Breaking News

රාත්‍රී අඳුර විනිවිද ඇසෙන ඒ කුරුළු හඬ

රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන – අනූෂා සිවලිංගම්ගේ පරිවර්ථනය කි.

උතුර දකුන යා කරන සාහිත්‍ය පාලමක මෑත කාලීන පුරුකක් ලෙස අනූෂා සිවලිංගම්ගේ “රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන” නම් පරිවර්ථන කවි එකතුව හැඳින්වීමට පුළුවන. එය දීපචෙල්වන් කවියා 2008 වසරේදී “බංකරයක උපන් දරුවෙක්” නමින් ප්‍රකාශ කළ කාව්‍ය සංග්‍රහයේ සිංහල ප්‍රකාශනය යි. දීපචෙල්වන් මෙලොව එළිය දකින්නේ යුද ගිනි දැල් මැදය. ඔහු හැදී වැඩී යෞවනයකු වන්නෙත් එම ගිනි දැල් මතින් ම ය. කවිය ඔහුගේ ප්‍රකාශන මාධ්‍ය කරගන්නේද යුධ ගිනි ඇවිලෙන අතරේදී ම ය. කවියා එම කාල වකවානුව සිහිපත් කරන්නේ “අහසත් පොළවත් උදුරාගත් වේදනාබර ප්‍රදේශවල ජීවත්වන ජනයාට සාමය, නිදහස, ආර්ථික යහපත වැනි සියල්ල නිවෙස තුළ ඉබියතුරු දමා වසා තිබුණ” කාලයක් ලෙසිනි.

මිනිසුන් ලෙස ඉපදී මිනිසුන් ලෙස ජීවත් වී ගෞරවාන්විත මරණයක් ලැබීමේ ශුද්ධවූ අයිතිය අප වහරන භාෂාව කුමක්ද කියා ප්‍රශ්න නො කර ම එකල අපෙන් උදුරාගෙන තිබූ බව සත්‍යය කි. “යාළ් නගරය” නමින් හමුවන කවියේ මිනිස් ජීව්තයක්, කෙතරම් ලඝු කොට නො සළකා හැරියේද යන කාරණය කවියා ඉස්මතු කරයි. පහත් දැක්වෙන්නේ එම කවියේ කොටස් කිහිපයකි.

මගේ මළකුණ
කිසිවක් නොලැබම
ලෙයින් වැසී ඇත

මා කවුදැයි
ඔබ නොදන්නවා ඇති
එය සෙවීමට
උනන්දුවක් නැතිවත් ඇති

මොන නිල ඇඳුමටද මං බය වුණේ
සිවිල් ඇඳුම් ඇඳගත්තවුන්ගෙන්
ඇයි මං වෙඩි කෑවේ?

කුමන ආකාරයක වෙඩිල්ලකින් හෝ බෝම්බයකින් කෑලි කෑලි වලට කැඩී බිඳී ගිය මිනිස් ජීවිත එකල ධර්මද්වීපයේ කිසිදු නගරයකට අමුත්තක් නො වීය. “ඇයි මං වෙඩි කෑවේ” යන පැනය ඒ සෑම මළකුණක් ම ජීවත්වන අපෙන් අසනු ලැබූ පැනයකි. එකල ඔවුනට මරණය කෙතරම් සුළභ සංසිද්දියක් වීද යත්, නගරය මැද වෙඩි වැදී මියගිය නාඳුනන තරුණ සිරුර පිළිබඳව නො සළකා නුවරු තම දෛනික කටයුතු ලහි ලහියේ සිදු කරගෙන යති.

“ඔබ පොරකමින් කඩ ඉදිරියේ
සිල්ලර බඩු ගන්නවත් ඇති
අඩු බඩුවලින් වැඩි ජීවන බරින්
ගෙදර එනවත් ඇති” යනුවෙනි.

යුද්ධයට ළමා සොල්දාදුවන් කැඳවීම පිළිබඳව සටන් කරුවන් වෙත එම කාලයේ කෙරෙණු බරපතල චෝදනාවකි. “බංකරයක් උපන් දරුවකු”නම් කවිය ළමා අයිතිවාසිකම් පිළිබඳව සොල්දාදු භූමිකාවෙන් එහා ගිය පුළුල් කතා බහකට ආරාධනා කරයි.

දරුවන්ගේ සිඟිති සිනා
වළ දමා පොළෝ ගැඹුරේ
අපි තැළී ගිය අනාගතයකට
වාඩිලාගෙන සිටිමු

මා උපන්නේද යුද්ධයක් මැද බව අම්මා කියා තිබුණි, දැන් මගේ දරුවාද මේ බංකරයේම ප්‍රසූත කළෙමි කවියා තවදුරටත් පවසන්නේ ය.

ආහාර නිවාස ඇඳුම් මිනිසුන්ගේ මූලික අවශ්‍යතා ලෙස මිනිස් සමාජය හඳුනාගෙන ඇත. නිවාස දස ලක්ෂයක් සෑදීමේ දැවැන්ත ව්‍යාපාරයක් දකුණේ දියත් කර තිබූ සමයක් ද විය. “සැමට හිසට සෙවණක්” ලබා දීම එම ව්‍යාපාරයේ ප්‍රධාන දැක්ම විය. එහෙත් ඔවුන්ගේ දැක්මෙන් ගිලිහුණ මිනිසුන් කොටසක් ද මෙරටෙහි විසූ බව පසක් කරන කවියකි “අම්මාගේ නිවාස සැලැස්ම”නමින් හමුවන කවිය.

අතක් අහිමි
අම්මා
අපවද තුරුළු කරගෙන
තනි අතින්
නිවසේ සැලැස්ම අඳියි

සොහොන් බිම නිදන
අයියා සමඟද
අම්මා
මේ සැලැස්ම ඇද තිබුණි

ඒ අතක් අහිමි අම්මා එම නිවාස සැලැස්ම අඳින්නේ අටවපු බංකරයක හිඳ බව කවිය ඇරඹුමේදී කවියා පවසන්නේ ය.

මෙම කාව්‍ය සංග්‍රහයපුරා දැකීමට හැකි විශේෂ ලක්ෂණයක් වන්නේ, බොහෝ තැන් වල හිතා මතා ම කෙරෙන ව්‍යාකරණ රීතින් බිඳීම ය. එය කවියා සචේතිනික ව සිදුකරන බව අපට සිතෙයි. යුද්ධය ඇරඹෙන්නේ භාෂා ද්විත්වයකින් වෙන් කරන ලද ජන කොටස් දෙකක් අතරය. දහස් ගණනක් මිනිස් ජීව්ත විනාශ වී යන්නේ එම භාෂාවන් හේතුකොටගෙන ය. භාෂාවට වඩා මිනිස් ජීව්තය වටින්නේ නොවේ ද? එම මිනිසුන් අතර දීර්ඝ කාලයක් තිස්සේ රැකගෙන ආ අන්‍යෝන්‍ය අවබෝධය, සාමුහිකව ගොඩ නගාගත් සහජීවන පවතින්නේ භාෂාවට ඉහළින් නොවේද? එසේ නම් තව දුරටත් එම භාෂා වෙනුවෙන් පෙනී සිටින්නට උවමණා ද යි සිතන්නට කවියා අපට බලකර සිටින්නාක් වැනිය.

“වෘකයන් රාත්‍රිය සපා කෑහ”
“දරුවන් ආහ”
“බයිබලය දේවගැතිවරුන් රැගෙන ගියහ”

“ගම අතැර ගියවුන්ගේ ගීතය” නම් කවියේ ඇරඹුම ද ගැඹුරු සංවාදයක ට මුල පුරන යෙදුමකි.

ධාන්‍ය පිරුණ නිවෙස්‍ ය
නිවෙස් පිරුණ ගම්‍ ය
එත්, අත හැර
අපි පිටත් වීමු

ප්‍රහාර නිසා ඔවුන් මේ අතැර යන්නේ අප ජාතික ගීතයේ “ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා” ලෙස හඳුන්වන ඔවුන්ගේ උපන් ගම් බව නොවේද කවියා අපට ඉඟි කරන්නේ?
කවියාගේ මුඛ්‍ය ප්‍රකාශනය හුදෙක් යුද්ධයේ පීඩාව සහ අසාධාරණය පිලිබඳව හඬ නැගීම පමණක් ම නොව. ඔහු යුද්ධය පළ රහිත බවත්, අවධාරණය කරනු ලබයි. එම කවියේ මතු දැක්වෙන කොටස ඒ සඳහා එක් නිදසුනකි.

“අහස මත
ඉතිරිව ඇත්තේ
කැබලිති සඳක් පමණි
විසල් රුක් අතර
කැලෑවට ඇදපු පාරවල් දිගේ
කොහේටද මේ අපි යන්නේ.”

කැලෑවට ඇදපු පාරවල් යන ප්‍රබල යෙදුම යුද්ධයෙන් සියල්ල දිනන්න සිතන පිරිසට අභියෝග කරන ප්‍රබල ප්‍රකාශනයකි.

කවියා වරෙක පවතින ක්‍රමය කෙරෙහි ඔහුගේ විරුද්ධත්වය ද පළ කරයි.

“යුද්ධය වෙනුවෙන්
කොටු වූ බල්ලා
එකම තාලෙන්

උඩු බුරයි” යුද්ධයට ආවඩන බල්ලෝ දෙපාර්ශ්වයේ ම නොසිටියේද? ඒ බල්ලන් මැද, කැලෑවට ඇදපු පාරවල් දිගේ

කොහේටද මේ අපි යන්නේ.” යනුවෙන් ප්‍රශ්න කරන්නට තරම් නිර්භය වූ මෙම කවියා අපට ආඩම්බරයකි.

“මරණ කඳු ගොඩ ගස
කඳුළු කැටි පුරවා
රට තැනීය

අඳුරෙන්” – අඳුරෙන් තැනූ රටකට අනාගතයක් පෙනේ ද? යුද්ධය අවසන් වී මෙතරම් කාලයක් ගත වී ඇතත් අප තවම අඳුරේ අත පත ගාමින් සිටින්නන් නොවේ ද?

අසූව අනූව දශකවල, ද්‍රවිඩ බසින් ලියවුණ කවි සිංහල ජන සමාජයට ඉදිරිපත් කළ කවියන් පිරිසක් විය. ඔවුන් ලබා දුන් ආලෝකයෙන් අපි අපගේ අසල්වැසියන්ගේ හෘද්‍රස්පන්දනය යම් දුරකට එකල හඳුනා ගතිමු. ඒ හඳුනා ගැනීම්වලට සංවේදී වෙමින් ද්‍රවිඩ ජන සමාජය පිළිබඳව සිංහලෙන් ලියූ සිංහල කවියන්ද රැසකි. ඔවුන්ගේ කාව්‍ය නිර්මාණ ද සිංහල ජන සමාජය ද්‍රවිඩ සමාජය දෙස බලන ආකාරය වෙනස් කරන්නට සමත් වූ බව සත්‍යයකි. ජාතික සමගිය වෙනුවෙන් එම කවි කිවිඳියන් තැනූ බිම ජාතික දේශපාලනයේ පටු උවමණා එපාකම් නිසා සෝදාපාලුවට ලක් නො වීනම්, මේ වන විට දකුනත් උතුරත් එකම යායක් ව පැවතිය යුතු ය. එහෙත් එය එසේ වී නොමැත.

යුධ ගිනි දැල් මැද නෙක මාරක කඩ ඉම් පසුකර මරණය දැක දැක ජීවිතය බේරා ගත් තරුණයකුවන දීපචෙල්වන් ඔහුගේ වේදනාව හා සිය ජීවිත අත්දැකීම් හරහා උගත් පාඩම් අපට කවියෙන් කියා ඇත. දෙ ජාතියක් අතර ඇති භාෂාව නම් බාධක පවුර විනිවිද අනූෂා ෂිවලිංගම් කිවිඳිය එම කවි සිංහල සමාජය වෙත පිරිනමා ඇත. රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන කාව්‍ය සංග්‍රහය ඔබගේ පොත් එකතුවේ තිබිය යුතු ම පොතකි.

 

leave a reply