Breaking News

යුධ අපරාධ සිදුවූ බව නොපිළිගන්නා ආණ්ඩුවක් මානව හිමිකම් ගැටළු විසඳයිද?

ලංකාවේ යුද අපරාධ සිදුනොවූ බව ආරක්ෂක නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකර
පුවත්පතකට අදහස් දක්වමින් පවසා තිබේ.

යුද්ධයකදී නොවිය යුතු දේවල් සම්බන්ධව මතයක සිටින නමුත් ඉන් අදහස් කරන්නේ යුද අපරාධ යන විශේෂිත මාතෘකාව යටතේ නොවන බවත් යුද්ධයක් ක්‍රියාත්මක වන විට යම් දේවල් සිදුවීම සාමාන්‍ය දෙයක් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

කෙසේ නමුත්, ඉන් ලංකාවේ හමුදාව යුද අපරාධ කළා යැයි අදහස් නොකරන බව ද ඔහු පෙන්වා දුන්නේය. “ඉරිදා මව්බිම” පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.

එහිදී මේ දිනවල පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සැසියේදී රටට බරපතළ චෝදනා කිහිපයක් එල්ල වීමට නියමිත බවත් ඒ පිළිබඳව දැනුවත්ද යන්න විමසූ විට ඔහු ලබාදුන් පිළිතුර මෙසේය.

“ඒ ගැන දැනුවත්. සාමාන්‍යයෙන් පසුගිය මාස 11ක කාලය තුළ අපේ ආණ්ඩුව පිහිටු වූ පසු අපි විසින් සංහිඳියාව, ජාතීන් අතර සමඟිය වැඩිදියුණු කරන්න වගේ ම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න.

නීතිය හා සාමය පවත්වාගෙන යන්න අපි කරලා තියෙන ප්‍රතිපත්තිමය තීන්දු තීරණවලින් සත්‍ය වශයෙන් ම වෙනසක් සමාජයේ වෙලා තියෙනවා. දැන් මොන බරපතළ චෝදනා දැම්මත් අපි පෙන්වා තිබෙනවා මාස එකොළහට කරල තියෙන කටයුතු ගැන.”

පසුගියදා මානව හිමිකම් සැසිය අමතමින් විදේශ කටයුතු ඇමති විජිත හේරත් පැවසුවේ මෙරට සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා යෝජිත කවරාකාරයේ හෝ බාහිර මැදිහත්වීමක් හෝ යාන්ත්‍රණයක් නොපිළිගන්නා බවයි. දේශීය යාන්ත්‍රණයක් හරහා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් විමර්ශනය කරන බව ඔහු පැවසිය. ලංකාව තුළ යුධ අපරාධ සිදුවූ බව නොපිළිගන්නා ආණ්ඩුවක් මානව හිමිකම් උල්ලංඝනයන්වලට විසඳුම් ලබා දේවිදැයි යන සැකය පවතී.

leave a reply