Day: July 29, 2024

  • පොහොට්ටුව දෙකඩ වෙයිද?

    පොහොට්ටුව දෙකඩ වෙයිද?

    ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එම පක්ෂය තීරණය කිරීමත් සමඟ පොහොට්ටුවෙන් පිරිසක් කැඩී යාම ස්ථීර වී ඇතැයි මත පළවේ.

    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ප්‍රකාශ කළේ පොහොට්ටුව ලකුණ යටතේ ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන නිසා, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය ලබා නොදීමට පක්ෂය තීරණය කළ බවයි.

    අද (29) පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවසේ පැවති දේශපාලන මණ්ඩලය රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සාගර කාරියවසම් මහතා මේ බව ප්‍රකාශ කළා.

    එහිදී සාගර කාරියවසම් මහතා තවදුරටත් පවසා සිටියේ මෙම තීරණයට විරුද්ධ අය සිටී නම් හෝ පක්ෂයේ අනුමැතියෙන් තොරව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් වහාම එම පුද්ගලයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බවයි.

    කෙසේවෙතත්, මෙතෙක් පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුද යන්න පිළිබඳව තීරණය කර නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් මේ වන විට නම් කිහිපයක් සාක්ච්ඡාවට ගෙන ඇති බවත් සාගර කාරියවසම් මෙහිදී සඳහන් කළා.

    මෙම රැස්විමට සාමාජිකයින් 82 ගෙන් 79 ක් සහභාගි වි තිබු අතර ඡන්ද විමසීමක් පවත්වා තිබුණා.

    එහිදි සාමාජිකයින් 11 දෙනෙක් ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත්කිරීම සදහා වූ යෝජනාවට විරුද්ධ වි තිබෙනවා.

    තවද පොහොට්ටුවෙන් පිට අපේක්ෂකයකු සදහා සහය දෙන අයට විරුද්ධව විනය පියවර ගැනීම සදහා වූ යෝජනාවට 06 දෙනෙක් පමණක් විරුද්ධ වි තිබෙන බව පැවසෙනවා.

    මේ අතර අද දිනයේ වාර්තා වූවේ තමන්ට කිසිදු දැනුම්දීමකින් තොරව හෝමාගම පොහොට්ටු රැස්වීමක් සංවිධානය කලැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂට එරෙහිව ප්‍රවාහන හා මහාමාර්ග ඇමති සහ ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන හෝමාගම පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවයි.

  • ත්‍රස්තවාදී මහාවංසය සහ දේශප්‍රේමී සුදු මහත්තුරු

    ත්‍රස්තවාදී මහාවංසය සහ දේශප්‍රේමී සුදු මහත්තුරු

    වන්නිලෑ ඇත්තෝ, උත්තර දේසේ මහ ඇත්තෝ, මළය රට මහ ඇත්තෝ, මේ ආදී කොට ඇත්තෝ ගත්තම ඇත්තටම මේ අය “ජනතාව” ද කියන අවුල ඔන්න ඉජන කොළමට හිතට එන්න ගත්ත. ඇත්තටම න්‍යායාත්මකව ගත්තොත් තුන් දෙගොල්ලමත් ජනතාව තමයි. ඒත් එයාලව නිකං ජනතාව කියන ගොඩට වැටෙන්නෙ නෑ වගේ හැඟීමක් මේ මනස ඇතුළේ තියෙනවා. ඒක මේ මට විතරක් ඇති වෙන දෙයක් ද නැත්තම් මට ඇති වෙනවා වගේ හැඟීමක් ඇතිවෙන තවත් අය ඉන්නව ද කියලා කියන්න හොයලා බලන්න පොඩි සමීක්ෂණයක් කළොත් මොකද කියලත් හිතෙනවා. මයික් එකක් අරන් ගිහින් අහන්න බෑ, ඒත් පොඩි ප්‍රශ්නයක් දෙකක් දාලා බලන්න පුලුවන් ඉ අවකාශයට. උත්තර දෙයිද නැද්ද කියලා කියන්න මම දන්නෑ. ඒත් ප්‍රශ්න දෙක තුනක් ලියලා බලමු.

    ප්‍රශ්නය
    1: ඔබ ජනතාව කියන ගොඩට ඇතුළත් ද?
    2: අතුළත් නම් කුමන ජනතාවට ද?
    3: නැත්නම් ඒ ඇයි?
    4: උත්තර දේසේ මිනිස්සු ජනතාව ද, එවගේම වන්නිලෑ ඇත්තෝ, මළය රට ඇත්තෝ?

    මේ ප්‍රශ්නවලට උත්තර දුන්නත් නැතැත්, ඔය “ජනතාව” කියන සංකල්පය ගැන මට දැනෙන දේ කිව්ව කියල දොසක් වෙන එකක් නෑ කියල විශ්වාස කරනව.

    රාජ්‍යයක් රටක් වීමට හෝ රටක් රාජ්‍යයක් වීමට තියෙන එක නිර්ණායකයක් වෙන්නේ මේ කියන ජනතාව. රාජ්‍යයක් රටක් කියලා කියන්න ජනතාව අවශ්‍ය නම් ඒක තීරණය කරන්නේ කවුද. කොහෙ ඉඳළ ද? නිශ්චිත භූමියකට එලියෙන්ද ඇතුළෙන් ද? එහෙමත් නැත්නම් අනෙකාගේ දෘෂ්ටියෙන් ද?
    “මගේ ආදරණීය ජනතාව කියලා කිව්වම, කියන “මම” ජනතාවට අයත් වෙනව ද ? අපේ ජනතාව, ඔවුන්ගේ ජනතාව කිව්වම ඒ කියන අයත් ඊට ඇතුළත් ද?

    ඇයි මට එහෙම හිතෙන්නේ?. කවදා ඉඳලද?. ඒකට මට උත්තරයක් නෑ. ඒත් දැන් මට දැනෙන්නෙ නම්, මේ ගොල්ල, ඒ කියන්නේ උතුරේ, බිංතැන්නේ, මළය රටේ ජීවත් වන මිනිසුසු ජනතාව ද කියන ප්‍රශ්නය. මේ හැඟීම ඇති වෙන්නේ හෝ නො වෙන්නේ, තමන් ඉන්න තැන අනුවයි. මම ඉන්න තැන ඉඳළ මේ ගොල්ල ජනතාවද නැද්ද කියලා මට තීරණය කරන්න තියෙන අයිතිය මොකක්ද?‍

    ඉන්න තැන භෞතිකව මොන තූත්තුකඩියේ වුණත්, මානසිකව ඉන්න තැන මත ඇති කරන හැඟීම අර උඩ කාරණයට බලපානවා වෙන්න පුලුවන්. ඒත් ඒ අයිතිය මට දීලා තියෙන්නේ ඉතිහාසයෙන්. ඉතිහාසයේ කවද ඉඳළ ද. මහාවංසේ ඉඳළ ද. ඔව්නෙ. මහවංසේ පටන් ගන්කොටම වන්නිලෑ ඇත්තෝ වෙන් කරනවනේ. එයාලා ආදිවාසින්, වැද්දෝ කියලා. අපේ පූර්වජ මුත්තා ඒ වැඩේ කරලා තියෙනවා. තමන්ගේ අඹුවයි දරුවොයි පන්නල දානව. එයාලා වෙනම දිහාවකට පන්නා යනවා. වෙනම ජීවත් වෙනවා. ඉතින් එදා ඉඳළ එයාලා ජනතාව කියන ප්‍රපංචයෙන් වෙන් වෙනවා. වෙනම අනන්‍යතාවක් තියෙන ජන කොටසක් වෙනවා. එතකොට ජනතාව කියන හැඟීමට මේ “අනන්‍යතාව” කියන එක මානසිකව බලපානවා. භෞතිකය, ඒ කියන්නේ ඔවුන් ජීවත් වෙන භූමියත් ඒකට උදව් කරනවා.

    උත්තර දේසේ ඉන්න ඇත්තොත්, මළය දේසයේ ඉන්න ඇත්තොත් “ජනතාව” කියන කොටසට නො දැනෙන හේතුව ඒක වෙන්න පුලුවන්. මහාවංසෙම තමයි උත්තර දේසේ මිනිස්සුත් ජනතාව කියන සංකල්පය බෙදන්නේ. හැබැයි මළය රට ජනතාව වෙනම කොටසක් කරන්නේ මහවංසය නොවුණත් චූලවංසය වෙන්න පුලුවන් කියලා තර්කයක් ගෙනාවත්, ඒක හරියටම සලකුණු කරන්න පුලුවන් වෙන්නේ සුද්දගෙ කාලේ කියලා කියන හැඟීමයි හිතට එන්නේ. ඒ ගොල්ලෝයි මේ මළය රට වතු ආශ්‍රිතව ජීවත් වෙන දෙමළ බස කතා කරන මිනිස්සු ලංකාවට ගෙනාවේ.
    එහෙම වුණත් මට මේ විදිහට හිතෙන්න මම ඉන්න තැන මොකක් ද. මම ඉන්නේ මේ තුන්ගොල්ල ඉන්න තැන නොවන නිසා ද. මම ඉන්නේ ජනතාව කියලා කියන්න පුලුවන් තැන ද. ඒකත් ලේසි පහසු ප්‍රශ්නයක් නෙවෙයි. එහෙම හිතෙන්නේ සිංහල හින්ද ද? බොෟද්ධ හින්ද ද? එහෙම දෙයක් ඇති කරලා තියෙනවා. බොරුවක් නෙවෙයි. නැත්තම් උතුරෙන් වෙනම අපේක්ෂකයෙක් ඉල්ලනවා කියලා කියන්න හේතුවක් නෑ. වතු කම්කරුවන්ට විතරක් දෛනික පඩිය අඩු වෙන්න හේතුවක් නෑ. අවුරුදු තිහක යුද්ධයක් කරන්න හේතුවක් නෑ.

    මේ විදිහට බැලුවම මම හිතන එකත්, ඒ මිනිස්සු හිතන එකත් අතර වෙනසක් නෑ. මට තියෙන හැඟීම මයි එයාලටත් තියෙන්නේ. මහා වංසේ ඉඳළා මේ දක්වා ආව ඉතිහාසයේ රස්තියාදුවක් ගැහුවොත්, මේ තුන් ගොල්ල විතරක් නෙවෙයි, තවත් වෙන වෙන මිනිස් කණ්ඩායම් ඉන්නවා වෙන්න පුලුවන්. වෙන්න පුලුවන් නෙවෙයි ඉන්නවා. ශිෂ්ටාචාරයක් කියන්නෙම වෙන් කිරීමක්. සංස්කෘතියක් කියන්නෙම වෙන් කිරීමක්. භාෂාවක් කියන්නෙම වෙන් කිරීමක්. ආර්ථිකයක් කියන්නෙත් වෙන් කිරීමක්. එහෙම හිටපු, එහෙම වෙන් කරපු මිනිස්සු එක් කරා කියලත් කියන්නේ ඉතිහාසයමයි. එක් කරා කියලා කියනකොටම වෙන් වෙලා හිටියා කියලා කියන්නෙත් ඉතිහාසයමයි.

    තැනක් නැතුව තැනින් තැනට ගිහින් ජීවත් වෙන මිනිස්සු පිරිසකුත් ලංකාවේ ඉන්නවා. මෙයාලට සංචාරකයෝ කියලා කියන්නෑ. එයාලට කියන්නේ අහිකුණ්ඨිකයෝ කියලා. මේ මිනිස්සු මොක්කු ද? මේ අය සිංහලයට අනුව දෙමළට අනුව, මසල්මානුවට අනුව ජනතාව ද? රටට අනුව ව්‍යවස්ථාවට අනුව ජනතාව ද

    එතකොට ව්‍යවස්ථාවෙන් කියන ඔය ජනතා පරමාධිපත්‍යය කියන්නේ මොකක්ද? ඒක කාට අනුව ද? ව්‍යවස්ථාවේ කියන ජනතා පරමාධිපත්‍යය කියන්නේ ඒක වචන ද නැත්තම් බහු වචනයක් ද?
    සුද්දා ඇවිත් එට එකතු කළා කිව්වට ඒ එකතු කිරීම කළේ ජනතා පරමාධිපත්‍යය ගැන හිතල ද? දැන් සමහරු 1931 ලැබුණු සර්ව ජන ඡන්ද බලය ගැන කතා කරනව. ඒක ආසියවත් එක්ක සසඳනව, ප්‍රජාතන්ත්‍රවාදයට ගලපනව. ඇත්තටම වුණේ එහෙම එකක් ද? එහෙම දයෙක් උනා නම් ඇයි මෙහෙම වෙන්නේ. ඒ කියන්නේ ජනතාව කියන කොට වෙන වෙනම හැඟීමක් එන්නේ.

    සුද්දා එන්න කලින් එහෙම දෙයක් තිබුණෙ නෑ, කියල කියන ඉතිහාස සාධක තියෙනවා. ලංකාව කිසිම දවසක එකක් විවිදිහට තිබිල නෑ.. එදා රට වැසියා නැත්නම් අද කතා කරන “ජනතාව” කියන සංකල්පයෙන් හිටපු මිනිස්සු ඒකීය අර්ථයකින් හිටියද කියන එක නම් මම දන්නෑ. ඒත් මහවසංසේ, සෙල්ලිපි, අර්ථකතන දිහා බැලුවම අපි කැමැති විදිහට හිතා ගන්න පුලුවන් ඉතිහාසයක් තමයි තියෙන්නේ..

    මේ මොහොතේ දී මේ “ජනතාව” කියන සංකල්පය ව්‍යවස්ථානුකූලට උඩට ඇවිත් තියෙන්නේ. ඒ ඡන්දයක් හින්දා. ජනතා පරමාධිපත්‍යය උරගාලා පාලකයෙක් පත් කර ගන්න නිසා. ඒ වගේම මේ පරමාධිපත්‍යයෙන්ම ව්‍යවස්ථාදායකයට පත්කරගන්න ඡන්දයක් තියෙන්න නියමිත නිසා. ව්‍යවස්ථාවක් කියන්නේ නීතියක් උනාට ඒ නීතිය හදවතට දැනෙන්න ඕන. එහෙම නැත්තම් ඒක බලහත්කාරයක්. බොරුවක්. ව්‍යවස්ථාව බොරු කරල ද නැතිනම්, ව්‍යවස්ථාවට බොරුකරලද කියන ප්‍රශ්න දෙකෙන් එකක් හෝ දෙකම ඇත්ත නම්, මේ ගැන විශ්වාස කරන කවුරු වුණත් ඉන්නේ විශාල මායාවක.

    උඹ හදන්නේ මේ සේරමල අවුල් කරන්න. රාජ්‍යයට ද්‍රෝහීකම් කරන්න. රට බෙදන්න. උඹ ත්‍රස්තවාදියෙක්. එහෙමත් නැත්නම් මොලේ අමාරුකාරයෙක්.

    ඔව් ඒ විදිහට කියන්න පුලුවන්. ජාතියට රටට කරන අපහාසයක් වෙන්න පුලුවන්. ඒත් දැන් ජනතා පරමාධිපත්‍යය ගැන කතා කරන එකි නොකී අපා දෙපා සියලුම දෙනාත්, ඡන්දය ඉල්ලමින් ජනතාව ගැන කතා කරන මහත්තුරුත්, ව්‍යවස්ථාවත් අතර වෙනසක් නෑ. ඒ අර්ථයෙන් ඔවුන් ව්‍යවස්ථාවට අවංකයි. එයාලා එක පරමාධිපත්‍යයක් ගැනයි කතා කරන්නේ. ඒත් මට නම් එකක් ගැන හිතන්න තරම් ඇත්තක් තියෙනවද කියන එක හදවතට දැනෙන්නෙ නෑ. ඒ නිසා මම ද්‍රෝහියෙක්. ඉජන කොළමා ත්‍රස්ථවාදියෙක්. බෙදුම්වාදියෙක්.

    බොහෝ දෙනෙකුට මේ විදිහටත් කියන්න පුළුවන්. ඒත් දෙකක් කියන්න ඕන. පළමු වැන්න සුදු මහත්තුරු දේශ ප්‍රේමීන් වෙති. දෙවැන්න සුදු මහත්තුරු නිසාම මහා වංසය ත්‍රස්තවාදියෙකි.

    eජන කොළමා

  • අපි එන්නේ ඡන්ද කඩන්න නෙමෙයි, සිස්ටම් එක කඩන්න – නීතිඥ නුවන් බෝපගේ

    අපි එන්නේ ඡන්ද කඩන්න නෙමෙයි, සිස්ටම් එක කඩන්න – නීතිඥ නුවන් බෝපගේ

    තමන් ඉදිරිපත් වෙන්නේ සිස්ටම් එක කැඩීමට බවත් ඡන්ද කැඩීමට නොවන බවත් නීතිඥ නුවන් බෝපගේ පවසයි.

    නීතිඥ නුවන් බෝපගේ ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ලෙස එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව එම සන්ධානය අද (29)නිවේදනය කරන ලදී. එහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ ජන අරගල සන්ධානය ලෙස මැතිවරණයට ඉදිරිපත් වන්නේ සිස්ටම් එක කැඩීමට මිස කාගෙවත් ඡන්ද කැඩීමට නොවන බවත්ය.

    ඔහු වැඩිදුරටත් පැවසුවේ,

    ”කවුරුහරි එහෙම දෙයක් මතු කරනවානම් ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහට විරුද්ධව වෙන කිසිම දේශපාලන පක්ෂයකට ඉදිරිපත් වෙන්න බැහැ.හැම කෙනෙක්ම එහෙනම් ඡන්ද කඩන අය. අපි ඉදිරිපත් කරන්නේ වැඩපිළිවෙලක්. අපේ වැඩපිළිවෙල කිසිදු දේශපාලන ව්‍යාපාරයක් කිසිදු දේශපාලන පක්ෂයක් ඉදිරිපත් නොකරන වැඩපිළිවෙලක්. අපි පෙනී සිටින්නේ ඒ වැඩපිළිවෙල වෙනුවෙන්. ඒ වැඩපිළිවෙල කිසිදු දේශපාලන පක්ෂයක් ඉදිරිපත් නොකරන තාක් කල් අපිට පරම අයිතියක් තියෙනවා ඒ වැඩපිළිවෙල වෙනුවෙන් අරගල කරන්න, පෙනී ඉන්න.”

  • ජන අරගල සන්ධානයෙන් නුවන් බෝපගේ ජනපති සටනට

    ජන අරගල සන්ධානයෙන් නුවන් බෝපගේ ජනපති සටනට

    ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව එම සන්ධානය අද (29)නිවේදනය කළා.

    ඒ කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේදී පවත්වන ලද ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ශක ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවේදී.

    ජනාධිපතිවරණ අපේක්ෂකයාගේ නම ලහිරු වීරසේකර විසින් ප්‍රකාශයට පත් කරන ලද අතර තමිල් භාෂාවෙන් රාජ්කුමාර් රජීව්කාන්ත් සහ ඉංග්‍රීසි භාෂාවෙන් සිතාරා කුලරත්න එම ප්‍රකාශය ඉදිරිපත් කරන ලදී.

    නුවන් බෝපගේ කොළඹ, කොලොන්නාව ප්‍රදේශයේ උපත ලැබූ අතර කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනයද කොළඹ නීති විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනයද හදාරා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥයෙකු ලෙස වෘත්තියේ නිරත විය.

    ඔහු උපන් ප්‍රදේශයේ මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීමේ සටනට නායකත්වය දුන් නුවන් බෝපගේ තවත් මහජන අරගල ගණනාවක පුරෝගාමී කාර්‍යභාරයක් ඉටු කළා.

    නීතීඥයෙකු ලෙස ඔහු විදුලි බලාගාරයක් නිසා සිදුවූ පරිසර දූෂණයෙන් පීඩාවට පත් චුන්නාකම් ජනතාව වෙනුවෙන් පෙනීසිට ඓතිහාසික නෛතික ජයග්‍රහණයක් ලබා ගත්තා.

    එම මාධ්‍ය හමුවට ලහිරු වීරසේකර, වසන්ත මුදලිගේ, තරිඳු උඩුවරගෙදර, නූර් මොරීන්, ධර්මසිරි ලංකාපේලි, මොහොමඩ් ඉෂ්රි, දයාපාල තිරාණගම, අජන්ත අලහකෝන්, පී. ඩී. සරණපාල, සිතාරා කුලරත්න, දුමින්ද නාගමුව, රාජ්කුමාර් රජීව්කාන්ත්, ජයන්ත අමරසිංහ, පුබුදු ජයගොඩ, ජූඩ් නාමල් ප්‍රනාන්දු, වී. මහේන්ද්‍රන්, විජේපාල වීරකෝන් ඇතුළු ජන අරගල සන්ධානයේ විධායක කමිටු සාමාජික සාමාජිකාවන් ගණනාවක් සහභාගී වි තිබුණා.

    විශේෂයෙන් මානව හිමිකම්, පරිසරයේ ආරක්ෂාව, පනත් කෙටුම්පත් සහ ව්‍යවස්ථා සංශෝධන ආදී ක්ෂේත්‍ර වල ජනතාව වෙනුවෙන් විශාල නෛතික ජයග්‍රහණ අත්පත් කර දුන්නා.

    ජන අරගල වල ඔහුගේ තීරණාත්මක භූමිකාව නියෝජනය වූයේ 2022 අරගලයේදීය.

    එහිදී ගාලුමුවදොර පිටියේ ගෝඨා ගෝ ගම තුළ අරගල ක්‍රියාකාරිකයෙකු ලෙසද, අරගලයට එල්ල වූ රාජ්‍ය මර්දනය තුළදී නීතීඥයෙකු ලෙසද ඔහුගේ ක්‍රියාකාරීත්වය සුවිශේෂී විය.

    වර්තමානයේ නුවන් බෝපගේ ජන අරගල සන්ධානයේ විධායක සභිකයෙකු ලෙස කටයුතු කරනවා.