ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ තුන්වැනි අදියර වූ, පෞද්ගලික බැඳුම්කර හිමියන් සමග ඇති කරගත් ඩොලර් බිලියන 14.43ක ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමඟ ගිවිසුමකට එළැඹී ඇත. මෙය සීයට 28ක කප්පාදුවක් ලෙස ඉස්මතු කර පෙන්වුවත්, බැඳුම්කර හිමියන් එකඟ වී ඇත්තේ මේ කප්පාදුව සීයට 15ක් දක්වා අඩු කර ගැනීමේ හැකියාව සහිතවය.
රනිල් වික්‍රමසිංහ එළවා දමා, රටේ ආර්ථිකය වර්ධනය කරගැනීමේ ක්‍රියාවලියකට අප යොමු වනු ඇතැයි අනුමාන කළහොත් ඇත්තටම ලැබී ඇති කප්පාදුව සීයට 28ක් නොවේ. සීයට 15ක් පමණි. එය සැම්බියාවට ලැබුණු සීයට 18ත්, ඝානාව ලැබූ සීයට 50ත් සමඟ ගත් කළ ඉතා පොඩි කප්පාදුවකි.
අත්සන් කළ ගිවිසුම ශ්‍රී ලංකාවේ ජනාව දිගින් දිගටම ණය උගුලේ සිර කරන ඉතා පීඩාකාරී, ණය හිමියන්ට වාසිදායක ගිවිසුමක් වනු ඇති අතර, ජනතාවට දැඩි බදු බරක් දැරීමට මෙන්ම රටේ ආර්ථිකය සහ නිෂ්පාදනය වර්ධනය කරගැනීමේදී විශාල බරක් දැරීමට සිදුවනු ඇත.
මෙම ගිවිසුම ගැන ලන්ඩන් කොටස් වෙළඳපොළේ ප්‍රසිද්ධ කර ඇති තොරතුරු අනුව ප්‍රතිව්‍යුහගත කරන ලද මුළු ණය ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් බිලියන 14.43 ක් වන අතර, එයට ඩොලර් බිලියන 1.889ක කල් ඉකුත් වූ පොලී ඇතුළත් වේ.
මෙම ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම අනුව මූලිකව ඩොලර් බිලියන 12.55ක් වූ බැඳුම්කර සඳහා ලබා දී ඇති ණය කප්පාදුව සීයට 28කි.
එහෙත්, මෙම ගිවිසුමේ ඇතුළත් වන අනෙක් කරුණ වන්නේ, පෙර කී සීයට 28ක කප්පාදුව සීයට 15 දක්වා අඩු වීමට ඇති ඉඩකඩයි. එනම්, ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය වුවහොත්, එහි වාසිය යන්නේ මෙරට ජනතාවට නොව ණය හිමියන්ටය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා තිබෙන සීමාව ඉක්මවා ආර්ථිකය වර්ධනය වන්නේ නම් දැනට ලබා දී ඇති ණය කප්පාදුව වෙනස් කළ හැකි අතර, එය සීයට 28 සිට සීයට 15 දක්වා අඩු කිරීමට ඉඩ ලැබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සකස් කර ඇති ඉලක්කයන්ට ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ළඟා නොවුණහොත්, සීයට 34.5ක – සීයට 40.4 අතර ණය කප්පාදුවක් ලබා ගැනීමට හැකියාව ලැබේ.
එනම්, මෙම ගිවිසුම අනුව ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කර මෙරට දළ දේශීය නිෂ්පාදිතයට බද්ධ කොට ඇති අතර, ලංකාවේ ආර්ථිකයේ වර්ධනයේ වාසිය අයුතු ලෙස උපයාගැනීමේ හැකියාව බැඳුම්කර හිමියන්ට ලැබෙනු ඇත.
ගෙවීම් පැහැහරින ලද ඩොලර් බිලියන 1.889ක් වූ පොළී මුදල්වලට ලැබී ඇති කප්පාදුව සීයට 11කි.
ණය කප්පාදුවට එකඟ වෙන ණය හිමියන්ගේ බැඳුම්කරවලට 1.8ක් එකඟතාව ලබාදීම උදෙසා ගාස්තුවක් ලෙස ගෙවනු ලැබේ. ඒ අනුව ඩොලර් මිලියන 225ක් ඒ ආකාරයෙන් ණය හිමියන් වෙත ගෙවීමට නියමිතය.
ණය කල් පිරෙන කාලසීමාව 2028 සිට 2038 දක්වා කල් දැමෙන අතර, අනෙකුත් රටවල් ලබා ඇති කල් පිරෙන කාලයන් හා සසඳන විට එය ප්‍රමාණවත් නැත.
මීට අමතරව, මෙම ගිවිසුම හරහා ලැබෙන සැබෑ කප්පාදුව කොපමණද යන්න පොළී අනුපාත, බැඳුම්කර කල් පිරීම් ආදී සාධක සලකා බලා යළි ගණනය කළ යුතුය.
මෙයට සාපේක්ෂව ගැනීමේදී ඝානාව 2023 දී සීයට 50ක ණය කප්පාදුවක් ලබා ගැනීමට සමත් විය. ඝානාව කල් පිරෙන කාලය පිළිබඳ තවම අවසන් එකඟතා ඇති කර ගෙන නැතත් ඔවුන් ඉතා දීර්ඝ කාලයක් ලබා ගැනීමට බලාපොරොත්තු වේ.
සැම්බියාව සීයට 18ක ණය කප්පාදුවක් ලැබී තිබුණු අතර, එහි කල් පිරෙන කාලය 2030- 2053 දක්වා දීර්ඝ කරගැනීම තුළින් වාසිදායක තත්වයක් උදා කරගැනීමට සමත්ව තිබුණි. ඉක්වදෝරයට 2030- 2040 දක්වා කල් පිරෙන බැඳුම්කර යළි නිකුත් කිරීමට හැකියාව ලැබෙන අතර, ආජන්ටිනාව 2020 දී ලැබූ බැඳුම්කර ගිවිසුම අනුව 2028 සිට 2038 දක්වා කල් පිරෙන කාලයන් ලබා ගැනීමට හැකි විය.
මෙම ගිවිසුම් බැලූ බැල්මට ලංකාවේ ජයග්‍රහණයක්ලෙස රාමුගත කරඇතත්, එයින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථිකයට එල්ල කරන්නේ නරක බලපෑමකි. මෙම ගිවිසුම දැඩි අයවැය පීඩනයක් ශ්‍රී ලංකාව මත එල්ල කරනු ඇත.
මීට අමතරව, ඉදිරියේදී ආණ්ඩුකරණයට බද්ධ වූ බැඳුම්කර නිකුත් කිරීමටද බැඳුම්කර හිමියන් හා එකඟ වී තිබේ. කෙසේ වෙතත්, දැනට ප්‍රසිද්ධ කර ඇති තොරතුරු මත ආණ්ඩුකරණයට බද්ධ වූ බැඳුම්කර ප්‍රමාණය කොපමණද? ඒවායේ කොන්දේසි මොනවාද ආදී විස්තර සඳහන් නොවන අතර, ඉදිරියේදී ඒවා නිකුත් කරනු ඇත.
මෙම සංකල්පය වෙරිටේ රිසර්ච් ආයතනය විසින් ප්‍රවර්ධනය කරන ලද එකක් වේ. ඒ පිළිබඳ අප කළ විමසීමකදී වෙරිටේ රිසර්ච් ආයතනයේ නිෂාන් ඩි මෙල් මහතා මෙසේ කීය.
‘දැන් ආණ්ඩුව වර්තමානයේ තියෙන බැඳුම්කරවල අගය අඩු වූ අලුත් බැඳුම්කර නිකුත් කරන්න ඕනෑ. පරණ ඒවා අතට අරන්.
අලුතින් නිකුත් කරන බැඳුම්කරවලින් කොටසක් ආණ්ඩුකරණයට බැඳුණු බැඳුම්කර ලෙස නිකුත් කිරීමට නියමිතයි. ඒ බැඳුම්කර අනෙක් ඒවාට වඩා වෙනස් වෙන්නේ, ලංකාවට ඉදිරියේදී අලුතින් නිකුත් කරන බැඳුම්කර කොටසක පොළී අනුපාත අඩු කර ගැනීමට අවස්ථාවක් ලැබෙනවා, ආණ්ඩුකරණය මත. දැනට ඒක සිද්ධ වෙන සම්පූර්ණ ක්‍රියාවලිය ලියැවිලා නැහැ. කෙසේ නමුත් ආණ්ඩුකරණයට අදාලව බැඳුම්කර හිමියන් සමඟ එකඟ වෙන ක්‍රියාවලිය ඉටු කළොත් ඉදිරියේදී පොළී අනුපාතයේ කප්පාදුවක් වෙනවා. දළ දේශීය නිෂ්පාදිතය හා බැඳුණු බැඳුම්කරවල පොළී අනුපාතය අඩු වෙනවා විතරයි. ඒකේ තියෙන ඉලක්කයන් සම්පූර්ණ නොකළොත් පොළී අනුපාතය තිබුණු ආකාරයට තියාගැනීමට හැකියි. ආණ්ඩුකරණය දියුණු වුණොත් අවදානම අඩු වෙන බව බැඳුම්කර හිමියන් පිළිගෙන තිබෙනවා.‘
එහි තේරුම වන්නේ, ශ්‍රී ලංකාව ඉදිරියේදී ආණ්ඩුකරණය අහවල් මූලධර්මවලට අනුව අහවල් ඉලක්ක සපුරාගනිමින් සිදු කරන බව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ එකඟ වෙමින් බැඳුම්කර ප්‍රමාණයක් නිකුත් කිරීමය. ආණ්ඩුව එම මූලධර්ම අනුව, ඉලක්ක සපුරාගනිමින් ‘යහපත්‘ විදියට ආණ්ඩුව පවත්වාගෙන යන්නේ නම් ණය සහන ලබා ගැනීමට හැකියාව ලැබේ.
කෙසේ වෙතත් මෙම ගිවිසුම අනුව වුව ජනතාවට සහනයක් ලැබී නැත. ආණ්ඩුවට අනාගතයේදී දැඩි කප්පාදු පියවරයන් (austerity measures) දිගින් දිගටම අනුගමනය කරන්නට සිදු වේ. ඒ කියන්නේ පොදු සේවාවන් වන අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළු බොහෝ දේ කප්පාදු කිරීමටත්, තවදුරටත් පෞද්ගලිකකරණය කිරීමටත්, රැකියා අහිමි වීමටත්, දැඩි බදු බරක් ජනතාව මත පැටවීමටත් පියවර ගැනෙනු ඇත. ඒ අනුව ආර්ථික වර්ධනය කරගැනීමත් අසීරු වනු ඇත. මීට පෙර ග්‍රීසිය, ආජන්ටිනාව ආදී රටවල් දැඩි කප්පාදු පියවරයන් නිසා පීඩාවට පත්ව සිටී. සමාජ සුභසාධනය සම්පූර්ණයෙන්ම විනාස කිරීමටමේවා හේතු වනු ඇත. එයින් දුප්පත්කම, මන්දපෝෂණය, විරැකියාව, සෞඛ්‍ය අර්බුද, පොදු සමාජය තුළ මානසික ආතතීන් මෙන්ම අපරාධ පවා වැඩි වනු ඇත. බලයට පත්වන ආණ්ඩුවලට දිගින් දිගටම බලය පවත්වාගෙන යෑම අසීරු වනු ඇත්තේ, ජනතාව දැඩි පීඩනයකින් දිගින් දිගටම ඉඳීම නිසා සියලු රජයන්ට ඉක්මනින් එරෙහි වීමට ඉඩ තිබෙන නිසාය.
මේ පිළිබඳ අපගේ මතය සරල බසින් මෙසේය.
‘මේ ගිවිසුම සම්පූර්ණයෙන්ම දූෂිත, අපරාධකාරී ගෝලීය ණය ක්‍රමවේදයක කිසිම වුවමනාවක් නැතිව ලංකාව හිර කරන්නට ගන්න උත්සාහයක දිගුවක් විතරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන්වල හිරවෙච්ච රටවල් බොහොමයක් ගිය, වේදනාකාරී සහ ඵලරහිත ගමනේම ශ්‍රී ලංකාවත් රැගෙන යන්නට අමනෝඥ පාලකයන් ගන්නා උත්සාහයක් විතරයි. රටේ දියුණුව තියෙන්නේ මේ ගිවිසුමට සම්පූර්ණයෙන් පිටින්. මේ ගිවිසුම ඉරා දැමීම තුළින් විතරයි. ණය හිමියන්ගේ සහ කොල්ලකාරී ගෝලීය ආර්ථික ක්‍රමයක නියෝජිතයන් වෙච්ච රනිල් වික්‍රමසිංහලාත්, ඒ ක්‍රමයේ නියෝජිතයන් විදියට දිගටම වැඩ කරන්න බලාගෙන ඉන්න විපක්ෂයේ අප්පුහාමිලාත් පරාජය කරමින් ඇත්තටම ජනතාවගේ ආණ්ඩුවක් ආවොත් විතරයි මේක ගොඩ දාන්න පුළුවන් වෙන්නේ. දැන් මේ ගිවිසුම මත ශ්‍රී ලංකාවේ බැඳුම්කර අපේ ආර්ථික වර්ධනයට වගේම අපේ රාජ්‍ය ප්‍රතිපත්තිවලට කෙළින්ම සම්බන්ධ කිරීම තුළින්, අනාගතයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ ණය හිමියන්ට අපේ රටේ හිස බන්දේසියක තියා බාර දීලා තියෙනවා. ලෝකයේ ධනය ගොඩගහපු ප්‍රාග්ධන හිමියන්ගේ වුවමනාවට ඉදිරියේදීත් අපට නටන්නට සිදු වේවි, ජනතාවට දුක් විඳින්න සිදු වේවි. අපේ මිනිස්සුන්ගෙ යහපත වෙනුවට ණය හිමියන්ගේ වුවමනාවන්ට මුල් තැන ලබා දේවි.
මේ බොහෝ බැඳුම්කර හිමියන්ව හඳුන්වන්නේ ‘ගිජුලිහිණි අරමුදල්‘ (vulture funds) කියලයි. ඇත්තටම වඩාත් ගැලපෙන වචනය මිනී කන කුරුල්ලන්ගේ අරමුදල් කියන එක. මේ ණය හිමියන් ඉතා අධික පොළීවලට ශ්‍රී ලංකාවට ණය දීලා තියෙනවා. මේ ණය ලබාදීමේ ක්‍රියාවලියත් සෑහෙන දුරට අපේ ගම්වල ගිනි පොළී ක්ෂුද්‍ර මූල්‍ය ණයවලට සමානයි. වෙනසකට තියෙන්නේ ඔවුන් එය කෝට් ඇඳගෙන කරන එකයි.
මේ වෙද්දී ලෝකය පුරා, ණය පිළිබඳ යුක්තිය වෙනුවෙන් සංවිධාන පවතිනවා. විද්වතුන් ණය යුක්තිය පිළිබඳ කතා කරනවා. ඒ විද්වතුන් මෙන්ම සංවිධාන පවා ශ්‍රී ලංකාවට අලුත් මාවතක් හොයා ගැනීමට සහයෝගය දෙන්න සූදානම්. ඇත්තටම ඒ විද්වතුන් අතරින් සැලකිය යුතු පිරිසක් ශ්‍රී ලංකාවටත් ඇවිත් තියෙනවා. එහෙත්, ඒ අලුත් මාවතේ ගමන් කරන්නට තරම් ශක්තිය තියෙන, දැක්මක් තියෙන ජනතාවාදී ආණ්ඩු බලයට එන්න අවශ්‍යයි.
මේ මිනීකන පුද්ගලික ණය හිමියන්ව වගකීමට බැඳ තබන්නට සමත් දේශපාලනයක් අත්‍යාවශ්‍යයි. මහා දේශපාලන වෙනසක් අවශ්‍යයි. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කියා ආණ්ඩුවට කයිවාරු ගසන්නට පුළුවන් වුණත්, ඇත්තටම සිදුව ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියෙන් ජනතාව අවසන් වීමයි.‘