Breaking News

ජනතා බදු මුදලින් ණය ගෙවන අධිවේගී මාර්ගවල අයිතිය පුද්ගලික සමාගම්වලට!

අධිවේගී මාර්ග ජාලය පවත්වාගෙන යෑම සහ එවායේ ටිකට් හරහා මුදල් ඉපයීමේ අයිතිය පුද්ගලික සමාගමක් වෙත පැවරීමට රජය තීන්දු කර තිබෙනවා.
දැනට රජයට පූර්ණ අයිතිය සතු වන සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් නම් සමාගමක් වෙත මාර්ග සංවර්ධන අධිකාරිය සතු අධිවේගී මාර්ග සහ එයට අනුබද්ධ සම්පත් පැවරෙනු ඇති. එයින් පසු ක්‍රමානුකූලව එම සමාගමේ අයිතිය පුද්ගලික අංශය වෙත පැවරීමේ සැලසුමක් ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසනවා.

ශ්‍රී ලංකාව අධික ලෙස විදේශ ණය ලබා ගනිමින් ඉදි කරන ලද මෙම අධිවේගී මාර්ග ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට දායක වූ ප්‍රධාන අංගයක් වෙනවා. එමෙන්ම අධිවේගී මාර්ග ඉදිකිරීමේ කොන්ත්‍රාත්වලදී විශාල දූෂණයක් සහ නාස්තියක් සිදුව ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන ගණනාවක වාර්තාවල සදහන් වෙනවා. ඒ අනුව මෙම අධිවේගී මාර්ග වෙනුවෙන් ලබාගත් ණය විශාල ප්‍රමාණයක් වංචා දූෂණවලට පාදක වී තිබෙනවා මිස, පොදුජනතාව වෙනුවෙන් වැය කර නැහැ.

මෙවැනි පසුබිමක අධිවේගී මාර්ග සතු සම්පත් සහ ඒවායින් ආදායම් ඉපයීමේ හැකියාව පුද්ගලිකකරණය කිරීමෙන් සිදු වන්නේ, ශ්‍රී ලංකාවේ ජනතාව ණය උගුලක සිරවෙමින්, වංචා දූෂණ මැද ඉදිකරන ලද මාර්ග පද්ධතියක පූර්ණ වාසිය නැවත වතාවක් මහජනතාවගෙන් කොල්ලකෑම බව මේ පිළිබද අදහස් දක්වන විශේෂඥයන් පවසනවා.

මෙම අධිවේගී මාර්ග සතු දේශීය ණය පමණක් නව සමාගමට පැවරෙද්දී, අධිවේගී මාර්ග වෙනුවෙන් ලබාගත් දැවැන්ත විදේශීය ණය ප්‍රමාණය මහජනතාවටම දරන්නට සිදු වෙනවා. ඒ, රජයට එයින් ආදායම් ඉපයීමේ හැකියාවත් අහිමි කොට ඒ ආදායමෙන් ජනතාව වෙත සේවය කිරීමේ ඉඩකඩත් අසුරාලමින්. අධිවේගී මාර්ගවල සම්පූර්ණ ලාභය අදාල පුද්ගලික සමාගමේ කොටස් මිලට ගන්නා ව්‍යාපාරිකයන් වෙත ලැබෙනු ඇති.

ඒ පිළිබද කැබිනට් මණ්ඩල තීන්දුව පිළිබද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය නිවේදනයේ මෙසේ සදහන් වෙනවා.
‘අධිවේගී මාර්ග ජාලය, අධිවේගී මාර්ග සතු ඉඩම්, අධිවේගී මාර්ග ණය (දේශීය) සහ අදාල කාර්ය මණ්ඩලය වඩාත් වාණිජමය වශයෙන් කළමණාකරණය කිරීමට හැකි වන පරිදි මාර්ග සංවර්ධන අධිකාරියෙන් වෙන් කොට සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩඩ් වෙත පැවරීම පිණිස 2023- 02- 05 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, අධිවේගි මාර්ගවල දෛනික මෙහෙයුම් කටයුතු හා කළමණාකරණ කටයුතු 2024-04-01 දින සිට විධිමත් කළමණාකරණ ගිවිසුමක් යටතේ සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් වෙත පැවරීමටත්, මාර්ග සංවර්ධන අධිකාරිය සහ සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් ඒකාබද්ධව සිදු කරන නීතිමය සහ මූල්‍යමය ශක්‍යතා අධයනයකින් අනතුරුව අදාළ සියලු වත්කම් මාස 06ක කාලයක් ඇතුළත සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් වෙත පැවරීමටත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමා වෙත ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.‘

leave a reply