ඇස්

ඇසක් කියන්නේ විශ්වයක්. ඇසක් කියවීමත් එක්තරා කලාවක්.

Black, Dark Brown, Light Brown, Tan, Honey, Hazel, Green, Ivory, Ash, Amber, Blue වගේ,
වෙනස් වෙනස් වර්ණ සංයෝජන සහිත මිනිස් ඇස් රාශියක් පෘථිවි ගෝලය පුරා විසිරිලා තිබෙනවා.

තද කළු පෑයට හුරු අඳුරු ස්වභාවය නිසාම, මෙලනින් වර්ණකය හොඳින් තිබෙන නිසාම, ආසියාතික ඇස් කියවන්න අමාරුයි. කණීනිකාව, වට රේඛාවන් පැහැදිලිව වෙන් වෙන් වශයෙන් ආසියාතික කළු ඇස් ඇතුළෙ සොයන්න සෑහෙන්න වෙහෙසක් දරන්න ඕනි. එහෙත්, යුරෝපීය ඇස් වල මෙලනින් අඩුකම හේතුවෙන්, ලා වර්ණ සංයෝජනයක් තියන නිසාම, ඒ ඇස් පහසුවෙන් කියවන්න හැකියි.
මෙලනින් වර්ණකයේ අඩු වැඩි බව කෙසේ වෙතත්, මම මේ ලියන්නේ, සියළුම මනුෂ්‍ය ඇස් ගැන කතාවක්.

ඇසක් කියන්නේම තොරතුරු ගබඩාවක්. ඇසක් ඇතුළෙ ඔබේ අතීතයේ ශේෂ හැංගිලා තිබෙනවා.
ඔබේ වර්තමාන මනසේ ප්‍රතිබිම්බයක් තිබෙනවා.
එහි, ඔබේ අනාගතයෙහි ප්‍රක්ශේපණයක් තිබෙනවා.

සිත්තරෙකු, ඇසක් තුළ දකින්නේ විචිත්‍ර වර්ණ,රටා හා හැඩතල.
අක්ෂි වෛද්‍යවරයකු, ඇසක් තුළ අක්ෂි රෝග දකිනවා.
කවියෙකුට ඇසක් යනු, සම්පූර්ණයෙන්ම අපූර්ව කාව්‍යයක්.
කතුවරයෙකුට ඇසක් යනු, මහා පුස්ථකයක්.
ඉතිහාසඥයකුට ඇසක් කියන්නේම පුරාණයක්.
මානව විද්‍යාඥයකුට ඇසක් තුළ පේන්නේ, මානව පරිණාමයක හැරවුම් ලක්ෂ සහ ජානමය රහස්.
මනෝ වෛද්‍යවරයෙක්, ඇසක් තුළින් ඔබේ මනස හා මනෝභාවය කියවාවි.
නීතීඥයෙක්, ඇසක් තුළ හැංගුණු සත්‍යය හෝ බොරුව දකීවි.
විනිසුරෙක්, ඇසක් තුළ සිටින නිවැරදිකරු හෝ වරදකරු දකීවි.
සොල්දාදුවෙක්, ඇසක ඇති නිර්භීතභාවය, බියසුළු බව, කම්පනය හෝ සංත්‍රාසය දකීවි.
පෙම්වතෙක් හෝ පෙම්වතියක්, ඇසක පිරී ඇති ප්‍රේමය සහ අනෙකාගේ හදවතේ හැඟීම් දකීවි.
කෝපී තැනැත්තෙක්, ඇසක කැටිවූ වෛරය හා පාපී බව දකීවි.
සල්ලාලයෙක්, ඇසක ඇති රාගය සහ විරාගය දකීවි.
සහකම්පනය ඇත්තෙක්, ඇසක සිරවූ වේදනාව හා ප්‍රීතිය දකීවි.
කාරුණික මිනිසෙක්, ඇසක ඇති අවංක බව සහ මනුෂ්‍යත්වය දකීවි.
රහතෙක්, ඇසක කැටිව ඇති නිවීම දකීවි.

” Eyes are the windows to
your soul”
“දෑස් යනු, ඔබේ ආත්මය
කරා වූ කවුළුවයි”
යනුවෙන්,
කතුවර විලියම් ශේක්ස්පියර් ප්‍රකාශ කර ඇත්තේ එනිසයි.

ඉතිං,
අපි බරපතල ලෙස නොසිතුවාට, ඇසක් කියන්නේම, ලොකු කතාන්දරයක් නේද?

එහෙමනම්,
උනුන් මරා ගන්න ඉස්සර,
උනුන් හෙළා දකින්න ඉස්සර,
උනුන්ට අපහාස කර ගන්න ඉස්සර,
උනුන් රිදවන්න ඉස්සර,
මිනිසුන්ව නිවැරදිව කියවන්න පුරුදු වෙන්න..

අවසානයේ,
ඔබට වැටහේවි,
කෙනෙකුගේ ඇසක් තුළ ඔබ දකින්නේ,
ඔබ සොයනා දේට පිළිතුර බව.

මිනිසුන් තුළ නිවැරදි දේ සොයන්න.
හොඳ දේ සොයන්න.
ඔවුන් දෙස පිරිසිදු සිතින් බලන්න.

ඔබට හොඳම සහ නිවැරදිම සුපැහැදිලි පිළිතුර ලැබේවි.

 

Share post:

Popular

More like this
Related

ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ආදායම් බදු අයකර ගැනීමට එරෙහිව පෙත්සමක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් බදු අය කරගැනීමේ අරමුණින්...

22ට එරෙහි පෙත්සම් විභාග කරන්න විනිසුරු මඩුල්ලක්

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම අරමුණු කරගත්...

උද්ධමනය ඉහළට

2026 වසරේ අගෝස්තු මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකයට...

නේපාලයේ දී අතුරුදහන් වූවන්ගේ ප්‍රමාණය ඉහළට 

අගෝස්තු 26 වන දින ටිබෙටයට මායිම්ව පිහිටි රසුවා දිස්ත්‍රික්කයට ...