Breaking News

“කිසිවක්ම සිදු නොවන දශක තිබේ; දශක සිදු වන සති තිබේ” – ව්ලැඩිමීර් ලෙනින්

සුමිත් චාමින්ද

“There are decades where nothing happens, and there are weeks where decades happen.” — Vladimir Lenin.
කොරෝනා අර්බුදයේ ගෝලීය සහ ජාතික දේශපාලන ගම්‍යතා පිළිබඳ සංක්ෂිප්ත සටහන් කිහිපයක්..,

  • යානීස් වරූෆකීස් පවසන පරිදි, වත්මන් අර්බුදයේ පරිමාව සැසඳිය හැක්කේ 2007-2009 සමග නොව 1929 සමගය.

  • ලෝක වෙළඳ සංවිධානය (WTO) පවසන පරිදි ජාත්‍යන්තර වෙළඳාම 32% දක්වා ප්‍රමාණයකින් පහත වැටිය හැකිය. ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ගණනය කිරීම් අනුව, මෙම අර්බුදයෙන් ගෝලීය ආර්ථිකයට සිදු වන සමස්ත පාඩුව ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන 2-4 ප්‍රමාණයකි. ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය පිළිබඳ සංවිධානයට (OECD) අනුව, ගෝලීය ආර්ථික වෘද්ධිය අඩකින් පහත වැටෙනු ඇත. එක්සත් ජනපදයේ ආර්ථික ප්‍රතිපත්ති ආයතනයේ (EPI) ගණනය කිරීම්වලට අනුව 1929 මහා අවපාතයෙන් පසුව එරට වාර්තාගත වැඩිම විරැකියා ප්‍රතිශතය දැනටමත් වාර්තා වී ඇත. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) තක්සේරුවට අනුව, අප්‍රේල් 07 වනදා වන විට ලෝකයේ ශ්‍රමිකයන් බිලියන 1.25 (එනම් සමස්ත ශ්‍රමික ජනගහණයෙන් 38%) දැන් නිෂ්පාදනය බිඳ වැටෙන හෝ අවදානම් සහිත ක්ෂේත්‍රවලට අයත්ය. මෙයට එකතු කළ යුතු කාරණයක් නම් නව-ලිබරල් ප්‍රවේශය අනුව, අවිධිමත්, අර්ධ සහ කොන්ත්‍රාත් පදනම යටතේ පවතින රැකියා ප්‍රවණතාත්මක ලෙස වැඩි වීම හමුවේ වන්දි ගෙවීමකින් තොරව රැකියා අහිමි වන ශ්‍රමිකයන් ප්‍රමාණය අති විශාල වනු ඇති බවයි.

  • නව-ලිබරල්වාදයේ යුගය පැහැදිලිවම අවසන්ය. එහි තැන ගනු ඇතැයි සිතිය හැක්කේ (බොහෝ දුරට) අධිකාරීමය ධනවාදයයි (authoritarian capitalism).

  • නව සමුච්චන බලාධිකාරයන් (regime of accumulation) තුළ රාජ්‍යයේ භූමිකාව යළි අවධාරණය කෙරෙනු ඇත.

  • මෑතකදී ඩේවිඩ් හාවී පවසා තිබූ ලෙස ඉදිරියේදී ඇතැම් බටහිර ආර්ථිකයන්ට තම සමතුලනය පවත්වා ගැනීම සඳහා ඇතැම් විට බර්නි සැන්ඩර්ස් යෝජනා කළ ප්‍රතිසංස්කරණවලටද වඩා දුර යන්නට සිදු වනු ඇත!

  • “සියලු දෙනාට වෛද්‍ය සේවය” (medicare for all) යන සැන්ඩර්ස්ගේ සටන් පාඨය නුදුරු අනාගතයේ නව ගෝලීය සමාජ ව්‍යාපාර විසින් වැළඳගනු ඇත. (ගෝලීය පොදු සෞඛ්‍ය සේවයක් පිළිබඳ ස්ලේවෝයී ශිෂෙක්ගේ අදහසද එසේය).

  • අනෙක් අතින්, පාලක ස්ථර මෙයට ප්‍රතිචාර දක්වනු ඇත්තේ අන්ත-දක්ෂිණාංශික ජනතාවාදය විසින් පෙරට ගෙන ආ ආර්ථික ආරක්ෂණවාදය වඩා ශක්තිමත් කිරීමෙන් විය හැකිය. එවිට අධිකාරීවාදී ස්වදේශිකවාදය පාලක දෘෂ්ටිවාදයක් ලෙසත්, ගෝලීය සහයෝගීතාව වාමාංශික ප්‍රගතිශීලී සටන් පාඨයක් ලෙසත් ඉස්මතු විය හැකිය. නව-ලිබරල් යුගයේදී ගෝලීයකරණ-විරෝධය වාමාංශය පිළිබඳ ජනප්‍රිය හඳුනා ගැනීමක් වී නම්, ඉදිරියේදී වාමාංශය අනන්‍ය වනු ඇත්තේ විකල්ප ගෝලීයකරණයක් පිළිබඳ තේමාව වටා විය හැකිය.

  • දේශපාලනික තලයෙහි අර්බුදයේ ප්‍රධාන ගම්‍යතාවක් වනුයේ පාලක ස්ථරවල හෙජමොනිය පවත්වා ගන්නේ කෙසේද යන්නයි. ප්‍රබල වාමාංශික ව්‍යාපාරයක් ගොඩ නැගී නොමැති තත්ත්වයන් තුළ මෙම ඓන්ද්‍රීය අර්බුදයට විසඳුම ලෙස බොහෝ විට ස්වදේශිකවාදයේ සළුපිළි පැළඳ ගත් ඒකාධිපතිවාදයන් සහ මිලිටරිවාදයන් පෙරට එනු ඇත. ගෝලීය දකුණේ රටවල මෙම අනතුර වඩා බරපතලය. (ලංකාවේ එම හැරවුම සලකුණු වූයේ පසුගිය ජනාධිපතිවරණයෙනි. කොරෝනා අර්බුදයෙන් එය තීව්‍ර සහ වේගවත් වීමට විශාල ඉඩක් පවතී).

  • ජියෝජි අගම්බෙන්ගේ ව්‍යතිරේඛීය තත්ත්වය (state of exception) සාමාන්‍ය තත්ත්වය බවට පරිවර්තනය වීමේ අදහස කලින්ට වඩා අදට අදාළ වේ.

*මින් ඉදිරියට ලිබරල් සහ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් පිළිබඳ ප්‍රබුද්ධත්ව උරුමය පෙරට ගෙන යාමේ ගෝලීය ඒජන්තයා වනු ඇත්තේ (බොහෝ දුරට) වාමාංශයයි. මැක්ස් හෝර්කයිමර් සහ තියොඩෝර් ඇඩෝනෝ “ප්‍රබුද්ධත්වයේ දයලෙක්තිකය” (1972) තුළ පැවසූ පරිදි ප්‍රබුද්ධත්වයේ අධිකාරීමය තර්කණය බැහැර කොට එහි විමුක්තිවාදී තර්කණය පෙරට ගන්නා මගක් සෙවීම වමේ කාර්ය භාරයකි.

  • එක්සත් ජනපදයේ බර්නි සැන්ඩර්ස් අවසානයේදී ජෝ බයිඩන්ට සහාය දැක්වුවද, ඔහු වටා ගොඩ නැගුණු තරුණ රැඩිකල් බලවේගය බොහෝ දුරට ඉදිරි වසරවලදී එරට ප්‍රධාන ධාරාවේ පක්ෂ දේශපාලනයෙන් පරිබාහිරව සංවිධානය වන නව සමාජ ව්‍යාපාරයක පස සැකසීමට ඉඩ තිබේ. එක්සත් රාජධානියේ ජෙරමි කෝබින් වටා ගොණු වූ තරුණ බලවේගයද ඒ මග ගත හැකිය. මේ නව දේශපාලන ධාරාවේ මූලයන් වෝල් වීදිය අල්ලා ගැනීමේ ව්‍යාපාරය දක්වාත්, ලන්ඩනය අල්ලා ගැනීමේ ව්‍යාපාරය දක්වාත්, ඉනුත් ඈතට සියැටල්හි ලෝක වෙළඳ සංවිධානයට එරෙහි විරෝධතාව දක්වාත් දිවෙයි. කාලගුණ විපර්යාසයට එරෙහි මෑතකාලීන යෞවන අරගලයේ ක්‍රියාකාරීන්ද නිසැකවම නව නායකත්වයක් සොයනු ඇත.

  • යුරෝපා සංගමයේ පරිවාරයේ පිහිටි රටවල් (ග්‍රීසිය, ස්පාඤ්ඤය සහ ඉතාලිය ඇතුළුව) එයින් වෙන්ව යාමේ ප්‍රවණතා වත්මන් අර්බුදය සමග වේගවත් විය හැකිය. අනෙක් අතින්, කලාපීය (සහ ගෝලීය) සහයෝගීතාවේ වැදගත්කම බොහෝ දුරට වාම පාර්ශවයෙන් මතු කෙරෙනු ඇත.

  • යුරෝපා සංගම් ව්‍යාපෘතියේ දුබලතාව හමුවේ චීනය (දෙවන ලෝක යුද්ධයෙන් පසුව එක්සත් ජනපදය කළාක් මෙන් ඉතාලිය ඔස්සේ) යුරෝපාකරයට මැදිහත් වීමට ඇති අවකාශය ඉමහත්ය.

  • චීනයේ තීරු සහ මාර්ග ව්‍යාපෘතිය (BRI), ආසියානු අධෝ ව්‍යුහමය ආයෝජන බැංකුව (AIIB), බ්‍රික්ස් එකතුව (BRICS), ෂැන්හයි සහයෝගීතා සංවිධානය (SCO), සහ රුසියා-චීන උපාය මාර්ගික වැඩ පිළිවෙල ඉදිරියේදී වඩා ශක්තිමත් වීමට ඉඩ තිබේ.

  • පිලිපීන-චීන ද්වි-පාර්ශ්වික සහයෝගීතාව සමග දකුණු චීන මුහුදේ ඊනියා නව තෘෂ්නි යුද්ධය චීනයට වාසිදායක අතට හැරෙන්නට ඉඩ ඇත. කෙසේ වුවද, එය අවසන් වශයෙන් රඳා පවතින්නේ වත්මන් අර්බුදය එක්සත් ජනපදය කෙරෙහි ඇති කරන බලපෑමේ පරිමාව මතත්, එක්සත් ජනපද හෙජමොනියේ බිඳ වැටීමේ ප්‍රමාණය මතත්ය.

  • චීනය සමග ගෝලීය දකුණේ රටවල් ගොඩ නගා ගනිමින් පවතින්නේ ආර්ථික පරායත්තතා මොඩලයේ සම්බන්ධතා ජාලයකි. එය තනනු ඇත්තේ අධිකාරීමය ලක්ෂණ සහිත ගිවිසුම් සංවිධාන ක්‍රමයකි. මෙම පරායත්තතා මොඩලයට ඔබ්බෙන් යන නව ගෝලීය පර්යායක් ගොඩ නැගීමට අවශ්‍ය හෙජමොනික යාන්ත්‍රණ නිර්මාණය කර ගැනීමේදී චීනය දැනට එතරම් සමත්භාවයක් පෙන්වා නැත. (රොබර්ට් කොක්ස්ගේ මොඩලයට අනුව, ගෝලීය පර්යායක් සඳහා භෞතික බලයට අමතරව අදහස්වල ආධිපත්‍ය සහ ආයතන අවශ්‍ය වේ).

  • ගෝලීය බල අසමතුලිතතාව හමුවේ “තුසීඩයිඩීස් උගුල”, එනම් යුද්ධයක නොවැලැක්විය හැකි බව, කෙසේ විසඳේද යන ප්‍රශ්නය තීව්‍ර ලෙස මතු වනු ඇත. කාලගුණ ව්‍යසනය හැරුණු කොට මෙය ඉදිරි ගෝලීය දේශපාලනයේ ප්‍රමුඛ ගැටළුවක් විය හැකිය.

  • වත්මන් අර්බුදය තුළ බලවත් රටවල් බොහොමයක් තම අභ්‍යන්තර පැවැත්ම කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වන අතර විශේෂයෙන්ම මැද පෙරදිග කලාපයේ ආගමික අන්තවාදී ව්‍යාපාර කලාපීයව නැවත සංවිධානය වීමේ අනතුරක් උද්ගත විය හැකිය.

  • එක්සත් ජනපද හෙජමොනිය බිඳ වැටෙමින් තිබේ. ලිබරල් ජාත්‍යන්තර පර්යාය අර්බුදයට පත්ව ඇත. නමුත්, විකල්ප ලෝක පර්යායක් ගොඩ නැගී නොමැත. මේ අනුව, ගෝලීය හෙජමොනිය පිළිබඳ බලවතුන්ගේ අරගලය නව රූපාකාරවලින් මතුවනු ඇත.

  • බොහෝ විට, ශන්තාල් මූෆ් ඇයගේ “Agonistics” (2013) කෘතියේ පැවසූ ආකාරයේ බහු-ධ‍්‍රැවීය ලෝක පර්යායක් පිළිබඳ අදහසට නව වලංගුතාවක් ලැබෙනු ඇත. අන්තෝනියෝ නෙග්රි සහ මයිකල් හාඩ්ගේ “අධිරාජයෙකුගෙන් තොර (නව-ලිබරල්) අධිරාජ්‍යය” පිළිබඳ අදහස තව දුරටත් වලංගු යැයි සිතිය නොහැක. ඒ වෙනුවට ඩේවිඩ් හාවී කළ ලෙස නව-ලිබරල්වාදය යම් සුවිශේෂී හෙජමොනික ව්‍යාපෘතියක් ලෙස තේරුම් කිරීම ඒත්තු යන සුළුය. ඒ අනුව, දැන් ප්‍රශ්නය වනුයේ නව-ලිබරල් හෙජමොනික සැකසුමේ අර්බුදය සමග එහි තැන ගන්නා නව ඓතිහාසික හවුල කුමක්ද යන්නයි.

  • නයෝමි ක්ලේන් අපේක්ෂා රඳවන්නේ 1929 ආර්ථික අර්බුදයට පසුව ජනාධිපති ෆ්රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට් හට “නව සම්මුතිය” (New Deal) ඉදිරිපත් කරන්නට සිදු වූ පරිදි 2020 අර්බුදය “හරිත නව සම්මුතියකට” (Green New Deal) මග පාදන බවයි. (මෙය යානීස් වරූෆකීස් ගේ DiEM-25 ව්‍යාපාරයේද සටන් පාඨයයි). කෙසේ වුවත්, මෙය හෙජමොනික අරගලය මගින් අත්පත් කර ගත යුතුව ඇති දෙයක් මිස අනිවාර්යතාවක් නොවේ.

  • ඒ අනුව, බොහෝ විට ජාත්‍යන්තර සබඳතා න්‍යාය තුළ රොබර්ට් කොක්ස්ගේ ගෝලීය ප්‍රති-හෙජමොනිය පිළිබඳ අදහසටද නව-වලංගුතාවක් ලැබිය හැකිය.

  • ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉරණම සම්බන්ධයෙන් බාහිර සාධකවල වැදගත්කම තවත් වැඩි විය හැකිය. ලිබරල් ජාත්‍යන්තර පර්යායේ බිඳ වැටීම තුළ මෙරට ලිබරල් සිවිල් සමාජ කණ්ඩායම් වඩාත් අසීරුතාවකට ලක් වනු ඇත.

  • නමුත්, මෙරට (ක්‍රියා පටිපාටිමය) ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට අදාළ බාහිර සමීකරණ අඩු තරමින් තුනක් පවතී. එනම් (1) ලාංකීය දෙමළ දේශපාලන නායකත්වය සහ ඉන්දීය රජය අතර සමතුලනය පවත්වා ගන්නට විපක්ෂ බලවේග දක්වන සමත්කම (2) ඉන්දු පැසිෆික් කලාපයේ චීනයේ බල ව්‍යාප්තිය පාලනය කර ගන්නට එක්සත් ජනපදය සහ ඒ හා සම්බන්ධ ගෝලීය ආයතන පද්ධතිය දක්වන උත්සුකය සහ ඔවුන් එහිදී සමත් වන ප්‍රමාණය. (3) එක්සත් ජනපදය, ඉන්දියාව, යුරෝපීය රටවල් සහ ගෝලීය මූල්‍ය ආයතන සමග ශ්‍රී ලංකාව දක්වන ආර්ථික පරායත්තතාවේ මට්ටම.

  • ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ “රාජ-පක්ෂය” එක්සත් ජාතික පක්ෂයට වඩා සාපේක්ෂව ප්‍රගතිශීලීය යන අවස්ථාවාදී න්‍යාය (එසේම එහි විලෝමය) මෙම නව තත්ත්වය යටතේ භයානක විහිළුවක් ලෙස ගත යුතුව ඇත. ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයේ නව-ලිබරල්වාදී සංස්ථාපිතය රාජපක්ෂ තන්ත්‍රය සමග එක් වීමේ ඉඩකඩක්ද පවතී.

  • කෙසේ වුවත්, ශ්‍රී ලංකාව තුළ ඇතැම් ලතින් ඇමෙරිකානු සහ අප්‍රිකානු රටවල වැනි සෘජු මිලිටරි පාලනයක් නිර්මාණය වීමට ව්‍යුහාත්මක හැකියාවක් නොමැත. (මේ අයුබ් ඛාන්ගේ සිට පර්වේස් මුෂාරෆ් දක්වා පැවති පාකිස්ථානය නොවන අතර සියාවූර් රහ්මන්ගේ හෝ මුහමඩ් එර්ෂාඩ්ගේ බංගලාදේශයද නොවේ). ඒ වෙනුවට මෙරට නිර්මාණය විය හැක්කේ බොහෝ විට නියෝජන ප්‍රජාතාන්ත්‍රික ආයතන සමග සමගාමීව ක්‍රියාත්මක වන අධිකාරීමය ලක්ෂණ රැගත් පාලනාධිකාරයන්ය.

  • අර්බුද සමයකදී සිදුවීම්වල වේගය නොසිතූ විරූ ස්වභාවයක් ගනී. ලෙනින් කියූ පරිදි එළැඹෙමින් ඇත්තේ “දශක සිදුවන සති” ය. සෝවියට් කඳවුරේ බිඳ වැටීමට සහ “ඉතිහාසයේ අවසානයේ” දශකයට සාක්ෂි දැරූ පරපුරට ඇතැම් විට ඒ දෙකටම වඩා ප්‍රබල ඓතිහාසික ඛණ්ඩනයේ සිද්ධි දාමයකට සාක්ෂි දරන්නට සිදු වනු ඇත.

  • කෙසේ වුවද, මේ අර්නෙස්ටෝ ලැක්ලාවූගේ වචනයෙන් කිව හොත්, අවිනිශ්චිතතාවේ නිමේෂයකි. අනාගත ලෝකය සැකසෙනු ඇත්තේ මේ නිමේෂයෙහි කෙරෙන හෙජමොනික මැදිහත් වීම් මගිනි.

  • නිරෝධාන සමයෙන් පසුව අප නිවෙස්වලින් පිටත්ව ගොස් ඇතුල් වනු ඇත්තේ වේගයෙන් වෙනස් වන, නැවත සැකසෙන ලෝකයක් වෙතය. ඒ ලෝකය ගැන දැක්මක් ගොඩ නගා ගත හැක්කේ ගෝලීය ඇසකින් එදෙස බැලීමෙන් පමණි. මේ යුගයේ දේශපාලනය ජාත්‍යන්තර සම්බන්ධතා විෂය ක්ෂේත්‍රයෙන් තොරව වටහා ගත නොහැකිය.
    නිරෝධායන සමය යනු අලස බවේ කාල පරිච්ජේදයක් නොව හැකි තරම් වේගයෙන් හැදෑරිය යුතු, සිතිය යුතු, වැඩ කළ යුතු කාල පරිච්ජේදයකි.

(ඉහත එක් එක් කරුණ අළලා ඉදිරියේදී ලිපි පෙළක් ලිවීමට බලාපොරොත්තු වෙමි. එහි පළමු ලිපිය මේ සතියේ “රාවය” පුවත්පතේ සහ “රාවය” වෙබ් අඩවියේ පළ වනු ඇත).

සුමිත් චාමින්ද

 

leave a reply