Breaking News

ක්‍රීඩා ඇමති ඇමති දොට්ට

ක්‍රීඩා ,යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (27) එම තනතුරුවලින් ඉවත් කරනු ලැබීය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3)(අ) ව්‍යවස්ථා යටතේ තමා වෙත පැවරුණු බලතල ප්‍රකාරව වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ධුරයෙන් ද වාරිමාර්ග අමාත්‍ය ධුරයෙන් ද ඉවත් කරන ලබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ රොෂාන් රණසිංහ ට යැවූ තනතුරෙන් ඉවත් කිරීම පිළිබඳ ලිපියේ සඳහන් වේ.

ඊයේ පස්වරුවේ කැබිනට් මණ්ඩලය ද රැස්වූ අතර එම රැස්වීම සඳහා ද රොෂාන් රණසිංහ සහභාගී කර ගනු නොලැබූ බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස රොෂාන් රණසිංහ ඉකුත් නොවැම්බර් 6 වැනිදා ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හරිමින් අතුරු පාලක මණ්ඩලයක් පත් කළ අතර පසුව අධිකරණය විසින් එම අතුරු පාලක මණ්ඩලයට තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් නිර්දේශ නිකුත් කිරීමට ජනාධිපතිවරයා විසින් ද කැබිනට් අනු කමිටුවක් පත් කරන ලද අතර අදාල සිද්ධි පදනම් කරගනිමින් රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේ දී අවස්ථා කිහිපයක දීම ජනාධිපතිවරයා ගේ මෙන්ම රජය පාර්ශ්වයේ ඇතැම් ක්‍රියාකලාපයන් ගැන විවේචනාත්මකව කරුණු දැක්වීය.

අවසන් වශයෙන් රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේ දී අද (27) පෙරවරුවේ අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙන්ම රජයේ ඇතැම් පාර්ශවයන් ද දැඩි විවේචනයකට ලක් කර තිබුණි. තමා හදිසියේ මියගියහොත් එයට රනිල් වික්‍රමසිංහ සහ සාගල රත්නායක වගකිව යුතු බව එහිදී ඔහු සඳහන් කර තිබුණි.

leave a reply