Breaking News

අයවැය ගැන විපක්ෂය කියන කතා

2024 වර්ෂයට අදාළ අයවැය මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අයවැය සම්බන්ධයෙන් මේ වනවිට අදහස් පළවෙමින් පවතියි. මේවනවිට සමාජ මාධ්‍ය ජාල හරහා අදහස් දක්වන පිරිස් පවසමින් සිටින්නේ වැඩිවෙන ඒවා මධ්‍යම රාත්‍රියේ සිටත් කැපෙන ඒවා ජනවාරි සිටත් ලැබෙන ඒවා අප්‍රේල් සිටත් ලැබෙන මෙවර අයවැය විජ්ජාවක් බවයි. කෙසේවෙතත් අයවැය ගැන විපක්ෂ කණ්ඩායම් කිහිපයක් දැක්වූ අදහස් පහත දැක්වේ.

අයවැය කතාවෙන් පාලකයන්ට දිව්‍ය ලෝකේ ජනතාවට අපාය පෙන්නුවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයත් අභියෝගට ලක් කරලා

එසේම ජීවන වියදම් යෝජනාව 7000 සිට 17000 දක්වා වැඩි කිරීම අයවැය යෝජනාවේ පැවැතියත් ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ 7500 – 10000 දක්වා බවත් ඊට අමතරව අයවැය කතාවේ සමහර අංශ මන්ත්‍රීවරුන්ට ලබා දීමට පෙර මාධ්‍යයට ලබා දී ඇති බවත් ඒ තුළින් පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය පවා අභියෝගයට ලක් කර ඇති බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ මෙය රටේ ජනතාව රැවැටීමට උපයෝගී කර ගත් මාධ්‍ය සංදර්ශනයක් බවයි.

අයවැය කතාවෙන් බුදුදහමට නිග්‍රහයක් සිදු කළා

තවද සුබ මොහොතින් කළ අයවැය කතාව අනුව පාලකයන්ට දිව්‍ය ලෝකයත් රටේ ජනතාවට අපායත් පෙන්වා ඇති බවත් මෙම අයවැයෙන් ජීවන වියදම් දීමනාව අප්‍රේල් මාසයේ සිට ලබා දෙන්නේ රජයට මුදල් නොමැති නිසා බැවින් මෙයට නොරැවටෙන ලෙසත් ඉල්ලා සිටි විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ, බුදුදහම උපයෝගී කර ගෙන බුදුදහමට නිග්‍රහ කරමින් ව්‍යාජ අයවැය ඉදිරිපත් කර ජනතාව තවදුරටත් අපහසුතාවට පත් නොකරන ලෙස යි.

එමෙන් ම ලර්න් ඒෂියා සංගණනයට අනුව ලක්ෂ 30 සිට 70 දක්වා ලක්ෂ 40කින් දුප්පත්කම වැඩි වී ඇති බවත් අස්වැසුම පවා අවිද්‍යාත්මක වැඩසටහනක් බවත් එය දේශපාලන ගුන්ඩුවක් බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තවදුරටත් කියා සිටියේ, මේ අයවැය කතාවට ඇති පැහැදිලි විකල්ප සම්බන්ධයෙන් තමාගේ කතාව තුළින් ඉදිරිපත් කරන බව යි.

Smart රටකට, හරිත නීල ආර්ථිකයකට – “ණය”වැයක්…!

මෙම 2024 වර්ෂයට අදාළ විසර්ජන කෙටුම්පතේ රාජ්‍යයේ සමස්ත වියදම ලෙස ගණනය කර ඇත්තේ රුපියල් බිලියන 3860ක් බවත්, ඒ අනුව 56%ක්ම වෙන්වී ඇත්තේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා යටතේ ඇති අමාත්‍යාංශ 4කට පමණක් බවත් නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කියයි.

“මේ පිළබඳ ප්‍රධාන ගැටළුව නම් ස්මාර්ට් රටක් හදන්නට හදන රටක අත්‍යවශ්‍යම අමාත්‍යාංශවලට 2023 ට සාපේක්ෂව ඉතාම අඩු මුදලක් යොමුකරල තියෙන්නෙ. එය ජනාධිපතිවරයා පුන පුනා කියන සංවර්ධිත රාජ්‍යයකට යන ගමන පිළිබඳ බරපතල සැකයක් මතුවන්නක්”

’’මෙවර අයවැයෙන් ජනතාවට සහන නෑ’’ – ජී එල් පීරිස්

මෙවර අයවැයෙන් ජනතාවට කිසිම සහනයක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් පැවසීය.

රාජ්‍ය සේවකයාට රුපියල් 10000 ක දීමනාව ලැබෙන්නේ අප්‍රේල් මාසයේ සිට බව පැවසූ මන්ත්‍රීවරයා විශ්‍රාමිකයන්ටද 2500 දීමනාව ලබාගැනීමට අප්‍රේල් මාසය තෙක් බලා සිටීමට සිදුවන බව ප්‍රකාශ කළේය.

අයවැය එන්න පෙර වැට් එක ගැසූ හෙයින් ජීවන වියදම අහස උසට ගොස් ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

වැට් බද්ද නිසා අද සිට සියලු භාණ්ඩවල මිල ඉහළ යන බවද මහාචාර්යවරයා පැවැසීය.

දැනට හත් ලක්ෂයක් විදුලිය විසන්ධි කර ඇති බවත් මේ කිසිදු ප්‍රශ්නයකට මෙවර අයවැයෙන් විසඳුම් නැති බවත් මහාචාර්ය ජී එල් පීරිස් පැවසීය.

leave a reply