Breaking News

එක ළඟට දෙකමද ?

අරුණි සමරකෝන්

මා මිත්‍ර ප්‍රියාන් ආර් විජේබණ්ඩාර විසින් රචිත යොවුන්  සාතිත්‍ය කෘතියකි, එක ළඟට දෙක නොවෙයි. එහෙත් මෙම ලිපිය ඒ පිලිබඳ ව නොවේ. මෙය ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලබන “එක/ කේවල “දේශපාලන ප්‍රතිපත්තිය සහ එයට ප්‍රතිචාර දක්වමින් ක්‍රියාත්මක විකල්ප දේශපාලනය ගැන ස්ත්‍රී විඥානය දකින ආකාරය පැහැදිලි කිරීමකි .

2015 රාජපක්ෂ රෙජීමය මැතිවරණය හරහා පරාජය වුවද අපරාජිත නොවූ දේශපාලන දෘෂ්ටිවාදයක් විය. එනම් “මම තමා එකම විසදුම/ මම හැර විකල්පයක් නැත “. බහුතරයක් පවසන ලිබරල්වාදී රනිල් වික්‍රමසිංහ ගේ දායකත්වයෙන් තොරව ආර්ථික කළමානාකරණයක් නොමැති බවට පවතින අන්ධ විශ්වාසයේ සිට , වීරයා මමයි, එනිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය මටයි ලෙස පවසමින් , රටට හෝ ජනයාට ප්‍රථම පක්ෂය ට නව ජීවයක් දීමට උත්සුක වූ මෛත්‍රීපාල සිරිසේන ගෙන් ද නොනැවතී නන්දසේන ගෝඨාභය රාජපක්ෂ දක්වාම පවතින දේශපාලනයේ කේන්ද්‍රය “මම හැර ක්‍රමයක් නොමැති ” බවය. මෙයටම, මම හිටපු විමුක්ති කොටි සාමාජිකා සිවකාමි සිවසුභාමනියම් හෙවත් තමිලිනි ලිවූ බවට සැලකෙන තියුණු අසිපතක සෙවන යට කෘතියේ  සදහන් කියමනක් සිහි කන්දවමි. “සැවොම සිතා සිටින්නේ , මගේ අතේ හැමදේම තිබේ  කියා. එය එසේ නොවේ. ඔහු (විමුක්ති කොටි නායක ප්‍රභාකරන් ) තම හිස් අත්ල දිග හැර පෙන්විය”. හැටනව ලක්ෂ විසිහතර දහස් දෙසිය පනස් පහක් එනම් 52.25% ජන්දය ලබා දෙන්නේ ද නන්දසේන ගෝටාබය රාජපක්ෂ, ගෝටා සර් ට හැර මෙම රට ගොට නැගීමට කිසිවෙකුට නොහැකිය යන තරයේ විශ්වාසය මතය. පසුගිය කාලයේ මාගේ පර්යේෂණ අවශ්‍යතාවයක් හේතුවෙන් සමාජ ජාලා හි ගෝටාබය රාජපක්ෂ වෙත සහයෝගය පල කිරීම වෙනුවෙන් යොදාගත් මැතිවරණ ප්‍රචාරක memes එකතු කලෙමි.

ඒවායේ සදහන් ආකාරයට ඔහු

  1. කලවම් ලේ රහිත වීම (කලවම් ලේ හි වරණය සහ එම ලේ හඳුනා ගැනීමේ තාක්ෂයක් මට නොමැත)
  2. මව් බිම දිවි දෙවනුව රැකීම

3.රටේ පලවෙන නිදහසේ හුස්ම

4.වැරැද්දක් කිරීමේ දී මුලින් ම පාරට බැසීම

  1. වටේ ඉන්න අයට නටන්න නොදීම (දේශපාලනික ව තමන්ගේ න්‍යාය පත්‍රයට පමණක් වැඩ කිරීමට ඉඩ නොදීම ) යනාදී චරිතාංගයන් ගෙන් සමන්විත වීම තම ජන්දය භාවිතා කිරීමට හෙතුවක් ලෙසට පැහැදිලි කර ඇති මෙම memes හරහා ද බරපතලවද පවසන්නේ ඒකීය පුද්ගල චරිතයක් හැර මෙරට ආණ්ඩු කිරීමක් සාර්ථක විය නොහැකි බවය.

මෙම කේවල චරිත නායකයන් බවට ගොඩ නැගීමේ ප්‍රතිපලය නම් , එම චරිත තම ශරීරයේහි මුද්‍රණය කරගන්නා ශ්‍රාවක/ ශ්‍රාවිකා සමාජයක් බිහිවීමය. මෙහි භයානකත්වය නම්, මේ ගෙවෙන මොහොතේ  අනුර කුමාර දිසානයාකය ද මෙම උගුලට පැටලවීමේ හැකියා වෙන් යුතු බවට පෙනී යාමය. පවතින කේවල චරිත ක්‍රමයට දක්වන ප්‍රතිචාරයක් ලෙස අනුර හැර අනාගතයක් නොමැති බවට මතු වීම හරහා පෙනීයන්නේ කේවල චරිත දේශපාලනය ට ආදේශනයක් මිස පරිවර්තනයක් ගෙන නොඑන බවය. සජිත් ප්‍රේමදාස සහ පාටලී චම්පික රණවක පිළිබද හමුවන්නේ ද එම කියවීම පමණි.

මෙම දේශපාලනයේම දිගුවක් ලෙස  , ගලබොඩඅත්තේ ඥාසාර භික්ෂුව ප්‍රමුක වූ “එක රටක් – එක නීතියක් ” ලෙසට පසුගිය දින පත් කළ ජානාධිපති කාර්ය සාධක බලකාය හැදින්විය හැකිය (https://www.business-standard.com/article/international/lankan-prez-appoints-task-force-led-by-monk-for-one-country-one-law-121102701086_1.html). ගලබොඩඅත්තේ ඥාසාර භික්ෂුවගේ පත්කිරීම ප්‍රශ්න කරමින් බොහෝ රචනා ඉදිපත් වූ අතර එමඟින් මුස්ලිම් ප්‍රජාව  වෙත භිෂණය මුදා හැරීමට කටයුතු කිරීමේ පෙළපත නැවත කියවා අලුත් කරගැනීම ට හැකියාවක් විය. එහෙත් එම භිෂණය මුදාහැරිම හේතුවෙන් ජිවිත සහ දේපළ අහිමි වූ අලුත්ගම, දර්ගා නගර සහ මහනුවර දිගන මුස්ලිම් ජනයා අදට ද  යුක්තිය අහිමි ව සිටි (https://www.bbc.co.uk/news/world-asia-27885824).

ගැටලුව ඇත්තේ එලෙස භිෂණය හරහා තම අභිප්‍රායන් ඉටුකරගනු ලැබූ භික්ෂුවක මෙම කාරය සාධක බලකායේ නායකත්වය ට පත් කිරීම පමණක්ම නොවේ. එක් අතකින්  භීෂණයෙන් දේශපාලන අවශ්‍යතා ඉටුකරගැනීම ශ්‍රී ලංකා වේ බලයේ සිටින / නොසිටින සියලුම දෙනාගේ වැඩසටහන් හි තිබී ඇත. අනෙක් අතට මෙම පත් කිරීම හරහා ප්‍රශ්න ගත වන්නේ ශ්‍රී ලංකාවේ මුලික නිතිය නොවේද ? ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වේ අංක 12 (1) වගන්තියට අනුව “නිතිය ඉදිරියේ සියලුම දෙනා සමානවන අතර සැමට නීතියේ රැකවරණය සමානව හිමි වේ ” එසේම 12 (2) ට අනුව කිසිදු පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව , කුලය , ලිංගිකත්වය, දේශපාලන මතය, උපන් ස්ථානය යනාදී වූ පදනම් මත වෙනස් කොට සැලකීමකට ලක් නොකළ යුතුය (https://www.parliament.lk/files/pdf/constitution.pdf). මෙවැනි මුලික නීතියක් පවතින විට නැවත කාර්ය සාධක බලකායක් අවශ්‍ය වන්නේ කුමක් වෙනුවෙන් ද ?

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විධායක ජනාධිපති වෙත යවන  2021 නොවැම්බර් 02 යවන ලිපියේ හි මෙසේ සදහන් වේ . “ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන වගන්ති ප්‍රකාරව ජනාධිපති වෙත පවරන ලද බලයමත  පත් කරන ලද එක් රටක් -එක් නීතියක් සදහා වන ජනාධිපති කාර්ය  සාධක බලකාය වෙත පැවරෙන කර්තව්‍ය නම්, එක් රටක් -එක් නීතියක් යන සංකල්පය ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කිරීමට හැකිවීම පිලිබඳ අධ්‍යනය සහ ඒ වෙනුවෙන් නීති කෙටුම්පතක්  යෝජනා කිරීම සහ  මේ වන විටද අධිකරණ අමාත්‍යංශය  විසින් මෙම අරමුණ වෙනුවෙන් යෝජිත කෙටුම්පතෙහි අනුරුපිභාවය සොයා බලා ඒ වෙනුවෙන් අතුරු යෝජනා ඉදිරිපත් කිරීමත්ය. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ම මේ වෙනුවෙන් නීති රාමුව සපයන අවස්ථාවක ද පාර්ලිමේන්තු කාරක සභා (The Sectoral Oversight Committees  සහ Standing Committees ) මඟින් ද නීතියේ සමානාත්මතාවය තහවුරු කිරීම වෙනුවෙන් යාන්ත්‍රයක් පවතින විට මෙම බලකාය පත් කිරීමේ අභිප්‍රාය තේරුමක් සහිත වේද ? ” (https://www.newsfirst.lk/2021/11/02/no-useful-purpose-from-one-country-one-law-task-force-basl/).

මෙසේ ජනාධිපතිවරයා විසින් රටේ මුලික පදනම වන නිතිය අභියෝගය ට ලක් කිරීම බැරෑරුම් ක්‍රියාවකි. නිතිය පවතින විට, ඕනෑම අවස්ථාවක, ආගමික ස්ථාන වෙත බලහත්කාර ලෙස කඩා වදිමින්, විවිධ දේශපාලන මතයක්  දැරීම හේතුවෙන් ත්‍රාසයට පත් කිරීම ට නොහැකි විය යුතුය. එසේම ආණ්ඩුවේ සහ සිවිල් බල සේනා අතර එකඟතාවන් ඇතිකිරීම හරහා පෙනී යන්නේ ද ප්‍රචණ්ඩකාරී හැසිරීම වෙන්වෙන් ආදල පාර්ශව එකිනෙකා රැකගැනීමට කටයුතු කිරීමය.

අනෙක් කරුණ නම් එකක් බව කියමින් දෙකක් ගැන කතා කිරීමේ ද්විමය භාවයයි.  උදාහරණ ලෙස  2021  එකසත් ජනපදයේ ගල්ස්ගෝ නුවර පැවැත්වෙන එකසත් ජාතීන්ගේ කාලගුණික ව්‍යපර්යාස සමුළුවට සහභාගීවෙමින් , ශ්‍රී ලංකා ජනාධිපති පවසන්නේ,  “පාරිසරික පුර්ණත්වය පිළිබද ශ්‍රේෂ්ඨ  සාරධර්මයන් , බුදුන්වහන්සේ ගේ උගැන්වීම් හරහා ලත් පෝසත් දාර්ශනික උරුමයක් අපට වන බවය. අපගේ ජාතික ප්‍රතිපත්ති යේ හදවත තිරසාරභාවය බවය. 2050 වන විට ශ්‍රී ලංකාව කාබන් දහනය මධ්‍යස්ථ වීම සහ 2030 වන විට ශ්‍රී ලංකාවේ වන ඝහනය 7% කින් වර්ධන කරන බවත් පොරොන්දු වන අතර එම වසර වන විට පුනර්ජනිය  බලශක්ති භාවිතය වෙත 70% ක යොමු වීමත්, රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතය  සිමාකිරිම  සහ කාබනික වගාව වෙත යොමු වීමටත්  ඔහුගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුව කටයුතු කරන බවය ” (https://mfa.gov.lk/president-world-leaders-summit-of-cop26/). එකක් පිලිබඳ පමණක් අවධානය යොමුවීම හේතුවෙන්, කාලගුණික ව්‍යපාරාසය වෙත මහා පරිමාණ කම්හල් නිෂ්පාදන දායක වීම පිලිබඳ ජනාධිපති නොසලකා හැර ඇත. රතුපස්වල පානීය ජලය වෙත රාසයනිකද්‍රව්‍ය මුසු වීමේ ඉතිහාසය වර්තමානය තුල නැවත විවිධ ප්‍රදේශ හරහා ගොඩ නැගී නොමැති ද ?

නිශ්චිතව තහවුරු නොවූ තාක්ෂනික නිෂ්පාදනයක් වූ නැනෝ රාසයානික දියර මගින් සිදුවන යහපත -අයහපත පිළිබද විශ්ලේෂණයක් ඔහුගේ ඇමති මණ්ඩලය වෙත තිබේද ? පරිසර තිරසාරභාවය මිනිසුන් සහ සතුන් ද ඇතුලත් කුලකයක් වේ. එවිට මව් ඇතින්න මරා අලි පැටවුන් ගෙනවිත් අලංකරණ වස්තුවක් ලෙස තබා බුදුන් දේශනා නොකළ ධර්මය දේශනා කරමින් ජනාධිපති වටා සිටිනපිරිස් දුටු විට කිව හැක්කේ   , තිරසාරභාවය යනු කේවල වචනයක් ලෙස පෙනී යාමේ ගැටලුය.

එක් රටක් යනු තනි ඉරි ගසා බෙදා වෙන්කරගත් භූමියක් නොවේ. රටක විවිධත්වය නියෝජනය කරන ජනතාවක් වේ. එම ජනතාව තෝරාගත් ආණ්ඩුවක් සහ, එම ජනතාවගේ ස්වාධිපත්‍ය මගින් රාජ්‍යක් නිර්මාණය වේ. එහිදී “අපි හැමෝම එකයි ” ලෙස “ඥාසාර භික්ෂු භාෂාවෙන්” පැවසුවද “අපි” යනු සිංහල- බෞද්ධ ධනේශ්වර සහ සුළු ධනේශ්වර කොටස් හි නියෝජනයකි. භික්ෂුන් ද අයත් වන්නේ මෙකි සුළු ධනේශ්වර කොටසට බව මගේ තර්කය වේ. ඔවුන් පවා තමන්ගේ පන්සල් භුමිය වෙන්කර ගැනීමේ අනවරත අරගලයක නිරත වන්නේ, එකක් ලෙස පැවතීම මිත්‍යාවක් බව පෙන්වා දෙමිනි. එවන් පසු බිමක එක් රටක් -එක් නීතියක් -එක් පිරිමියෙක් යනු මෙම ධනේශ්වර ක්‍රමය හරහා බිහිවන ඒකාධිපති ෆැසිස්ට් ක්‍රමයක් මිස නිර්ධන පාංතික ආඥාදායකත්වයක් නොවේ.

leave a reply