Breaking News

2024 ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පිළිබඳ වාර්තාව

2024 ඔක්තෝබර් මස 27 වැනි දින

2024 ඔක්තෝබර් 26 වන දින ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සාමකාමීව නිමවිය. පුද්ගලයන් 55,643 දෙනෙකු ඡන්ද මධ්‍යස්ථාන 48ක් හරහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබුණි. වර්ෂ 2018 පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා තරග කිරීමට ඉදිරිපත් වූ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වීම හේතුවෙන් ඔවුන් සිදු කළ නීතිමය මැදිහත්වීමත් සමග එම පක්ෂයේ අපේක්ෂකයින් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නඩුව සමථයකට පත් වන තුරු ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණය පැවැත්වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී. අවසානයේ 2019 මැතිවරණය පැවැත්වුණේ සැළකිය යුතු මට්ටමේ ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයක් සමඟිනි. එසේ පත් වූ ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ නිල කාලය 2024 මාර්තු 06 දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත්, අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් 2024 නොවැම්බර් 04 වන දින දක්වා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ලැබූ ජනවරම දීර්ඝ කරන ලදී. ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව පසුගිය අගෝස්තු මාසයේදී නිවේදනය කළේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය 2024 ඔක්තෝම්බර් 26 වන දින පවත්වන බවය.

2024 ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ 08 කින් සහ ස්වාධීන කණ්ඩායම් 01 කින් අපේක්ෂකයින් 279 ක් කොට්ඨාශ 28 ක් සඳහා තරග වැදිණි. මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමයක් භාවිත කරමින් මන්ත්‍රීවරුන් 17 දෙනෙකු කොට්ඨාශ ක්‍රමයට ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා අතර 11 දෙනෙකු සමානුපාතික නියෝජන ක්‍රමයට තෝරා ගනු ලැබේ. පළාත් පාලන මට්ටමින් 25% කාන්තා නියෝජනය සහතික කිරීම සඳහා කාන්තා සභිකයින් 07 දෙනෙකු සභාවට තේරී පත් විය යුතුය.

ඡන්ද විමසීමේ දිනයේදීම ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රතිඵල නිකුත් වූ අතර 63% ක ඡන්ද ප්‍රතිශතයක් සමග ප්‍රකාශිත ඡන්ද 36,825 ප්‍රමාණයකින් ඡන්ද 520 ක් ප්‍රතික්ෂේප විය. ජාතික ජන බලවේගය මුළු ඡන්ද 17,295 ක් ලබාගෙන ආසන 15 ක් ලබා ගත්තේය. වලංගු ඡන්ද 36,305 න් සමගි ජන බලවේගය ආසන 06 ක් සමග ඡන්ද 7,294 ක් ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 03 ක් සමඟ ඡන්ද 3,597 ක් ද, පොදු පෙරමුණ ආසන 02 ක් සමග ඡන්ද 2,612 ක් ද, ස්වාධීන කණ්ඩායම ඡන්ද 2,568 ක් ලබාගනිමින් ආසන 02ක් ලබා ගත්හ. එක්සත් නිදහස් සන්ධානය එක් ආසනයක් සමගින් ඡන්ද 1305ක් ලබා ගත් අතර ජාතික ජනතා පක්ෂය ඡන්ද 521ක් ලබාගනිමින් ආසන 01ක් හිමිකර ගත්හ. ජනසෙත පෙරමුණට හෝ දෙවන පරපුරට කිසිදු ආසනයක් දිනා ගැනීමට නොහැකි විය.

ජනාධිපතිවරණයකින් පසුව සහ ඉදිරි මාසයේදී පැවැත්වීමට නියමිත මහමැතිවරණයක් අභිමුව පැවැත්වුවද ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණය ප්‍රාදේශීය මට්ටමේ මැතිවරණයක් ලෙස ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ මගපෙන්වීම යටතේ මැතිවරණ පැමිණිලි සහ සිද්ධීන් අඩු ප්‍රමාණයකින් යුතුව සාමකාමීව පැවැත්විණි.

පැෆරල් සංවිධානය මැතිවරණ දිනය වෙනුවෙන් ස්ථානගත නිරීක්ෂකයින් 48ක් යොදවා තිබු අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානවලින් සැලකිය යුතු කොටසක් ආවරණය කිරීමට ජංගම නිරීක්ෂණ කණ්ඩායම් 02ක් යොදවනු ලැබීය. ඇල්පිටිය, බටුවන්හේන ප්‍රදේශයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයකදී ජාතික හැඳුනුම්පත වෙනුවට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද සහතික කළ ලිපියක් භාවිත කරමින් ඡන්ද දායකයකු ඡන්දය ප්‍රකාශ කිරීම වැළැක්වීම සම්බන්ධයෙන් ඇතුළුව මැතිවරණ දිනයේදී පැෆ්රල් සංවිධානයට පැමිණි 02ක් පමණක් ලැබුණු අතර, ඉන් එක පැමිණිල්ලක් තහවුරු විය. මීට අමතරව ඇල්පිටිය පිටුවල ප්‍රදේශයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයට ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය අවස්ථාවේදී තම නමට අදාළව වෙනත් අයෙකු ඡන්දය භාවිත කර ඇති බවට ඡන්ද දායකයෙකු පැමිණිලිකොට තිබිණි. බාධාවකින් තොරව ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලියක් සහතික කරනු වස් අවශ්‍ය හැඳුනුම්පත් සහ අදාළ ලියකියවිලි සමග ඉදිරි මැතිවරණයේදී ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා යොමුවන ලෙස පැෆ්රල් සංවිධානය ඡන්දදායකයින්ට උපදෙස් ලබා දෙයි. කෙසේ වෙතත්, පූර්ව මැතිවරණ කාලසීමාව තුළ සහ මැතිවරණ දිනයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සැළකිය යුතු ලෙස බලපෑමක් එල්ල කළ සාමාන්‍ය සිදුවීම් හෝ තත්වයන් වාර්තා වී නොමැත. වැදගත් කරුණක් නම්, පූර්ව මැතිවරණ සමයේ සිට මැතිවරණ දිනය දක්වා ප්‍රචණ්ඩ ක්‍රියා සහ රාජ්‍ය බලය, සම්පත් සහ සේවකයින් අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් පැෆ්රල් වෙත පැමිණිලි සහ සිදුවීම් වාර්තා නොවීමයි.

පැෆ්රල් සංවිධානය ඡන්ද විමසීමේ දිනයේ යෙදවූ ජංගම නිරීක්ෂකයින් සහ ස්ථානගත නිරීක්ෂකයින් විසින් නිරීක්ෂණය කළ පරිදී, ඡන්ද මධ්‍යස්ථානවල කිසිදු අක්‍රමිකතාවක් සිදුවී නොමැත. ඉතා සුළු ව්‍යතිරේක සමග, ආබාධ සහිත පුද්ගලයින් සඳහා ප්‍රමාණවත් පහසුකම්වලින්ද ඡන්ද මධ්‍යස්ථාන සමන්විත විය. නීතිවිරෝධී මැතිවරණ ප්‍රචාරණ, නීතිවිරෝධී මහජන රැස්වීම්, බිය ගැන්වීම්, ඡන්දදායකයින්ට තර්ජනය කිරීම්, ඡන්ද පොළ නියෝජිතයින්ට සහ මැතිවරණ නිලධාරීන්ට බලපෑම් කිරීම, ඡන්ද දායකයින් ප්‍රවාහනය කිරීම, ඡන්ද මධ්‍යස්ථාන තහනම් කිරීම්, පහරදීම්, ඡන්දදායකයින් ඡන්ද මධ්‍යස්ථානවලින් පළවා හැරීම්, නීති විරෝධී ලෙස ඡන්දය භාවිත කිරීම, ඡන්ද පෙට්ටි සහ පත්‍රිකා පැහැරගෙන යෑම්, නීති විරෝධී මැතිවරණ ප්‍රචාරණය වැනි සිද්ධීන් වාර්තා වී නොමැත. ගණන් කිරීමේ මධ්‍යස්ථාන සූදානම් කිරීම ඉතා සාමකාමී සහ විනයානුකූල අන්දමින් සිදු වී ඇත. සමහර ගණන් කිරීමේ මධ්‍යස්ථානවල අනෙකුත් මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල මැතිවරණ නිරීක්ෂකයෝ ද තම නිරීක්ෂණ කටයුතුවල නිරත විය. ගණන් කිරීමේ මධ්‍යස්ථානවල විනිවිදභාවය පවත්වා ගෙන ගිය අතර, ගණන් කිරීම සඳහා ගෙන ආ ඡන්ද පෙට්ටිවල අසාමාන්‍යතා නොතිබුණි. සෑම ඡන්ද මධ්‍යස්ථානයක්ම පාහේ මැතිවරණ කොමිෂන් සභාවේ සමස්ත මෙහෙයවීම සහ මගපෙන්වීම සහ ශ්‍රී ලංකා පොලීසිය විසින් සපයනු ලැබූ ප්‍රමාණවත් ආරක්ෂාව සහිතව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කර ඇත. ඉහත සඳහන් කළ පාර්ශ්වයන් විසින් ගන්නා ලද උත්සාහයන් සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානයේ කෘතඥතාවය හිමි වේ.

පළාත් පාලන මට්ටමින් ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම විදහා දැක්වීම සඳහා මෙම මැතිවරණය තීරණාත්මක වන අතර, පූර්ව මැතිවරණ අවධියේදී සහ මැතිවරණ දිනයේදීත් ඉන් පසුවත්, ප්‍රචණ්ඩත්වයෙන් සහ මැතිවරණ නීති කඩකිරීම්වලින් වැළකී සිටි ඡන්දදායකයින්, අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල ප්‍රගතිශීලී ක්‍රියාවලින් එය විද්‍යමාන වේ. පැෆ්රල් සංවිධානය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී සහ ඉන් ඔබ්බට පවත්වන මැතිවරණවල ප්‍රජාතන්ත්‍රවාදී හරය තහවුරු කිරීම සඳහා අඛණ්ඩව සිය මැදිහත්වීම් සිදු කරයි.

රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂ

leave a reply