Breaking News

යෝජිත පළාත් පාලන ජන්ද විමසීම පිරිසිදු දේශපාලන සංස්කෘතියක් බිහිකිරීමේ පළමු පියවර ලෙස සලකා ක්‍රියා කරමු

ශ්‍රී ලාංකිකයන් තම නියෝජිතයන් තෝරාගැනීම සඳහා දැනටමත් ප්‍රකාශිත පළාත් පාලන ජන්ද විමසීම සඳහා සූදානමින් සිටින අවස්ථාවකි මේ. ඒ සර්වජන ජන්ද බලය ලැබීමෙන් අනතුරුව ඔවුන් මුහුණදෙන 75 වන මැතිවරණය ලෙසය. අපි එවන් මැතිවරණ විශාල ප්‍රමාණයක හිමිකරුවන් වුවද අදවනවිට ජන්දදායකයන් සතුව දේශපාලනය කෙරෙහි මතුවෙමින් ඇත්තේ ප්‍රබල කළකිරීමකි. ඊට බලපා ඇති මූලික හේතුව නම් මෙරටේ දුසැරිය පිටුදකින පිරිසිදු අපේක්ෂකයන් මැතිවරණ ඔස්සේ තේරීපත් නොවීමයි. මාර්තු 12 ව්‍යාපාරය ආරම්භයේ සිට මැදිහත් වූයේ මෙකී වෙනස රටෙහි ස්ථාපිත කිරීම උදෙසාය. එබැවින් මෙවර වඩාත් වැදගත් වන්නේ දේශපාලන පක්ෂ විසින් තරඟයට යොමුකරන අපේක්ෂකයන්ගේ සුපිළිපන්න පැවැත්ම බව අපි පළමුවද, දෙවනුවද, තෙවනුවද අවධාරණය කරන්නෙමු.

මෑත කාලීන ඉතිහාසයේ මෙරටේ තරුණ ප්‍රජාව ප්‍රමුඛ ජනසමජයෙන් මතුවූ ප්‍රබලතම විරෝධයෙහි පදනම වූයේ පවත්නා චෞරතන්ත්‍රමය පාලන ක්‍රමවේදය වෙනස් කල යුතුය යන්නයි. ජනතාවද ඉමහත් වුවමනාවෙන් ඒ සඳහා පෙරමඟ බලා සීටී. ඒ මුළු රටම ඉල්ලා සිටි වෙනස දේශපාලන පක්ෂ මඟින් ලබාදෙන තෙක්ය. එබැවින් සුපුරුදු මහජන භාරය සොරාගන්නා අපේක්ෂකයන්, මෙවර ජන්දදායකයන් විසින් මෙවර ප්‍රතික්ෂේප කරනු ඇත. ඉතිහාසයේ මේ අඳුරුතම පැය වර්ණවත් කල හැක්කේ දේශපාලන පක්ෂ යහපත් මිනිසුන් සඳහා නාම යෝජනා ලබාදුනහොත් පමණි. එම කැපවීම සිදුකොට යහපත් රටක් ගොඩනඟන ලෙස අපි සියළු දේශපාලන පක්ෂවලින් තරයේ ඉල්ලා සිටින්නෙමු.

ඊට අමතර වශයෙන් දේශපාලන පක්ෂ සහ ජන්දදායකයන් වෙත පණිවුඩයක් ලබාදීම අපගේ වගකීමක් යැයි සිතා මෙලෙස සටහන් කරන්නෙමු.

දේශපාලන පක්ෂ:

01. ඔබ අපේක්ෂකයන් තෝරා ගන්නා නිර්ණායක මොනවාදැයි වහාම මහජනතාව වෙත දැන්වීමට ක්‍රියාකරන්න:

අපේක්ෂකයන් තෝරා ගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු කවරේදැයි යන්න අපි මාර්තු 12 ව්‍යාපාරයේ නිර්ණායක ලෙස ජනගත කරන ලද්දේ වසර 2015 මාර්තු 12 වැනි දිනයි. ඒ මෙරටේ එවක පාලන බලයේ හා දේශපාලන පක්ෂ නායකත්වයේ රැඳුනු නියමුවන් රැසකගේ සාමූහික කැමැත්තෙනි. එබැවින් මෙම ප්‍රකාශයෙහි ද අන්තර්ගත කොට ඇති පරිදි අපේක්ෂකයන් තෝරා ගැනීමේදී මාර්තු 12 නිර්ණායක පිළිපදින ලෙස සිහිකරන්නෙමු. ඉන් එපිට හුදු තරඟ දිනවන්නන් පමණක් තේරීමෙන් සිදුවන්නේ රට තවදුරටත් අඳුරේ හෙලීමයි.

02. අපේක්ෂක වත්කම් බැරකම් ප්‍රකාශ නාම යෝජනා අවස්ථාවේදීම භාරදීමට හා ඒවා ප්‍රසිද්ධ කිරීමට සියළු දේශපාලන පක්ෂ වගබලාගත යුතුය:

අප කෙතරම් වාදාභිමුඛ වුවද, සෑම මැතිවරණයක් පාසාම බලයට පත්වන බහුතර ජයග්‍රාහකයන් ප්‍රමාණය කිසිදු විනිවිද බවකින් තොර මහජන මුදල් අපතේ හරින වගකීම් විරහිත පිරිසක්ය. එහි අවසන් ප්‍රථිඵලය වී ඇත්තේ අපගේ ගෙවුම් ශේෂ අනුපාතය අසාමාන්‍ය ලෙස පහළ බැසීම හා පිරිසිදු දේශපාලන සංස්කෘතිය අතුරුදහන් වීමයි. එබැවින් තරඟයට එළඹෙන සෑම දේශපාලන පක්ෂයකම අපේක්ෂකයන් තම වත්කම් හා බැරකම් ප්‍රකාශ තම වෙබ් අඩවි හෝ සමාජ ජාල වේදිකා මත්තේ හෝ එසේත් නැත්නම් තම පක්ෂයේ වෙබ් අඩවිවල ප්‍රදර්ශනය කල යුතු බව අපගේ අදහසයි. ඔබ සමාජ සේවයට එළඹෙන්නේ නම් එහිලා අදාල අවම කොන්දේසියක් විය යුත්තේ තම වත්කම් ජනගත කිරීමයි. යමෙක් එකී ප්‍රකාශ අපවෙත බාරදෙන්නේ නම් එකී ප්‍රකාශ ජනගත කිරීමේ කාර්යය අපි ඉමහත් වගකීමෙන් ඉටුකරන්නෙමු.

03. පිරිසිදු දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා වන මූලාරම්භය මෙවර මැතිවරණයේදී ප්‍රදර්ශනය කිරීමට දේශපාලන පක්ෂ ක්‍රියාකළ යුතුය:

අපගේ බිඳවැටුණු ආර්ථිකය හා නීතියේ ආධිපත්‍යය නැවත සංස්ථාපනය කල හැක්කේ දේශපාලන පක්ෂ මෙවර මැතිවරණයේදී තමන් වෙනසක් සඳහා කැපවන බවට ජන්දදායකයන් වෙත ලබාදෙන අවංක පොරොන්දුවක් ඔස්සේ පමණි. සම්ප්‍රදායික දේශපාලන හැසිරීම මඟින් අප රටෙහි රාජ්‍යකරණය හා මනා පාලනය මුළුමනින්ම බිඳ වැට්ටවූ බව අපි සැවොම හොඳින් අත්දුටුවෙමු.

ජන්දදායකයන් වෙත :

  1. තත්කාලීන සමාජයේ යම් පිරිහීමක් වෙත්නම් එහි පළමු වගඋත්තරකරුවා ඔබය. ඔබ, ඔබගේ මනාපය දී ඇත්තේ ප්‍රතිපත්ති කියවීමෙන් තොරව බව පැහැදිලිය. එබැවින් එක් ජන්දයක් යනු රට එක් පියවරකින් ඉදිරියට තල්ලු කරන අවස්ථාවක් යැයි සිතීමට කාලය පැමිණ ඇත. වඩාත් වැදගත් වන්නේ වෙන අන්කිසිවක් නොව ඔබ අභියසට අපේක්ෂකයන් සහ දේශපාලන පක්ෂ ඉමහත් හරසරින් රැගෙන එන මැතිවරණ පොරොන්දු පෙරළා නිසිලෙස ඉටුකළ හැකි කවුදැයි හඳුනාගැනීමයි. ජන්ද පත්‍රිකාවේ කතිරය සළකුණු කරන ඔබ, ඊට පෙර මාර්තු 12 ව්‍යාපාරයේ අපේක්ෂක නිර්ණායක කියැවිය යුත්තේ එබැවිණි.

  2. තම වත්කම් හා බැරකම් ප්‍රකාශ නිසිලෙස ජනගත නොකරන කිසිදු අපේක්ෂකයෙක් වෙත ඔබගේ කැමැත්ත නොදීමට තරම් විචක්ෂණශීලි වේයැයි අපි සිතන්නෙමු. කතිරයට පෙර තමන් තෝරාගන්නා තැනැත්තා මහජන ධනය සුරැකිය හැකි ගම හා ප්‍රජාව ඉහළට එසැවිය හැකි පුද්ගලයෙක්දැයි සෙවීම ඔබගේ පුරවැසි වගකීමයි.

leave a reply