Breaking News

ජීවන වියදම වැඩිවෙන තරමට වැටුප් වැඩි නොවෙන හැටි

නිල දරිද්‍රතා රේඛාව අනුව එක් පුද්ගලයෙකුගේ මාසික වියදම ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, මේ වසරේ ජනවාරි මාසය තුළ එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට අවශ්‍ය අවම වියදම සාමාන්‍යයෙන් රුපියල් 17,014ක් ලෙස ඉහළ ගොස් ඇති බවයි.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී එහි අගය 16,524ක් ලෙස සටහන්වී තිබුණා.

එක් පුද්ගලයෙකුට තම මූලික අවශ්‍යතා සපුරාගැනීම සඳහා මසකට වැය වන මුදල දිස්ත්‍රික් මට්ටමින් ගණන් බලා ඇති අතර වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත් වන පුද්ගලයින්ට බවද එහි සඳහන්.

ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ ඒක පුද්ගල මාසික වියදම රුපියල් 18,350ක් වන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ 18,256ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ 17,892ක් ලෙස සටහන්වී තිබෙනවා.

අවම ඒක පුද්ගල වියදම මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එය 16,268ක් බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

නිල දරිද්‍රතා රේඛාව ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ජාතික හා දිස්ත්‍රික් මට්ටම්වල මිල වෙනස්වීම් සැලකිල්ලට ගනිමින් සකස් කරනු ලබනවා.

පසුගියදා පෞද්ගලික අංශයේ අවම වැටුප 17500 දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව වාර්තා විය. ඒ අනුව එම අවම වැටුප හරහා ජීවත්විය හැක්කේ එක් පුද්ගලයෙකුට පමණක් බව පැහැදිලිය. කොළඹ දිස්ත්‍රික්කය තුළ ජිවත්වන පුද්ගලයෙකුට නම් එයද ප්‍රමාණවත් නොවේ.

මෙම ගණන් බැලීම් අනුව 04 දෙනෙකුගෙන් යුත් පවුලකට 68000ආසන්න මුදලක් අවශ්‍ය වේ. මෙවැනි වැටුපක් හිමිවන්නේ ඉතා සුළු පිරිසකට පමණි. විශේෂයෙන් රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ බොහෝ පිරිසක් ණය වාරික ගෙවමින් තිබීම නිසා අතට ලැබෙන්නේ සොච්චම් මුදලකි.

එසේ තිබියදී ආණ්ඩුව පෞද්ගලික අංශයට රු 5000න් සහ රාජ්‍ය අංශයට රු 10000න් පඩි වැඩිකිරීමට තීරණය කර තිබීම විහිළුවකි.

 

leave a reply