Breaking News

මහවැලි ඉඩම්වල වැලි කැණීමට බලපත්‍ර දීමේ දී ගාස්තු අයකරගෙන නැහැ

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩම්වල වැලි කැණීම් සඳහා රජය විසින් බලපත්‍ර ලබා දීමේ දී ඉඩම් පරිහරණ ගාස්තුව නියමිත ආකාරයට අය කර නොගැනීම නිසා අධිකාරියට රු.විසි හත්කෝටි අසූ හය ලක්ෂ අසූ පන්දහස් හයසිය හැට පහක ආදායමක් අහිමි වී තිබෙන බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

මේ බව අප්‍රේල් මස 30 වැනි දින නිකුත් කරන ලද විගණන වාර්තාවක සඳහන්.

මහවැලි සී කලාපයට අදාළ ඉඩම්වල වැලි කැණීම් සඳහා බලපත්‍ර ලබා දීමේ දී 2016 වර්ෂයේ ජනවාරි 01 වැනි දා සිට 2018 දෙසැම්බර් 31 දක්වා යන වර්ෂ 03 ක කාල සීමාවේ දී මාසයකට අදාළ ඉඩම් පරිහරණ ගාස්තු පමණක් අය කර වැලි කැණීම් බලපත්‍ර 386 ක් එම වර්ෂ තුළ නිකුත් කර තිබෙනවා.

මේ අනුව වැලි කැණීම් බලපත්‍ර සඳහා ඉතිරි කාලයට අය විය යුතු බලපත්‍ර ගාස්තු මුදල අය කර ගැනීමට නොහැකි වී තිබෙනවා.

මහවැලි අධිකාරියට රුපියල් කෝටි 27 කට වඩා වැඩි මුදලක් අහිමි කිරීම සම්බන්ධව වගකිව යුතු නිලධාරීන් සහ කැණීම් බලපත්‍ර ලබා දීමේ දී වගකීම් විරහිත ව ක්‍රියා කළ හා පසුව ඒ සම්බන්ධව නිසි අධීක්ෂණයක් නොකළ නිලධාරීන් කවුරුන්ද යන්න පිළිබඳව පරීක්ෂණයක් සිදු කර වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීමට මහවැලි අධිකාරිය විසින් කටයුතු කර නොතිබූ බව ද එම විගණන වාර්තාවේ සඳහන්.

අධිකාරියට ගෙවිය යුතු ආදායම් අහිමි කිරීමට වගකිව යුතු පාර්ශ්වයන්ගෙන් මෙම මුදල අය කර ගැනීමට නොපමාව කටයුතු කළ යුතු බව ද විගණනය මගින් නිර්දේශ කර තිබෙනවා.

මේ පිළිබඳව මහවැලි සංවර්ධන අධිකාරියේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත්තේ කෝටි විසි හතකට වැඩි ආදායමක් රජයට අහිමි කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන් හඳුනාගැනීම සඳහා වාරිමාර්ග අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්ගේ සහභාගිත්වයෙන් මෙම වර්ෂයේ මාර්තු මාසයේ දී පරීක්ෂණයක් සිදු කර ඇති බවයි.

විමර්ශනයේ නිර්දේශ මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවද අධිකාරියේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර තිබෙනවා.

leave a reply