Breaking News

බංගලාදේශ ජන අරගලය ගමන් කළ යුතු දිශාව

කල්ප රාජපක්ෂ

අප පුරෝකථනය කළ පරිදීම බංගලාදේශ ශිෂ්‍ය-පොදු ජන අරගලය විසින් ඉතිහාසයේ ඕලාරික-ධනපති ගලයාමෙහි පැල්මක් ඇති කර තිබේ. ලෙනිනියානු අර්ථයෙන් නම් ඉතිහාසයේ අනුක්‍රමික චලනය ප්‍රතික්ෂේප කරමින් බංගලාදේශ ජනතාව ජනතාවගේ අසන්තකරණය කළ නොහැකි පරමාධිපත්‍යය බලය අභ්‍යාස කරමින් ‘පාලකයා’ ගෙදර යවා තිබේ.
එය ඉතිහාසයේ පිම්මකි (A Leap).

ඒ හුදු පුද්ගල චරිතයක් ‘ගෙදර යැවීමේ’ සිදුවීම නිසා නොව එය කිරීමට භාවිතාකළ සෘජු ප්‍රජාතන්ත්‍රවාදයේ මාවත ඌන සංවර්ධිත රාජ්‍යයක භාවිතා කිරීමේ හැකියාව පිළිබදව සමාජ විඥානය වර්ධනය වීමේ පිම්මක් වශයෙනි. එවැනි ප්‍රජාතන්ත්‍රවාදයේ නිම වළලු පුළුල්වීමක් තුළ ‘අනෙක් දේශපාලනයට’ විකටයාගේ භූමිකාව රගපෑමට අවස්ථාව ලැබේ.
අප විමසිල්ලෙන් බලන කරුණක් වන්නේ ආකෘතිකමය වශයෙන් ශ්‍රී ලංකාවේ ජන අරගලයට බොහෝ සමානකම් තිබු මේ අරගලය ශ්‍රී ලංකාවේ අරගලය මෙන්ම අවසන්වීමට ඉඩ ඇතිද? අවසන් කිරීමට සංස්ථාපිතයට හැකියාව ලැබෙනු ඇතිද? යන්නයි.

  1. ශිෂ්‍ය-ජන අරගලය තුළ අපරිමිත කැපකිරීම් මැද අරගලය ගෙනගියේ ශිෂ්‍ය ප්‍රජාවයි. ඔවුන් ගම්මාන, නගර, මංමාවත් වල විවිධ මාදිලි වලින් ගෙනගිය අරගලය අවසානයේ මිලිටරි සහයෝගය ලැබුණු ඩකා-අත්පත්කර ගැනීමක් දක්වා වර්ධනය විය. මේ වනවිට දක්නට ලැබෙන බරපතලම ප්‍රවනතාවක් නම් මිලිටරිය තම බලය අභ්‍යාස කිරීම ආරම්භ කිරීමයි. මේ අරගලයේ ප්‍රකාශකයා සහ බලවේගය බවට පත්වීමට ශිෂ්‍ය ප්‍රජාව මිලිටරියට ඉඩ නොතැබිය යුතුය. ශිෂ්‍ය සහෝදරයා සහෝදරිය, මිලිටරිය විස්වාස නොකරනු! ඔවුන් ආරක්ෂා කරන්නන්ට හදන ව්‍යවස්ථාව යනු ඔබ මේ තාක් පෙලූ ලියවිල්ලම බව බංගලාදේශ ජනතාව තේරුම් ගත යුතුය.

  2. පත්විය යුතු අන්තර්වාර ආණ්ඩුවේ සංයුතිය තීරණය කල යුත්තේ මිලිටරිය නොව ශිෂ්‍ය – ජන ප්‍රජාවගේ නායකත්වය විසිනි. එවැනි අන්තර්වාර ආණ්ඩුවක බහුතර බලය ශිෂ්‍ය ව්‍යාපාර ඇත තබා ගැනීම අනිවාර්ය විය යුත්තේ මේ අරගලයේ ඉදිරිය තීරණය කිරීමේදී සංස්ථාපිතය විසින් අනිවාර්ය වශයෙන් කරන නිශ්චිත බලාපොරොත්තු කඩකිරීම් සහ දරුණු ප්‍රතිප්‍රහාර වලට මුහුණ දීමටය. නිශ්චිත ජයග්‍රහණ ඇත්තේ මන්දිර තුළ නොව මාවතේ බව ශිෂ්‍ය ව්‍යාපාරය මේ මොහොතේ තේරුම් ගත යුතුව ඇත.

  3. මිලිටරිය ප්‍රමුඛ ආණ්ඩුව ශිෂ්‍ය-ජන අභිලාශ වලට පිටින් කටයුතු කරන්නේනම් එයට විරුද්ධව සටන් කිරීම මීටත් වඩා තීරණාත්මක වීමට ඉඩ ඇත. එමනිසා සටන් පෙරමුණු වෙනුවෙන් ගොඩනැගු ජන පෙරමුණු දේශපාලනිකව සන්නද්ධ කිරීමේ වගකීම වාමාංශික ව්‍යාපාරයට සහ ශිෂ්‍ය ව්‍යාපාරයට ඇත.

  4. රාජ තාන්ත්‍රික, මිලිටරි සහ පක්ෂ නායකයන්ගේ සාකච්චා පිඩිත ජනතාව වෙනුවෙන් නොව බල තුලනයේ ක්‍රීඩාවේ අලුත් අදියරයක් බව තේරුම් ගත යුතුව තිබේ. ලංකාවේ ‘වමේ’ පක්ෂ නායකයෙක් ජන අරගලය ගැන ඇසුවිට කිවේ ‘ව්‍යවස්ථාවෙන් පිට මොනවත් කරන්නේ අපි ලෑස්ති නෑ’ කියා. මේ බල ක්‍රීඩාව අවසන් වන්නේ එවැනි විහිළු සහගත ‘නව සාමාන්‍යයන්’ වලින් බව ශිෂ්‍ය-ජන අරගලයේ විප්ලවීයම කොටස් තේරුම් ගත යුතුය.

  5. හසීනා ගෙන් ‘සිස්ටම්’ එක ප්‍රතිමුර්තිමත් නොවේ. ඇය පශ්චාත්-නිදහසේ ගැඹුරු රෝග ලක්ෂණයක් පමණි. සිස්ටම් වෙනස් කිරීමේ අරගලය පන්ති අරගලයයි. එය තෝරනු ලබන්නේ නිර්ධන පන්තිය සහ අවශේෂ ධනපති නැඹුරුවක් සහිත පන්ති-පක්ෂ අතර ඇතිවන මුලෝපායික අරගලයකින් මිස ‘ආදරයේ අරගලයකින්’ නොවේ.

මාසයකට අධික කාලයක් පුරා බංගලාදේශ ජනතාව දැක්වූ සටන්කාමීත්වය දකුණු ආසියාවේ පමණක් නොව ලෝකයේ නුතන ජන අරගල ඉතිහාසයේ ගැඹුරින් සටහන් වීමට නියමිතව තිබේ. එයට මේ මොහොතේ දේශපාලන බලයේ මැට්‍රික්සය සහ පන්ති ඉතිහාසයේ වගකීම සම්බන්ධ කිරීමේ ගැඹුරු වගකීම බංගලාදේශ ශිෂ්‍ය-ජන අරගලය මතම පැටවෙන්නේ ද එබැවිනි.

leave a reply