Breaking News

ණය වාරිකය සහ විදුලි බිල අර්බුදය

රජය විසින් 18% විදුලි බිල වැඩිවීමක් යෝජනා කරමින් ඒ සඳහා අනුමැතිය ඉල්ලා මහජන උපයෝගීතා කොමිසමට දැනුම් දුන්නේ මීට සති කීපයකට ඉහතදීය. ඒ ගැන සලකා බලන්නට මහජන අදහස් විමසීමේ වැඩසටහනක් මහජන උපයෝගිතා කොමිසම දියත් කර තිබෙනවා. මහජන අදහස් එකතු කරමින් සිටින මහජන උපයෝගීතා කොමිසම තමන් ඒකරාශී කරගන්නා සියලු කරුණුත් සලකා බලා රජය වෙත ඔවුන්ගේ අදහස ඉදිරි සති කිහිපය තුළ යෝජනා කිරීමට නියමිතයි.

වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මැතිවරණ පොරොන්දුවක් වූයේ එවකට පැවැති රනිල් රාජපක්ෂ ආණ්ඩුව විසින් පවත්වාගෙන ගිය විදුලි බිල 30% අඩු කරන බවට දේශපාලන පොරොන්දුවක් ලබා දීමයි. ඔවුන්ගේ දේශපාලන ජයග්‍රහණවල සාරයට මේ පොරොන්දු ඉවහල් වූ බව බැහැර කරන්නට බැහැ. වර්තමාන ආණ්ඩුව ලබාදුන් දේශපාලන පොරොන්දු ඉෂ්ට කරනු ඇතැයි ජනතාව විශ්වාස කළ නිසා ඔවුන්ව බලයේ පිහිටවන්න කටයුතු කළා.

කෙසේ වෙතත් මේ වසරේ පළමු කාර්තුවේදී විදුලි බිල වැඩිවීමක් මිස අඩු කිරීමට නොහැකි බව දිගින් දිගටම රජය ප්‍රකාශ කළ ද මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ මැදිහත්වීම මත 20% විදුලි බිල පහත හෙළීමට රජයට සිදුවිය. එසේ මහජන කොමිෂන් සභාවේ මැදිහත්වීමෙන් 20% න් විදුලි බිල අඩු කිරීම හේතුකොට ගෙන වසරේ පළමු කාර්තුව වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 8 පාඩුවක් ලබා ඇති බව සඳහන් වෙනවා. ඒ අනුව තමයි 18% ක විදුලි බිල වැඩිවීමක් සඳහා අවසර ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම වෙත ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ යෝජනා කරලා තියෙන්නේ.

කෙසේ වෙතත් මහජනතාවගේ පාර්ශවයෙන් විදුලි බිල වැඩි වීමට එරෙහිව උද්ඝෝෂණය පැන නගින අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද ශ්‍රී ලංකාවට මුදාහරින්නට නියමිත ඊළඟ වාරිකය අවශ්‍ය නම් විදුලි බිල සංශෝධනය කළ යුතු බවට ප්‍රකාශයක් නිකුත් කරලා තියනවා.

ප්‍රධාන වශයෙන්ම පිරිවැය ගැලපුම් යෝජනාවක් හරහා විදුලි බිල වැඩිකිරීමට රජය සූදානම් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම මත බව දේශපාලන පක්ෂ නියෝජිතයන් චෝදනා කරන්න පටන් ගත් විට ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කළා . මේ ගැටලුව මතුවී තිබෙන අතරතුරේදීම තමයි වර්තමාන ආණ්ඩුවත් කංචන විජේසේකර රනිල් රාජපක්ෂ ආණ්ඩුව විසින් එන්නට යෝජනා කළ විදුලිබල මණ්ඩලය කෑලිවලට කඩන පනත සංශෝධනය කර සම්මත කර ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ කතිකාවත නිර්මාණය කරන්නේ. ඒ පනත හරහා මහජන උපයෝගීතා කොමිසමට ඇති බලය හීන කර විදුලි බිල අඩු වැඩි කිරීමේ බලයද ජනාධිපතිවරයා සතු කර ගන්නට යන චෝදනාව එල්ල වෙලා තියෙනවා.

එවන් තත්ත්වයකට මේ ආණ්ඩුව පත්වන්නේ තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වෙනුවට ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල චීනය වැනි පාර්ශවයන්ගේ වුවමනාව මත ආණ්ඩුව කටයුතු කිරීමට පෙළඹීමේ ප්‍රතිඵලයක් ලෙසයි .

විදුලි බල මණ්ඩලය පාඩු ලබපු නිසා 18%න් ඉදිරි කාර්තුවට විදුලි බිල වැඩි කරන්න උවමනා බව ආණ්ඩුව ප්‍රකාශ කළද 2024 වසරේ විදුලි බල මණ්ඩලයේ ලාභය රුපියල් බිලියන 61 යි. පාඩුව අඩුකලද විදුලිබල මණ්ඩලයේ ලාභය බිලියන 53කි.

එපමණක්ද නොව වාර්තා වන කරුණු මත පදනම්ව විදුලි බල මණ්ඩලය කෙසේ හෝ විදුලි ගාස්තු ඉහළ දමා ගැනීම සඳහා වාර්තා සකස් කර ඇති බවට චෝදනා එල්ල වෙනවා.

විදුලිබිල සංශෝධනය කළ යුතුද නොකළ යුතුද යන්න පිළිබඳව මහජන උපයෝගීතා කොමිසම පසුගිය දිනවල ලබාගත් ජනතා අදහස් පෙර ආණ්ඩුවල පාලන සමයන් සේම සහ ඊට සහභාගි වුණු විවිධ සමාජ ස්ථරයන්ගේ අදහස විමර්ශනය කර බලන විට පැහැදිලි වන්නේ විදුලි බලමණ්ඩලය කෘතිමව පාඩු ලබන බව පෙන්වමින් පෙර ආණ්ඩු පාලන සමයන් සේම මහජනතාව මතට බර පැටවීමට උත්සාහ දරන බවයි.

2025 පළමු කාර්තුවේදී ද ආණ්ඩුව උත්සාහ දැරුවේ විදුලි බිල වැඩි කිරීමට මිස අඩු කිරීමට නොවන බව අප කාටත් පැහැදිලිය.20% විස්සකින් විදුලිබිල එම අවස්ථාවේදී අඩු වුණේ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ මැදිහත්වීම මත වුවද ආණ්ඩුව උත්සාහ කළේ එහි වාසිය තමන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් ලබා ගැනීමටයි. යලි වතාවක් විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව අර්බුදයකට පත්වී සිටියි . ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උවමනාව මත සියල්ල තිරණය කිරීමට සූදානම් වන ආණ්ඩුව විදුලි බිල ගැටලුවේදී අර්බුදයට යෑමට නියමිත බව පෙනෙන්නට තිබේ.

සමන්සිරි හේරත්

leave a reply