Breaking News

කතා කරන පින්තූරයක්

මේ තියෙන්නේ හොඳම ආහාර ඡායාරූපය (food photography) ලෙස තේරුණු ඡායාරූපය. Pink Lady Food Photography කියන තරඟාවලියේ හොඳම ඡායාරූපයට හිමි සම්මානය දිනා ගත්තේ මෙයයි. මෙයින් දැක්වෙන්නේ බංග්ලාදේශ සරණාගත කඳවුරක ජීවත්වෙන රෝහින්‍යා දරුවන් පිරිසක් ආහාර ලබා ගැනීම සඳහා පෝලිම් ගැසී සිටින ආකාරය. මෙම ඡායාරූපය බංගලාදේශයේ පිහිටි Cox’s Bazar නම් සරණාගත කඳවුරේදී කැමරාවට හසුකරගෙන තිබෙන්නේ කේ. එම්. අසාද් කියන ඡායාරූප ශිල්පියා.

මේ සරණාගත කඳවුරේ ජීවත්වෙන්නෙ මියන්මාරයේ ක්‍රියාත්මක වූ රෝහින්‍යා ජනතාවට එරෙහිව සිදුවූ මහා සංහාරයෙන් දිවි ගලවාගත් පිරිසෙන් කොටසක්.

Cox’s Bazar සරණාගත කඳවුර ලෝකයේ තිබෙන විශාලතම සරණාගත කඳවුරුවලින් එකක් . මිලියනයක් පමණ ජීවත්වෙන සරණාගත කඳවුරේ බාගයක්ම සිටින්නේ දරුවන්. මේවනවිට කොරෝනා වසංගතය මේ කඳවුර තුළටත් ඇතුල් වෙලා නිසා කඳවුර ලොක් ඩවුන් තත්ත්වයේ තියෙන්නෙ. ඒත් කඳවුර තුළ ආසාදිතයින් සංඛ්‍යාව දිනෙන් දින වැඩිවෙන බව පැවසෙනවා.

කඳවුර තුළ ආසාදිතයින් වැඩිවීමත් එක්ක සහන සේවා කණ්ඩායම්වලට කඳවුර තුළට යාම තහනම් කර තිබෙනවා. මේ නිසා මේ ජනතාවට අවශ්‍ය කෑම බීම සහ සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් තරම් නොලැබෙන බව පැවසෙනවා. ඒ වගේම සමාජ දුරස්ථකරණය කියන එක මේ මිනිස්සුන්ට හීනයක්. එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමේ ප්‍රකාශිකාවක් කියන ආකාරයට කඳවුර තුළ වර්ග සැතපුම් එකක මිනිස්සු ලක්ෂයක් පමණ ජීවත්වෙනවා. ඒවගේම සනීපාරක්ෂ පහසුකම් ඉතා සීමිතයි. පිරිසිඳු ජලයත් හිඟයි.

මේ තත්ත්වය තුළ බොහෝ දෙනෙකුගේ අරමුණ වෛරසයෙන් බේරීම නොවෙයි. කෙසේහෝ කෑමට යමක් සොයා ගැනීමයි.

වසංගතයත් එක්ක මුළු ලෝකයම ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයක් ගැන කතා කරමින් ඉන්නවා. මේ මොහොතේත් ආහාර වෙනුවෙන් අරගල කිරීමට සිදුව ඇති ජනතාවට ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වය කුමක් විය හැකිද? අධි නිෂ්පාදනයක් කරමින් ආහාරවල මිල පාලනය කිරීම සඳහා අතිරික්තය විනාශ කරන මහා පරිමාණ නිෂ්පාදකයින් මෙම ජනතාවට පිහිට වේවි යයි සිතිය හැකිද?

 

leave a reply