළු තීන්තයෙන් වසා එහි “බලධාරියා විසින් කපා හරින ලදී” ලෙස මුද්‍රණය කිරීමයි. එය ‘කපා දැමීමේ’ වාරණ දේශපාලනයට එරෙහිව එයම භාවිතයේ යෙදවූ අවස්ථාවකි. (එම පිටුව සොයාගත නොහැකි වූයෙන් එහි අනුරුවක් පහත ලෙස ප්‍රතිසකසා ඉදිරිපත් කරමු.)
(රූපය 02) රාජ්‍යයද වෙළඳපොළ ද මේ යුගයේ අපට ප්‍රදර්ශනය කරමින් තිබෙන සියල්ල අප නැරඹිය යුතු ඒවා ද ? අප සැබවින් ම දැක ගත යුතු දෑ විශාල වශයෙන් අදෘශ්‍යමාන කරමින් සිටින මේ ධනේශ්වර දෘෂ්ටිවාදී ආයතන අපට සුලබ ලෙස ප්‍රදර්ශනය වීමට සලස්වා ඇත්තේ මොනවාද ? පැයකට වරක් ඉදිරිපත් වන ප්‍රවෘත්ති විකාශයන්, පෝ දා ධර්ම සාකච්ඡා, ඒ අතරතුර ද ප්‍රචාරය වන වෙළඳ දැන්වීම්, දේශපාලන වාද විවාද, මාධ්‍ය නිවේදන, මෙගා ටෙලි, මව් පිය වන්දනා, කවි බණ යනාදී වශයෙන් අපගේ දෛනික ජීවිතයේ දී අප ඉදිරියේ පෙළගැසෙන මේ සියල්ලෙන් සිදුවන්නේ පවතින ලෝකය ඒ අයුරින්ම ඉදිරියට ගමන් කිරීම මිස අනෙකක් නොවේ.
මකා දැමීම හෙවත් blackout කිරීමේ ක්‍රියාව ෆැසිස්ට්වාදී ආස්ථානයක සිට විමුක්තිකාමී ක්‍රියාවක් බවට පත්වන්නේ මෙම තත්ත්වය යටතේ ය. බොහෝ දෑ දෘශ්‍යමානව ඇති බවක් පෙනෙන්නට ඇති නමුත් එමගින් සිදුකර ඇත්තේ සැබවින්ම අප දැනගත යුතු සත්‍යයන් අදෘශ්‍යමාන කිරීම බව වටහා ගැනීමට මේ මකා දැමීම වැදගත් ය. Blackout කවියා සිදුකරනුයේ එම ඊනියා දෘශ්‍යමාන යථාර්ථය මත තම ආධිපත්‍යය පිහිටුවීමේ කැරලිකාරී ක්‍රියාවකි. එය සුලබ දෘශ්‍යමානයට එරෙහි ප්‍රති-දෘෂ්ටිවාදී (anti-ideology) අරගලයකි.
ගගනගේ පහත නිර්මාණ ඔස්සේ මෙම සුලබ දෘෂ්‍යමානය මකා දැමීම කෙතරම් වැදගත් ද යන්න වටහාගනු හැකිවනු ඇත. (රූපය 03,04,05,06)
- මතු කර දැක්වීම නොහොත් ඉතිරි කීරීමේ ක්‍රියාව (දෘෂ්‍යමාන කිරීම)(Highlight)
මකා දැමීම තරමටම මතු කර දැක්වීම ද ෆැසිස්ට්වාදී ය. මන්දයත් එම මතුකර දැක්වීම මගින් ම ඇතැම් සත්‍යයන් මකා දැමීමට හැකි බැවිනි. එසේම මතුකර දැක්විය යුත්තේ කවරක්ද යන්න තීරණය කිරීමේ හැකියාව හිමිවන්නේ ඒ සඳහා බලය හිමි කණ්ඩායමට ය. ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල, ප්‍රධාන ආරාධිත අමුත්තා, ප්‍රධාන දේශකයා, ප්‍රධාන කථිකයා, ප්‍රධාන නළුවා මෙන්ම ප්‍රධාන සංඝ නායක දක්වා මෙම මතුකර දැක්වීම් (highlight) සිදුවන ආකාරය සහ එය තීරණය කිරීමේ බලය හිමිකරගෙන සිටින කණ්ඩායම් දෙස සාවධාන වීමෙන් මේ යථාර්ථය ඔබට වටහාගනු හැකිය. රාජ්‍ය භාෂාව, රාජ්‍ය ආගම ආදී වශයෙන් සිදුවන දේශපාලනික මතුකර දැක්වීම් ඇසුරෙන් මේ කරුණ වඩා හොඳින් අවබෝධ වනු ඇත.
මේ තත්ත්වය තවදුරටත් වටහා ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ සමයේ මෙරට සිදුවූ කොළඹ නගරය අලංකාර කිරීමේ ව්‍යාපෘතිය දෙස අවධානය යොමු කිරීම වැදගත් ය. එහි දී අපට මූලික වශයෙන් ඉස්මතු කර දෘෂ්‍යමාන කිරීමට උත්සාහ කළ දෘෂ්ටිවාදයක් වූයේ රාජ්‍යයේ අනභිභවනීය ( glorification of the state) භාවයයි. පැවති ගොඩනැගිලිවල විශාලත්වය මතුකර දැක්වීමට මෙන්ම මෙතෙක් නොතිබුණු ගණයේ විශාල ගොඩනැගිලි ඉදිකර මතුකර දැක්වීමට කටයුතු කළ ආකාරය මෙහිදී දක්නට ලැබිණි.
(රූපය 07) මේ වනාහී ෆැසිස්ට්වාදී නිර්මාණ ශිල්පයේ (Fascism Architecture) ප්‍රධාන ලක්ෂණයකි. පැරණි රාජාණ්ඩු පාලනය යටතේ ඉදිවූ ආගමික ඉදිකිරීම් දෙස අවධානය යොමු කිරීමෙන් ද මේ තත්ත්වය මනාව වටහාගත හැකිය. එසේම ඒවා ඉදිකිරීමට යොදාගත් ස්ථාන දෙස බැලීමෙන් ද මෙම මතුකර දැක්වීමේ ක්‍රියාවෙහි පවතින දේශපාලනිකය වටහා ගැනීමට හැකිවනු ඇත.
(රූපය 08) එම ඉදිකිරීම්වල අතිවිශාලත්වය ඉදිරියෙහි මිනිසා ඇමීබාවෙකු තරමට අන්වීක්ෂීය වන අතර තවදුරටත් ඔහු දුර්වල, අසරණ ජීවියෙකු බවට පත්වන්නේ එම ඉදිකිරීම් ඉදිකර ඇති ස්ථාන හේතුවෙනි. බොහෝවිට ඉදිවී ඇත්තේ කඳු මුදුන්, ගිරි මුදුන් වැනි උස් ස්ථානයන්හි ය. සාමාන්‍යයෙන් ගමෙහි පන්සල පවා ඉදිකිරීමට තෝරාගෙන ඇත්තේ ගමෙහි පවතින කුඩා කඳුගැටයක් වැනි ස්ථානයක බව අමුතුවෙන් කිව යුතු නැත.
එබඳු ස්ථානයකට නැග ගැනීමට ඇති දුෂ්කරතාවයත් එම උස් බව විසින් ජනිත කරනු ලබන අනාරක්ෂිත හැඟීමත් හේතුවෙන් ඇතිවන අසරණකම ඉදිරියේ අපට කිසිවෙකුගේ පිළිසරණ අවශ්‍ය වේ. එවිට බැතිමතුන්ගේ පිහිටට පැමිණෙනුයේ ආගමයි. කිසිඳු ප්‍රශ්න කිරීමකින් විචාරයකින් තොරව එම ආගමික සංකේත ඉදිරියේ දණ ගසා වැඳ නමස්කාර කිරීම හැර අන් විකල්පයක් ඔවුන් වෙත ඉතිරි වී නැත.
නමුත් මේ මතුකර දැක්වීම නොහොත් ඉතිරි කිරීමේ බලය කවියෙකු අතට පත් වූ විට සිදුවන්නේ කුමක්ද, යන්න අවබෝධ කර ගැනීමට අපට ගගනගේ ශේෂ කවිය වෙත ගමන් කළ හැකිය. කවියෙකු එම බලය සම්පූර්ණයෙන්ම භාවිතා කරනුයේ පුද්ගලයා ද සමාජය ද අවිඥ්ඥානිකව ගොදුරුවන පෙර කී ෆැසිස්ට්වාදී වියරුවටත්, ආගමික උමතුවටත් එරෙහිව ය. අනෙකෙකුගේ පිටුවක් මත පවා ගගන ඉස්මතු කර දක්වන්නේ රණකාමයේ නිස්සාරත්වය ය; එම රණකාමය සමඟ මෙන්ම වාණිජ ධනවාදය සමඟ ද සම්මුතිගත වූ ආගමික සංස්ථාවන්ගේ ව්‍යාජත්වය ය.
මේ බලන්න..(රූපය 09,10,11,12)
මකා දැමීම හෙවත් නොපෙනෙන්න සැලැස්වීමේ ක්‍රියාවත් මතුකර දැක්වීම නොහොත් ඉතිරි කිරීමේ ක්‍රියාවත් කවියක් බවට පත්වන්නේ කෙසේද යන්න අවබෝධ කරගැනීමට මෙම කවි ශානරය මෙන්ම ගගනගේ වෑයම ද බෙහෙවින් අපට වැදගත් වන බව මේ අනුව ඔබට පෙනී යා යුතුය. මෙම ක්‍රියාව මහේක්ෂීය දේශපාලන-ආර්ථික පරිස්ථිතිය තුළ දී කවියක් නොවන්නේ මන්ද, යන්න පිළිබඳවද මේ සමගම ඔබ අවධානයට ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
මේ හේතුවෙන් ගගන මේ සිංහල කවියට හඳුන්වා දී ඇත්තේ හුදු ආකෘතිමය විශේෂත්වයක් පමණක් නොව කවියේ සමස්තයට අදාළ පරිවර්තනීය ක්‍රියාදාමයකි. මේ මොහොතේ එක තැන නතර වී තිබෙන සිංහල කවිය, මේ නව මුණ ගැසුම ඉදිරියේ යළිත් සලිත වී ඉදිරියට ගමන් කිරීමට අවශ්‍ය විභව ශක්තිය ලබා දෙනු ඇතැයි අපි විශ්වාස කරමු.
උපුටාගැනීම : දේදුන්න අතිරේකය
අනිද්දා පුවත්පත
2024, දෙසැම්බර් 29 ඉරිදා