” දිට්වා සුළි කුණාටුව නිසා මේ රටේ ජනතාවට බරපතළ ඛේදවාචකයකට මුහුණ දෙන්න සිදුවුණා. අපි ජන අරගල සන්ධානය විදිහට මේ ඛේදවාචකය නිසා විපතට පත් වුණු සියලු දෙනාට අපේ කණගාටුව ප්‍රකාශ කරනවා. අපි පසුගිය කාලේ පුරාවටම හිටියේ මේ ව්‍යසනයෙන් පීඩාවට පත්වුණු ජනතාව එක්ක. සුබසාධන වැඩසටහන් සෞඛ්‍ය සායන ඇතුළු විවිධ වැඩසටහන් අපි පසුගිය කාලේ සංවිධානය කළා. නමුත් එතනින් එහාට ගිහිල්ලා මේ ප්‍රශ්නය දිහා දේශපානලන ව්‍යාපාරයක් විදිහට අපි දකින විදිහ රටේ ජනතාවට පැහැදිලි කරන්න ඕන. ඒ සඳහා තමයි අපි මේ විදිහට මාධ්‍ය හමුවක් කැඳවන්න තීරණය කළේ.
අපි දන්නවා ස්වාභාවික ආපදා අපිට නවත්වන්න පුලුවන් කමක් නැහැ. නමුත් අපි අද ජීවත් වෙන්නේ නවීන විද්‍යාත්මක ලෝකයක. අපිට හැදෙන ලෙඩක් ගැන වුනත් කලින් දැනගෙන ඊට අදාළ ප්‍රතිකාර ලබාගෙන අනතුරෙන් බේරෙන්න පුලුවන් වන තරමට තාක්ෂණයක් ලෝකේ තියනවා. ඒ නිසා දිට්වා සුළි කුණාටුව නවත්වන්න බැරි උනත් අනතුර කලින් හඳුනගෙන ඊට අදාළ ක්‍රියාමාරග ගන්න බැරි කමක් නැහැ. නමුත් අදාළ ආයතන වගේම ආණ්ඩුවත් ඒ කටයුත්තෙදි අසාර්ථක වුණා. මේ ආපදා තත්වය නිසි පරිදි කළමනාකරණය කරන්න ආණ්ඩුව දක්වපු අසමත් කම නිසා වුණේ ව්‍යසනයේ හානිය තවත් වැඩි වෙන එක. මේකට මේ ආණ්ඩුව විතරක් නෙවෙයි වගකියන්න ඕන. පසුගිය කාලේ පුරාවටම අපේ රටේ ආණ්ඩු කරපු පාර්ශව විසින් ක්‍රියාත්මක කරපු විවිධ ව්‍යාපෘති නිසා ඇති වුණු පරිසර හානි. රාජය සේවය අකාර්‍යක්ෂම කිරීම වගේ ගොඩක් දේවල් මේ ව්‍යසනයට බලපෑවා. ඒ නිසා කාටවත් මේක අපි විසින් ඇති කරපු අර්බුදයක් නෙමෙයි කියලා අත පිහදාගන්න පුලුවන් කමක් නෑ.
වැස්ස එනකොට ජලාශ හිස් කරගෙන ඉන්න තිබුණා වගේ සිල්ලර තර්කයකට තමන්ගේ විවේචනය සීමා කරගෙන ඇත්ත ප්‍රශ්නය යට ගහන්න තමයි විපක්ෂය උත්සහ කරමින් ඉන්නේ. නමුත් එහෙම සිල්ලරේට බේරන්න පුලුවන් ප්‍රශ්නයක් නෙවෙයි මේ තියෙන්නේ. මෙවැනි ස්වාභාවික අපදාවකදී ක්‍රියාත්මක වෙන්න අදාළ ආයතන පිහිටුවලා තිබුණා. අද ඒ ආයතනවලට මොකද වෙලා තියෙන්නේ ? අනිත් එක තමයි මෙවැනි ව්‍යසන තත්වයන් සඳහා මුහුණ දෙන්න විවිධ පණත් සම්මත කරලා තියනවා. නමුත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඇයි ? අපි සාකාච්ඡා කරන්න ඕන අන්න ඒ සම්බන්ධයෙන්.
1996 අවුරුද්දෙදි පාංශු සංරක්ෂණය පනත කියලා පනතක් සම්මත වුණා. ඒ පනත ගෙනාවෙම නාය යෑම් වලක්වාගැනීමේ අරමුණින්. හැබැයි අද වෙනකල් ඒ පනතට අදාළ රෙගුලාසි නිකුත් කරලා නෑ. ඒ නිසා ඒ පනත අක්‍රිය වෙලා. ඊලගට 2004 සුනාමි අනතුරෙන් පස්සේ ආපදා කළමනාකරණය සඳහා වෙනම අමාත්‍යංශයක් පිහිටෙව්වා. ආපදා කළමනාකරණය සඳහා පිහිටෙව්ව ඒ අමාත්‍යංශය විසිරෙව්වේ කවුද ? දැන් ඔය එක එක කතන්දර කියන පොහොට්ටු මන්ත්‍රීවරු මේකට උත්තර දෙන්න ඕන. මොකද ආපදා කළමනාකරණ අමාත්‍යංශය දුර්වල කරලා ඒක විසිරෙව්වේ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව. ඔහු තමයි ඒ අමාත්‍යංශයට අදාළ ආයතන ආරක්ෂක අමාත්‍යංශය යටතට ගත්තේ. මේගොල්ලො ආයතන පවත්වාගෙන යන්නේ ලාභයක් තියනවනං විතරයි. ඒ නවලිබරල් තර්කේ උඩ තමයි ආපදා කළමනාකරණයක් වැඩක් නැහැ කියලා ඒ අමාත්‍යංශය විසුරුවා හැරලා තියෙන්නේ. හෙට නැවත සුනාමියක් ආවත් අපිට ලැබෙන උත්තරේ මේකම තමයි. මොකද මේ ආණ්ඩුවත් ඉන්නේ රාජ්‍ය ආයතන දියකර හරින්න ඕන කියන කතාව ඇතුලේ. අනිත් එක තමයි ආපදා කළමනාකරණය සඳහා හදපු ජාතික කමිටුව අවුරුදු හතකින් කැඳවලා නෑ. අවුරුදු හතකට පස්සේ තමයි පසුගිය අගෝස්තු මාසේ මේ කමිටුව රැස් කළේ. හැබැයි ඒ කැඳවපු වෙලාවෙවත් කිසිඳු තීරණයක් අරගෙන නෑ. මෙහෙම දුර්වල තත්වයක නම් අපේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය තියෙන්නේ අර වගේ මහා විනාශයක් වෙන එක පුදුමයක් නෙවෙයි.
ඊලගට හැමෝම කතාවෙන අනිත් ප්‍රශ්නය තමයි අනතුර ගැන කලින් දැනගෙන හිටියද කියන කාරණය. නිශ්චිතවම නොවැම්බර් 25 වෙනිදා වැසි තත්වය ගැන කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරලා තියනවා. කුණාටුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර කාලගුණ ආයතනයක් මගින් නොවැම්බර් 27 දවල් 2.30ට අනතුරු හැඟවීමක් කරලා තියනවා. හැබැයි ඒ නිවේදනය ඇවිත් පැය 3.00කට පස්සේ තමයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරලා තියෙන්නේ. එහෙම පැය තුනක් ප්‍රමාද වුනේ ඇයි කියලා අදාළ නිලධාරීන් පැහැදිලි කළ යුතුයි. අනිත් එක නාය යාම් සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තුමේන්තුව 25 වෙනිදා රතු නිවේදනයක් නිකුත් කළා. මේ සියල්ලම වෙලත් ඇයි රජයට බැරි වුනේ මේ අනතුර යම් තරමකට හෝ කළමනාකරණය කරගන්න ? කියන ප්‍රශ්නය අපිට තියනවා.
ආණ්ඩුව 27 රෑ තමයි ආණ්ඩුව මේකට අවතීර්ණ වුනේ. ඒ ඇවිල්ලත් කලේ ප්‍රශ්නය තව අවුල් කරපු එක. මොකද ආණ්ඩුව මුලින්ම කලේ රාජ්‍ය සේවයට නිවාඩු දීලා ගැසට් එකක් ගහපු එක . ඊටපස්සෙ කිව්වා අත්‍යාවශ්‍ය සේවා සඳහා එන්න් කියලා. සාමාන්‍යෙන් මෙවැනි ගැසට් නිවේදනයක් නිකුත් කරන්නේ අත්‍යාවශ්‍ය සේවා නම් කරලා ඉවර වුණාට පස්සේ. නමුත් ආණ්ඩුව කලේ මේක තවත් පටලවපු එක. ඊලගට අද වෙනකල් මේ රටේ ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කරලා නෑ. මෙවැනි අවස්ථාවකදී මුලින්ම කරන්න ඕන දේ තමයි ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කිරීම. එතකොට තමයි අදාළ ආයතනවලට බලය ලැබෙන්නේ ආපදා කළමනාකරණ පනත යටතේ ක්‍රියාත්මක වෙන්න. එහෙම නොකර ආණ්ඩුව කලේ හදිසි නීතියක් ප්‍රකාශයට පත් කළා.
දැන් ආණ්ඩුව මේ ආපදා තත්වය කළමනාකරණය කරන්න බාරදීලා තියෙන්නේ මේ රටේ කම්පැනි කාරයෝ ටිකකට. ඔවුන් තමයි මේ විනාශට වග කිව යුතු කණ්ඩායම. මේ රටේ කඳු පන්ති ටික ස්වාභාවික පරිසරය ගංගා මේ හැම එකක්ම විනාශ කරමින් තමන්ගේ ලාභ රේට්ටුව වැඩි කරගන්න ඔවුන් ගෙන ගිය වැඩපිළිවෙළ නිසා තමයි අද සුළු වැස්සකටත් ගංවතුර එන්නේ. ගම්මාන පිටින් නාය යන්නේ. අර කඳුකරයේ අහිංසක මලහෛ තමිල් ජනතාව කිසිඳු ආරක්ෂවක් නැතුව තියාගෙන මරව මරව වැඩ ගන්නේ මේ කම්පැනිකාරයෝ ටික තමයි. ආණ්ඩුව දැන් ඒගොල්ලන්ට තමයි බාරදෙන්නේ අපාදා කළමනාකරණය සඳහා හදපු අරමුදල. LOLC එකේ ලොක්කත් ඉන්නේ මේ කමිටුවේ. එතකොට ආපදාවෙන් විපතට පත් වුණ අයට තමන්ගේ ණය සඳහා සහනයක් ලැබෙයි ද ? මාස දෙක යනකොට ලස්සනට කියයි ක්ෂ්ද්‍ර මූල්‍ය ණය ගෙවපං අර ණය ගෙවපං කියලා. දැන් ජාතික ජන බලවේගය ඇතුළෙත් මේ කමිටුව ගැන යම් විවේචයක් ඇවිත් තියෙන්නේ. ඒකෙන් බේරෙන්න ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදි කිව්වා මේ කමිටුව සල්ලි එකතුකරනවා විතරයි වියදම් කරන්නේ නෑ කියලා. හැබැයි ඒක බොරුවක්. ගැසට් එකේ පැහැදිළිව මුදල් එකතු කරන්න, වියදම් කිරීම් සඳහා ප්‍රමුඛතා සකස් කරන්න සහා මුදල් වියදම් කරන්න කමිටුවට පූර්ණ බලය ලබා දීලා තියෙන්නේ. අපි මේ වෙලාවේ ආණ්ඩුවට අනතුරු හඟවනවා මේ කමිටුව අනාගතයේ ආණ්ඩුවට එරෙහි නඩු නිමිත්තක් වෙන්න පුලුවන්. එදා සුනාමි සහන මණ්ඩලය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ගොනු කරපු නඩුවට අදාළ නඩු තීන්දුවේ පැහැදිලව තියනවා රජයේ නොවන පාර්ශවයක් අරහා රජයේ මුදල් වියදම් කරන්න බැහැ කියලා. ඒ නිසා දැන්වත් මේ කමිටුව හකුළගෙන ආපදා කළමනාකරණයට අදාළ නිල ව්‍යුහය වහාම පිහිටුවන්න කියලා අපි ආණ්ඩුවට අනතුරු හඟවනවා. අනිත් කාරණය තමයි ආපදාව වෙලාවේ නිකුත් කරපු සියලු නිල නිවේදන තියෙන්නේ සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් විතරයි. දෙමළ භාෂාවෙන් නිවේදන නිකුත් වුනේ නැහැ. අපි දන්නවා මෙ ව්‍යසනය නිසා වැඩියෙන් හානි වුනේ දමිළ ජනතාව හිටපු ප්‍රදේශවලට. හැබැයි ඔවුන්ට තොරතුරු දැනගන්න තියන අයිතිය ආණ්ඩුව උල්ලංඝනය කරලා.
මේ ව්‍යසනය වෙලාවේ ආණ්ඩුවේ මැදිහත් වීම කෙතරම් දුර්වල මට්ටමක ද තිබුණේ කියලා මේ කරුණුවලින් පේනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා දැන්වත් මේ ප්‍රශ්නය බැරෑරුම්ව ගන්න කියලා. ආණ්ඩුව මුලින් කරන්න ඕන දේ තමයි IMF කොන්දේසිවලින් ඉවත් වීම. මොකද ඔය කොන්දේසි තියනකල් අවතැන් වුන ජනතාවට සුබසාධන සලසන්න බැහැ. ඊලගට වහාම අත්‍යාවශ්‍යය ආහර ඖෂධ සහ පාසල් උපකරණවල බදු ඉවත් කරන්න ඕන. කඳුකර ප්‍රදේශවල නැවත පදිංචි කිරීමේදී විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව කටයුතු කළ යුතුයි. අපි දැක්කා ජනාධිපතිවරයා කියනවා අඩි 5000ට වඩා උස් තැන්වල පදිංචි කරුවන් ඉවත් කරලා නැවත වන වැස්ම ස්ථාපිත කරනවා කියලා ඒක හොඳ තීරණයක්. හැබැයි සුනාමිය වෙලාවේ වෙරළ ආශ්‍රිත ජනතාව ඉවත් කරලා කරපු වැඩේම මෙතනත් කරන්න ලෑස්ති වෙන්න එපා. මොකද ඒ වෙලාවේ වෙරළ ප්‍රදේශවල ජනතාව ඉවත් කරලා ඊට පස්සෙ හෝටල් කාරයෝ ගිහිල්ලා ඒ ඉඩම් අල්ල ගත්තා. දැන් කම්පැනි කාරයෝ දාගෙන කමිටුවකුත් හදාගෙන ඉන්න නිසා අපිට පැහැදිලි සැකයක් තියනවා ආණ්ඩුව මේ කඳුකර ඉඩම් සමාගම්වලට විකුණන්න ද සූදානම් වෙන්නේ කියලා. ඒ නිසා මේ නාටකය ඒ විදිහට අවසන් කරන්නෙ නැතුව කඳුකර ඉඩම් නැවත වනාන්තර සඳහා නිදහස් කිරීම කරන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.
අනිත් එක තමයි මලහෛ තමිල් ජනතාව අවුරුදු 200ක් තිස්සේ ජීවත් වෙන්න නිවසක් ඉඩමක් ඉල්ලනවා. අද ඔවුන් තමයි පස් යට වැලලිලා තියෙන්නේ. දැන්වත් ඒ ජනතාවට ආරක්ෂාකාරීව ජීවත් වෙන්න ඉඩමක් නිවසක් ලබා දිය යුතුයි. ඉන්දියාවෙන් සල්ලි දෙනකල් බලාගෙන ඉඳලා ගෙවල් පන්සීය දාහා හදලා හරි යන්නේ නෑ. කඩිනමින් ඒ ජනතාව පිළිබඳව කටයුතු කිරීමට ආණ්ඩුව මැදිහත් වෙන්න ඕන. මේ අනතුර නිසා ජනතාවට තමන්ගේ උන්හිටි තැන් වාහන රැකියා මේ සියල්ල අහිමි වෙලා තියෙන්නේ. ඒ නිසා ලීසිං සඳහා මාස දෙකක සහනයක් දීලා හරි යන්නේ නෑ. අවුරුද්දකවත් සහනයක් ලැබෙන්න ඕන.






