Breaking News

කොදෙව්වෙන් ආ ලොව වේගවත්ම ගැහැණිය

සුජිත් කුරුවිට

ඊයේ මධ්‍යම රාත්‍රියේ පැවති පැරිස් ඔලිම්පික් උලෙළේ මීටර් 100 කාන්තා අවසන් තරඟයේදී නම් දැරූ ක්‍රීඩිකාවන් පරාජය කරමින් සෙන්ට් ලුෂියා දූපතේ ජූලියන් ඇල්ෆ්‍රඩ් ජය ලැබීය. මල් වැසි මැද පැවති තරඟය තත්පර 10.72 කින් තරඟය නිම කල ඈ ලොව වේගවත්ම කාන්තාව යන හැඳින්වීම අත්පත් කර ගත්තාය. මේ වන විට එම හැඳින්වීම දිනා සිටි ඇ. එ. ජ. යේ ශාකේරී රිචර්ඩ්සන් අවසන් තරඟයේදී මෙන්ම අවසන් පූර්ව තරඟයේදීද දෙවන තැනට පත් කරමින් වේගවත් කාලයක් සහිතව ඇය පැහැදිලි ජයක් ලැබීය.

කැරිබියානු දූපත් රාජ්‍යයක් වන සෙන්ට් ලුෂියාව මෙතෙක් ලොව බොහෝ දෙනෙක් දැනගෙන සිටියේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමන්විත වන දූපත් සමූහයේ එක් කුඩා දූපතක් වශයෙනි. එම රාජ්‍යය ඔලිම්පික් ඉතිහාසයේ දිනූ පලමු පදක්කම මෙය වීමද සුවිශේෂය. එහි ජනතාවට ඉමහත් අභිමානයක් සමග ලොව වේගවත්ම ගැහැණියගේ රට යන නාමකරනය ඇය විසින් අත් පත් කර දී ඇත.

එක් ලක්ෂ අසූදහසක ජනගහණයක් වෙසෙන මෙම දූපත යුරෝපීයන්ගේ ආක්‍රමණ වලට කලින් අරවක් ගෝත්‍රික ජනතාවගේ වාසභූමියක් විය. අසල්වැසි දූපත් මෙන්ම මෙහිද ස්වදේශිකයන් සමූල ඝාතනයට සහ වහල්බාවයට පත්කරමින් ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය ආක්‍රමණිකයන් මාරුවෙන් මාරුවට එහි සාරය උරා ගත්හ. ආක්‍රමණිකයන් විසින් මෙම දූපත් වෙත අප්‍රිකානු මහද්වීපයෙන් බලහත්කාරයෙන් තම වැවිලි කටයුතු සඳහා කළු වහල් ජනතාව ගෙන ආහ. ආක්‍රමණ ඉදිරියේ පලාගිය ස්වදේශිකයන්ද පසුව මෙම වහල් ජනතාව සමග සම්මිශ්‍රණය විය. කලක් තම දූපත යටත් කරගෙන සාරය උරාගත් ආක්‍රමණිකයන්ගේ අගනුවරට පැමිණ ඔවුන් ඉද්රියේදී ඇය මෙම ජයග්‍රහණය ලබා ගැනීම ඓතිහාසිකය. (ඉසබෙල් අයන්දේගේ මුහුද යට දිවයින පොතේ මෙම කලාපයේ ආක්‍රමණික ඉතිහාසය අපූරුවට සදහන් කර තිබේ. – පරිවර්තනය නිලූක කදුරුගමුව)

කුඩා දූපත් රාජ්‍යයක අවම පහසුකම් සහිතව වහල් සම්බවයකින් පැවත එන ඇල්ෆ්‍රඩ්ගේ මෙතෙක් දිව ආ ගමන ලේසි පහසු එකක් නොවන්නට ඇත. එහෙත් පසුනොබසින මේ ජවධික තරුණිය ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ උපාධිය හදාරමින් ධාවන පුහුණු වීම් කලාය. පැවති මීටර් 60 ගෘහස්ත තරඟාවලියේ ජයග්‍රාහිකාව වීමටද ඇයට හැකි විය. තවමත් 23 හැවිරිදි ඇල්ෆ්‍රඩ් ඉදිරියේදී තවත් වේගයෙන් දිව යනු ඇත.

leave a reply