Breaking News

ධම්මික පැණිය වෙනුවෙන් ආණ්ඩුව දිගටම පෙනී සිටියි – ඉදිරියේදී විද්‍යාත්මක පර්යේෂණවලත් ලක් කරනවලු

කෑගල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර නැමැත්තෙකු විසින් නිෂ්පාදනය කළ පැණියට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය ලබාදී ඇති බවත් ඉදිරියේදී විද්‍යාත්මක පර්යේෂණයකට යොමු කරන බව කැබිනට් ප්‍රකාශක, වෛද්‍ය රමේෂ් පතිරණ අද පැවති මාධ්‍ය හමුවකදී පවසා තිබේ. එහෙත් colombo gazzette වෙබ් අඩවිය ඊයේ (21) වාර්තා කර ඇති පරිදි කොවිඩ් -19 වෛරසය පාලනය කිරීම සඳහා රජය විසින් නිර්දේශ කර තිබූ කෑගල්ල ධම්මික බණ්ඩාර විසින් හඳුන්වා දුන් ‘පැණිය’ සෞඛ්‍ය අමාත්‍යංශය පරීක්ෂණ කටයුතුවලින් ඉවත් කර තිබේ.

කොවිඩ් මර්දනය කිරීමට මෙරටින් සොයාගත් නව ඖෂධ වර්ග 3ක් පරීක්ෂණ කටයුතු සඳහා ජාතික පර්යේෂණ සභාව (NRC) වෙත භාර දෙන බවට කලින් සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දී තිබුණත්, පසුගිය 18 වැනිදා පැවති ඒ සඳහා අනුමැතිය ලබාදීමේ හමුවට ඉදිරිපත් කර තිබුණේ ඖෂධ වර්ග 2ක් පමණක් බව එම සභාව පවසයි. මහත් ආන්දෝලනයකට තුඩු දුන් කෑගල්ලේ ධම්මික බණ්ඩාරගේ පැණිය සම්බන්ධ යෝජනාව ඒ අතර නොවූ බව බව colombo gazzette වෙබ් අඩවිය කළ විමසුමකදී එම පර්යේෂණ සභාවේ සභාපති විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහළ පවසා තිබේ.

අද පැවති මාධ්‍ය හමුවකදී ධම්මික බණ්ඩාරගේ පැණිය ගැන අදහස් දක්වමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රමේෂ් පතිරණ වැඩිදුරටත් පැවසුවේ,
“මේ සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් සිදුකිරීමට රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ඇතුළු පිරිස කටයුතු කරනවා. ඒ යටතේ දී ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සුත්‍ර කමිටුව විසින් මෙම ඖෂධය අනුමත කරලා තියෙනවා. එම ඖෂධය සූත්‍ර කමිටුව විසින් අනුමත කිරීමෙන් පසුව ඒ සඳහා අවශ්‍ය ආචාරධර්ම කමිටුවකින් මේක අනුමත කිරීමට අවශ්‍යයි. එම ආචාරධර්ම කමිටුවට මෙම පරීක්ෂණය පිළිබඳ තොරතුරු හෙට ඉදිරිපත් කරනවා.

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආචාරධර්ම කමිටුවෙන් එම අනුමැතිය ලැබුණු පසුව මෙය විද්‍යාත්මක පරීක්ෂණයට භාජනය කිරීමට බලාපොරොත්තු වෙනවා. එහිදී අපි බලාපොරොත්තු වුණ විදියට බටහිර වෛද්‍ය විද්‍යාව සඳහා මෙය භාවිත කරනවා නම් එයට සාක්ෂි මත පදනම්ව මෙය ඖෂධය භාවිත කිරීමෙන් රෝගය නිශ්චිතව සුව වෙන බවට පරීක්ෂණයක් සිදුකළ යුතුයි. එය සිදුකිරීමට තමයි සුදානම් වන්නේ. එම පරීක්ෂණයට අවශ්‍ය මුලික අනුමැතිය ලබාගැනීම සිදුවෙනවා. එම පරීක්ෂණයෙන් පසුව අපිට නිශ්චිතව එය බටහිර වෛද්‍ය විද්‍යානූකූලව රෝගය නිශ්චිතව සුව කිරීමට සමත් ද කියන එක අපිට හෙළි කළ හැකියි.

එතකල් අපිට ඒ සම්බන්ධයෙන් බලා සිටීමට සිදුවෙනවා. ස්වාධීන කැමැත්තෙන් ඖෂධය ලබා ගන්නා අය වළක්වන්න බෑ. මොකද දේශීය වෛද්‍ය විද්‍යාත්මකව ඔවුන් එය ආහාර සංඝටකයක් ලෙස ඔවුන්ට අනුමැතිය ලබාදීලා තියෙනවා. එයට විරුද්ධ වීමට අපට හැකියාවක් නෑ”

එහෙත් covid – 19 වෛරසය පාලනය කිරීම සඳහා රජය විසින් හඳුනාගත් දේශීය ඖෂධ වර්ග මහජනයාට සුදුසුද? නැද්ද? යන්න පිළිබඳව පරීක්ෂා කර බැලීමත්, ඒවාගේ ඉදිරි පරීක්ෂණ කටයුතු වෙනුවෙන් අරමුදල් සැපයීමේ බලයත් පැවරී ඇත්තේ ජාතික පර්යේෂණ සභාවටයි. පසුගිය 18 පැවති එම හමුවට දේශීය ඖෂධ වර්ග 2ක යෝජනා පමණක් ඉදිරිපත්ව තිබුණු බවත්, ඒවා ආචාර්ය හර්ෂ සුබසිංහ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරී නෙරංග අබේසිංහ යන මහත්වරුන්ගේ පමණක් වන අතර, එම දේශීය ඖෂධවල ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දුන් බවත් එම පර්යේෂණ සභාවේ සභාපති විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතා පවසයි. කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ දේශීය ඖෂධ ‘පැණිය’ සම්බන්ධයෙන් පරීක්ෂණය කර වාර්තාවක් නිකුත් කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද ජාතික පර්යේෂණ සභාව (NRC) වෙත දැනුම් දී ඇති පසුබිමකයි සෞඛ්‍ය අමාත්‍යංශය විසින් එම ‘පැණිය’ මෙසේ පරීක්ෂණ කටයුතුවලින් ඉවත්කර තිබෙන්නේ.’

ජාතික පර්යේෂණ සභාව විසින් මෙම කරුණු අනාවරණය කර තිබුණේ ඊයේ දිනයේදීයි. එසේ තිබියදී පවා ඇමතිවරයා මේ සඳහන් කරන ඉදිරි පර්යේෂණ කටයුතු මොනවාද ඒවා කා යටතේ සිදුවේද යන පැහැදිලි නැත. ලෝකයේ එන්නතක් හෝ ඖෂධයක් සඳහා අනුමැතිය ලබාගන්නා පියවර කීපයක් තිබේ. ලංකාවේ ද දේශීය සහ බටහිර යන දෙවර්ගයේම නව ඖෂධ සම්බන්ධයෙන් එම පියවර අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ඒ අනුව සතුන් යොදාගෙන කරනු ලබන මූලික පර්යේෂණ, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන මිනිසුන් යොදාගෙන කරනු ලබන පර්යේෂණ, විවිධ මට්ටම්වල ප්‍රතිශක්තිය සහිත වැඩි ජනතාවක් යොදාගනිමින් කරනු ලබන පර්යේෂණ යන පියවරවලින් පසු අදාළ පර්යේෂණ වාර්තා ඖෂධ නියාමන ආයතන වෙත ලබාදිය යුතුය. ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන්ගේ අනුමැතිය ලැබීමෙන් පසු අදාළ ඖෂධය නිෂ්පාදනය කොට බෙදාහැරීමට අනුමැතිය හිමි වේ. එවැනි තත්ත්වයකදී කිසිදු පදනමක් නොමැතිව පැණි ‘ප්‍රමෝට්’ කිරීම යනු ජනතාවගේ ජීවිත අවදානමේ දැමීමකි.

leave a reply