Breaking News

හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත්කිරීම සහ ඉන් ඔබ්බට …

සුපුන් ළහිරු ප්‍රකාශ්

ශ්‍රී ලංකාවේ වන අලි සංරක්ෂණයේ සහ අලි- මිනිස් ගැටුම් කළමනාකරණයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරමින් හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබීම ප්‍රශංසනීය ය. ඊට අදාළ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2222/62 දරණ අති විශේෂ ගැසට් පත්‍රය 2021 අප්‍රේල් 09 දාතමින් නිකුත්වී තිබේ. වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 2 වන වගන්තියේ (2) වන උප වගන්තිය මගින් පැවරී ඇති බලතල ප‍්‍රකාරව, වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා විසින් “හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය” ප‍්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. අදාළ ගැසට් නිවේදනය ප්‍රකාරව දකුණු සහ ඌව පළාත් වල හම්බන්තොට සහ මොණරාගල (ගැසට් නිවේදනයේ මොණරාගල දිස්ත්‍රික්කය දකුණු පළාතට අයත් ලෙස සඳහන් කර ඇත) යන පරිපාලන දිස්ත‍්‍රික්කවල පිහිටි හම්බන්තොට, සූරියවැව, ලූණුගම්වෙහෙර සහ තණමල්විල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාවලට අයත් හෙක්ටයාර 23746.55 ක භූමි ප‍්‍රමාණයකින් හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය සමන්විත ය.

හම්බන්තොට මහා සංවර්ධන සැලැස්ම මගින් මෙම වන අලි කළමනාකරණ රක්ෂිතය අලි ඇතුන් සඳහා වෙන් කිරීමට යෝජනා කෙරුණේ මීට දශකයකට පමණ පෙර ය (ආසියානු අලි ඇතුන් පිළිබඳ විද්වතෙකු වන ආචාර්ය ප්‍රිතිවිරාජ් ප්‍රනාන්දු මහතා මෙය යෝජනා කලේ ඊටද පෙර සිටය). නමුත් දේශපාලකයින්, ව්‍යාපාරිකයින් සහ රාජ්‍ය නිලධාරීන්ගේ කඹ ඇදීම් හේතුවෙන් එය මෙතෙක් කලක් ප්‍රමාදවූ බව නොරහසකි. එහි ප්‍රතිපලය වූයේ එදා මෙදා තුර තවත් අලි- මිනිස් ජීවිත රැසක් අකාලයේ රටට අහිමි වීම සහ ප්‍රදේශයේ ජන ජීවිතය කබලෙන් ලිපට වැටීමය. මේ මොහොතේද ආණ්ඩුව හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත්කරන්නේ එහි සැබෑ සංරක්ෂණ සහ සමාජාර්ථික අවශ්‍යතාවය වටහාගෙනද නොඑසේ නම් වල්සපුගල ගොවි සංවිධාන නායකයින් තවමත් ගෙන යන (මේ සටහන ලියන විට) අනවරත අරගලය හේතුවෙන් ආණ්ඩුවට එල්ලවූ බලපෑම නිසාද යන්න ගැටළු සහගත ය. මීට නොබෝ දිනකට පෙර රජයේ ප්‍රභල ඇමතිවරයෙකු එම අරගලයට නායකත්වය දුන් ගොවි නායකයින්ට එල්ලකළ ඉතා තුච්ච සහ පහත් චෝදනාව එම කුකුසට එක් සාධාරණ හේතුවකි. කෙසේ නමුත් වන අලි කළමනාකරණ රක්ෂිත වල සැබෑ සංරක්ෂණ සහ සමාජාර්ථික අවශ්‍යතාවය පිළිබඳව ආණ්ඩුව සහ අලි- මිනිස් ගැටුමෙන් බැට කන-නොකන පොදු ජනතාව තේරුම් ගැනීම අත්‍යාවශ්‍ය බව සිතමි.

අලි- මිනිස් ගැටුම ශ්‍රී ලංකාවේ මුළු බිම් ප්‍රමාණයෙන් සියයට හැටක පමණ පුරා පැතිරුණු විශාල සමාජාර්ථික, පාරිසරික හා දේශපාලන ප්‍රශ්නයක් බවට පත්වන්නේ මීට දශක ගණනාවකට පෙර සිටය. 2009 වසරේදී ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධය නිමා වීමත් සමග එය මෙරට ඉහළම ජාතික ප්‍රමුඛතාවය බවට පත්විය. දිවයිනේ පළාත් අටකට අයත් දිස්ත්‍රික්ක 19 ක් පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 131 ක අලි මිනිස් ගැටුම ව්‍යාප්තව පවතී. එමගින් ලොව අලි- මිනිස් ගැටුම් හේතුවෙන් වැඩිම අලි ඇතුන් ප්‍රමාණයක් සහ දෙවැනි වැඩිම මිනිසුන් ප්‍රමාණයක් මරණයට පත්වන රට බවට ශ්‍රී ලංකාව පත්වී ඇති බව ලියුම්කරු ඇතුළු පර්යේෂකයින් පිරිසක් විසින් ඉකුත් වසරේ විද්‍යාත්මක අධ්‍යනයක් මගින් පෙන්වා දුනිමු. පසුගිය දශක හයක පමණ කාලසීමාව තුල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ගැටලුවට විසඳුම් සෙවීමට ප්‍රයත්න දැරුවේ අලි ඇතුන් රක්ෂිත ප්‍රදේශ තුලට ගාල්කර විදුලි වැට ඉදිකිරීමේ දිගින් දිගටම අසාර්ථක ක්‍රමවේදය මගිනි.

නමුත් ශ්‍රී ලංකාවේ දිවි ගෙවන 6000 කට ආසන්න අලි ඇතුන් ජීවත්වන වාසභූමි වලින් සියයට හැත්තෑවක් (70%) පමණ ව්‍යාප්තව ඇත්තේ වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු මගින් පරිපාලනය වන රක්ෂිත ප්‍රදේශ වලින් පිටතය. එම සතුන් වනජීවී රක්ෂිත තුලට ගාල්කර මෙම මහා අරගලයට විසඳුම් සෙවීමට නොහැකි බවත් අලි- මිනිස් ගැටුමට ඇති ප්‍රධානතම විසඳුම වන්නේ රක්ෂිත ප්‍රදේශ වලින් බැහැර පිහිටි එම හස්ති වාසභූමි ආරක්ෂා කිරීම බවත් පර්යේෂකයින් පෙන්වා දුන්නේ අද ඊයේ නොවේ. “වන අලි කළමනාකරණ රක්ෂිත” යෝජනා වන්නේ ඒ සඳහා ය. එහි ආරම්භක පියවරක් වශයෙන් හම්බන්තොට මහා සංවර්ධන සැලැස්ම සකස් කිරීමේදී ප්‍රදේශයේ වනජීවී රක්ෂිත වලින් බැහැරව ජීවත්වූ අලි ඇතුන් 400 ක පමණ ප්‍රමාණයක වාසභූමි “හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය” මගින් ආරක්ෂා කිරීමට පිඹුරුපත් සැකසිණි. ඒ ද මෙම අලි ඇතුන් ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයට ගාල් කිරීමට දරණ ලද අමානුෂික උත්සාහය අසාර්ථක වූ පසුබිමක ය. නමුත් එදා මෙදා තුර දශකයකට වැඩි කාලසීමාවත් තුල එකී “හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය” බෝඩ් ලෑලි වලට පමණක් සීමාවූ අතර එම හස්ති වාසභූමි දේශපාලකයින්ගේ සහ නිලධාරීන්ගේ සහය ඇතිව විවිධ ව්‍යාපාරිකයින් විසින් ආක්‍රමණය කෙරිණි. විවිධ වගා ව්‍යාපෘති, පස් කැනීම්, ගල් කොරි වැනි එකී මෙකී නොකී විනාශකාරී ක්‍රියා හේතුවෙන් වන අලි කළමනාකරණ රක්ෂිතයට අයත් වනාන්තර විනාශවූ අතර එහි ප්‍රතිපලයක් ලෙස ප්‍රදේශයේ අලි- මිනිස් ගැටුම් එන්න එන්නම උත්සන්නවූ ආකාරය අපද අවස්ථා ගණනාවකදී පෙන්වා දුනිමු. අවසානයේදී හම්බන්තොට ජනතාවට තම ජීවිත පරිත්‍යාගයෙන් අරගල කර අලි ඇතුන්ට ඔවුන්ගේ වාසභූමි වෙන්කර දීමට සිදුවන තැනට තත්ත්වය දරුණු අතට හැරිණ.

මූලික වශයෙන් මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කිරීමේ ක්‍රියාවලියේ ගැටළු තිබේ. එහි සහ හම්බන්තොට මහා සංවර්ධන සැලැස්මේ දැක්වෙන අලි කලමනාකරණ රක්ෂිතයේ වපසරිය අතර පැහැදිළි වෙනස්කම් ඇති බව මෙහි දැක්වෙන සිතියම් දෙස බලන ඕනෑම කෙනෙකුට වැටහේ. තවද දැනට ප්‍රකාශයට පත්කර ඇති අලි කළමනාකරණ රක්ෂිතය තුලද මෙතෙක් සිදුකෙරුණු නීති විරෝධී මානව ක්‍රියාකාරකම් අවසන් කිරීමද ආණ්ඩුවට අභියෝගයක් බව නොකිවමනාය. ඒ කෙසේ වෙතත් හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීම ශ්‍රී ලංකාවේ වන අලි සංරක්ෂණයේ සහ අලි- මිනිස් ගැටුම් කළමනාකරණයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරන බව අවිවාදිතය.

ඊට ප්‍රධානතම හේතුව වන්නේ වන අලි සංරක්ෂණය සහ අලි- මිනිස් ගැටුම් අවම කිරීම සඳහා රක්ෂිත වලින් එහා ගිය විකල්පයන් දැකීමට දේශපාලකයින්, නිලධාරීන් සහ ජනතාව යොමු වීමයි. රජය අවංකවම කැපවුණ හොත් රක්ෂිත වලින් බැහැරව ජීවත්වන අලි ඇතුන් ඔවුන්ගේ වාසභූමි තුලම සංරක්ෂණය කිරීම මගින් අලි සම්පතට සහ අලි- මිනිස් ගැටුම් සංසිඳුවීමට ලැබෙන දායකත්වය ප්‍රායෝගිකව දැකගැනීමට ඉඩ ලැමේ. හම්බන්තොටින් එහා දිවයිනේ එවැනි අලි ඇතුන් ජීවත්වන අනෙකුත් ප්‍රදේශ වලද මෙම න්‍යාය ක්‍රියාත්මක කර අලි- මිනිස් ජීවිත වලට අස්වැසිල්ලක් ලබාදීමට හැකියාව ලැබේ.

වන අලි පලවාහැරීම් අඛණ්ඩව සිදුකිරීම සහ අලි ඇතුන් රක්ෂිත ප්‍රදේශවලට සීමා කිරීමට උත්සාහ කිරීම අලි- මිනිස් ගැටුම් උත්සන්න වීමට හේතුවන අතර එමඟින් විශාල ආර්ථික අලාභයක් සිදු වේ. මීට අමතරව, ඉසිළුම් ධාරිතාව ඉක්මවා යාම නිසා අලි රංචු අහිමි වීම රක්ෂිත ප්‍රදේශවල අලි ගහණයට විශාල බලපෑමක් ඇති කරනු ලබයි. අලි රංචු ජාතික උද්‍යානවලට පලවාහැර ඒවා තුලට සීමා කිරීම අලි – මිනිස් ගැටුම් කෙරෙහි බලපෑමක් ඇති නොවන්නේ ගැටුම් ඇතිකරන පිරිමි සතුන් බහුතරයක් පලවාහැරීම් මගින් ඉවත් කිරීමට නොහැකි බැවිණි.

නමුත් එහි ප්‍රතිපලයක් ලෙස අලි රංචු අහිමි වීම වන අලින් නැරඹීම පදනම් කරගත් සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායමට විශාල බලපෑමක් ඇති කරනු ඇත. වර්තමානයේ, ශ්‍රී ලංකාව ආසියානු අලි ඇතුන් නැරඹීම සඳහා ලොව ඇති හොඳම සංචාරක ගමනාන්තයයි. කෙසේ වෙතත්, මේ වන විට එම කරුණ පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමුවී නොමැති අතර නිසි ආකාරයෙන් ප්‍රවර්ධනය කර නැත. වන අලි කළමනාකරණ රක්ෂිත තුල පවා වන අලින් නැරඹීම පදනම් කරගත් සංචාරක ව්‍යාපාරය නිසි ලෙස ප්‍රවර්ධනය කිරීමෙන් රටට සැලකිය යුතු ආදායමක් උපයා ගත හැකි අතර එය ආශ්‍රිත ප්‍රජාවගේ ආර්ථිකයටද අස්වැසිල්ලකි.

වන අලි කළමනාකරණ රක්ෂිත සියලු රෝග නිවාරණය සඳහා විශ්මකර්මයෙකු නොවේ. නමුත් එය නිසි පරිදි අවංක චේතනාවෙන් යොදා ගැනීම මගින් වන අලි සංරක්ෂණය සහ අලි- මිනිස් ගැටුම් කළමනාකරණය සඳහා වන පුළුල් ජාතික වැඩපිළිවෙලක විශාල පරාසයක් ආවරණය වේ. එබැවින් හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීම ශ්‍රී ලංකාවේ වන අලි සංරක්ෂණයේ සහ අලි- මිනිස් ගැටුම් කළමනාකරණයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරන බව කිවමනා ය.

සුපුන් ළහිරු ප්‍රරකාශ්

 

leave a reply