Breaking News

ඒක තමයි මේක- එතකොට- එක තමයි මේක

උදය ආර්. තෙන්නකෝන්

ක්‍රමයකින් ක්‍රමයකට මාරු වීමට කාලය නියමිත යැයි සිතති. කියති. එය 2024 වර්ෂය අවසානය ද?. ඉන්පසු සිදුවන්නේ අවසානයක ආරම්භය ද? ක්‍රමයේ අවසානයද නැතිනම් කුමක හෝ අවසානය ද?

දේශපාලන සමස්ථයේ බොහෝ දෙනාගේ අදහස් දැක්වීම තුල කියැවෙන අවසානය තම තමන්ට අනුව අවසානය යන්න අර්ථකතනය කර ගනීමය. පොදුවේ ගත්තම ජනතාව ද මේ කියන්නා වූ කරන්නට යන අවසානයට ආකර්ෂණය වී සිටී. තමන්ගේ බලාපොරොත්තුව සහ දේශපාලනය විසින් ගෙන දෙන අවසානය ගැන ඇත්තේ හොඳ අවබෝධයක් දැයි යන්න ගැන සිතන්නට ඉඩ ලබා දී ඇත. නමුත් එවැනි වෙනසකට සූදානම් වන වර්ෂය 2024 සේ පෙණුනත්, එය ශුද්ධ ක්‍රම වෙනසක් ද නැද්ද යන්න තීරණය වන ගමන් මාර්ගය වනාහී සියුම් බල දේශපාලනික ගැටුමේ වර්ෂයක් යැයි කිව යුතු ය. මේ ගැටුම යහපතේ දිසාවක් වෙත කුමන ආකාරයකින් ගමන් කරාවි ද, එය අවසන් කළ යුතු වන්නේ කෙසේද කියා කල්පනා කිරීම බොහෝ දෙනා සතු වගකීමකි. නමුත් එහි ප්‍රමුඛ ඉදිරි වගකීම ඇත්තේ කා අත ද යන කාරණයේ දී, වැඩි වගකීම ඇත්තේදේශපාලනය තුල ය. බලයේ සිටින්නන් සහ බලය ලබා ගැනීමට සූදානම් වන්නන් යන දෙපාර්ශවය අතර ඇති ගැටුම මෙන්ම තම තමන්ගේ වපසරිය තුලද බලය මුල් කරගෙන ගැටුම් ඇති වී තිබේ. මතු පිට තලයේ සිදු වන ගැටමට අමතරව, යටි තලයේ සිදු වන ගැටුම මතු පිටට නො පෙනෙන බැවින්, එය මතු පිටට පැමිණීමට නියමිත වන්නේ බොහෝ දුරට විනාශයන්ගෙන් ය. මේ වන විටත්, එම ගැටුම්වලට අදාලව වෙනත් සිදුවීම් ලෙස එලියට පැමිණෙමින් ඇත. පාතාලය, සහ මාධ්‍ය යන්න මෙහි දී වැදගත් වාහාකයන් ලෙස යොදා ගැනීම සිදු වේ. දෘෂ්ටිවාදී ගැටුම් ලෙස මාධ්‍ය යොදා ගන්නා අතර ප්‍රචණ්ඩත්වය තුලින් සතුරාව පරාජය කිරීම සඳහා පාතාලය, මත්ද්‍රව්‍ය සහ වෙනත් මිනිස් භාණ්ඩ යොදා ගැනීම සිදු වේ. එය ඉදිරියේ දී, වැඩි වීමටත්, සූක්ෂම වීමටත් ඇති ඉඩ කඩ වැඩිය. එය එසේ වීමට සමාජය තුල ඇති අසහනය ද එක් ප්‍රධාන හේතුවක් වන අතර, එම සමාජ මනෝමූල තත්ත්වය ප්‍රයෝජනයට ගැනීම ද ගැටුම් පාර්ශවවල උවමනාව බවට පත් වේ.

යමක් සිදු වීමට පෙර අඹුඩ ගැසීම අතාර්කික විය හැකි ය. එසේ කීමට නම් ඉදිරියට සිදු වන්නේ කුමක් දැයි හරියටම දැන ගත යුතු ය. නමුත් දවසින් දවස පැහෙන දිය හැලියක් තුල තැම්බෙන ආර්ථික, දේශපාලනික හා අනෙකුත් මානව සමාජ කම්කටොලුවල තරම අමුතුවෙන් කිව යුතු නැත. මෙවන් තත්ත්වයක් පවතින රාජ්‍යයක් හා ඒ තුල ගිලී ඇති සමාජයක් ඕනෑම ගැටුමකට යොමු විය හැකි අතර, ඕනෑම ගැටුමක් ඇති කිරීමටත්, එය එක් කොටසකට වාසිදායක ලෙස යොදා ගත හැකි වීම පහසු කාර්යයක් වීමට ද ඇති ඉඩ කඩ වැඩිය.

ගැටුම යන්න ස්වභාවික සහ සංස්කෘතික යන දෙකටම අයත් ප්‍රපංචයක් වුවත්, ගැටුම යන්න නො නවතින ද්විඝඨනාත්මක තත්ත්වයකි. එය එසේ වුවත්, මිනිස් සමාජය සතු වගකීම වන්නේ ගැටුම විනාශකාරී, ප්‍රචණ්ඩකාරී දෙසට ගමන් කිරීම වෙනුවට සාමකාමී දිශාවකට විපරිවර්තනය කර ගැනීමට ඇති හැකියාවයි. එවැනි උවමනාවක දී, වගකීම අයිති වන්නේ කා අත ද යන ප්‍රශ්නයේ දී, නිතරම වැඩි බර යොමු වන්නේ එක් පාර්ශවයක් වෙත ය. ගැටුමක් ඇති වීමට දෙපාර්ශයක් හෝ ඊට වැඩි පිරිසක් සිටින නිසාවෙන් ගැටමුක දී ඇති වන ප්‍රථිපලයන්ගේ අයිතිය සහ වගකීම එක් කොටසකට පැවැරී, අනෙක් කොටස ඉන් නිදහස් වන්නේ නැත. මෙය සාධාරණීයකරණය කර ගැනීම සඳහා අවශ්‍ය දෘෂ්ටිවාදයන් වාසි අවාසි දෙපැත්තටම වෙන වෙනම සේවය කරනු ලැබුවත්, යුක්තිය, සාධාරණය, අයිතිය, ප්‍රජාතන්ත්‍රවාදය, අයිතින් සහ හිමිකම් යන සංකල්පයන්ගේ පදනම් හේතුන් කුමක්ද. මේ සංකල්පයන් බිහි වී ඇත්තේ කුමන හේතුන් නිසා දැයි ඥාණනය කර ගැනීමේ දී, මානවවාදයත්, දියුණුව හා ප්‍රගමනය යන්නත් කුමක්දැයි කියා වටහා ගත නො හැකි නො හැකි නම්, එහි වගකීම ඇත්තේ පොදුවේ මුලු මහත් සමාජයට ය. මේ නිසා මෙම වගකීම පිළිබඳ කිසියම් තේරුම් ගැනීමක් පිණිස මේ ලිපිය වෙන් කිරීමට අදහස් කෙරේ.

ඇත්තටම සිදු වන්නේ ක්‍රම වෙනසක් ද

ලංකාව පමණක් නොව මුළු මහත් ලෝකයම දැන් මුහුණ පා සිටින්නේ මානව ඛේදවාචකයකට ය. කුමනාකාරයේ දියුණුවක් ගැන අපට කතා කරන්නට පුලුවන් වුවත්, විශ්වීය අර්ථයෙන් මිනිසා අසමත් වී ඇත. කිසිම බලවත් රාජ්‍යයකට අද වන විට මිනිසා සහ ස්වභාදහමත්, මිනිසා සහ පෘථිවියත් පිළිබඳව ඇති වගකීමෙන් නිදහස් විය නො හැකි ය. අද ලබා දී ඇති චින්තය වී ඇත්තේ, “ශක්තිවන්තයාගේ පැවැත්ම” නම් වූ ඩාවින්වාදයේ දෘෂ්ටිවාදය මත පදනම් භාවිතාවය. බලය ලබා ගැනීම ද බලය පෙන්වීම ද, බලය අභ්‍යාස කිරීම ද මේ වන විටත් බොහෝ දුර ගොස් ය.

ඉතින් ලංකාව ගැන කුමන කතා ද?

ලෝකය සමස්ථයක් ලෙස එවැනි මාවතකට වැටී අවසන් වුවත්, එයින් ගලවා ගැනීමත්, ගැලවීමත්, එය නිවැරදි කර ගැනීමටත් ගන්නා උත්සාහයන් මිනිසා විසින් අත් හැර නැත. ලෝකයේ ගුරුත්ව කේන්ද්‍රය නූතනවාදයේ සකල දෘෂ්ටීන් ද යන ප්‍රශ්නය දාර්ශනික ගැටලුවකින් ඔබ්බට ගොස් සමාජ බලයේ භාවිතාවක් වී ඇත. යුරෝ කේන්ද්‍රීය බටහිර ධනවාදයේ චින්තනය තුල සිදු වන භ්‍රමණය සෑම සියලු රාජ්‍යයක් තුලත්, මිනිසා තුලත් පරිභ්‍රමණය වෙමින් පවතී. එය විසින් ආර්ථිකය තාක්ෂණය සංනිවේදනය සහ සියලු විද්‍යාවන්ගේ දැනුම සිය භාවිතාවේ ඔර්ලෝසු කටු කරගෙන කාලය හා අවකාශය තීන්දු කිරීමේ සර්වබලධාරියා බවට පත් වී තිබේ.

එය ජීවන සංස්කෘතියක් බවට පත් කර ගෙන තිබේ. මේ ලෝක ක්‍රමය වෙනස් කිරීම යන්නට බල සම්බන්න මානව සවිඥ්ඥාණකත්වයක් ගොඩ නැගී නැත. ඒ සඳහ ශුද්‍රාකාර දැනුවත්බව දර්ශනවාදයන් තුල ප්‍රශ්න කිරීම නතර වී නැතත්, ඊට වඩා බලවත් වී ඇත්තේ ආර්ථික බලය ය. දැනට පුරෝ කතනය කරන ආකාරයට ඉදිරි කාලයයේදී, ලෝක බල කේන්ද්‍රය චීනය ඉන්දියාව දෙසට ගමන් කරනු ඇති බව පෙන්වා දෙති. ආර්ථික බලය කුමන පැත්තකට ගමන් කළත්, එහි දේශපාලන දර්ශනය හා සංස්කෘතික භාවිතාව වෙනස් කර ගැනීමට හැකියාවක් පවතී ද. ආර්ථික බලය ගමන් කරන්නේ ධනවාදී සංස්කෘතියත් එක්ක නම් ඒ මාරු වීමේ වෙනස වෙනසක් වන්නේ නැත.

ගෝලීය උතුර සහ ගෝලීය දකුණ ලෙස බෙදා වර්ගකර සම්පත් බෙදීයාම, පරිභෝජනය, ජීවන තත්ත්වය ආදී, මිණුම් දඬුවලින් මනිනු ලැබුවත්, ඒ මිණුම් සියල්ල පාලනයට හසු වී ඇත්තේ ධනේෂ්වර නිර්ණායකයන්ට අනුව යන ලාභය හා අතිරික්තය මත ය. මේ මත ගොඩ නැගී ඇති චින්තය සම්පත්වල බෙදීයාම සහ පරිභෝජනට වඩා වේගයෙන් ලෝක ගෝලය අත්පත් කර ගෙන, ඒකියත්වයක් ගොඩ නගා ඇත. බහුවිධතාවත් අන්‍ය චින්තනයන්ට දක්වන අනුකුළතාවත් මහා බලයට කටත් ය. ඒ තුල විද්‍යාව සන්නිවේදය, තාක්ෂණය බලවත් ය. මේ හැම දෙයකම මිනිසා ප්‍රභල සාධකය වූව ද, මිනිසාට නිදහස් වී ඇත්තේ ක්‍රමයකට හා බටහිර භාවිතාවේ, පරිභොජනයේ ආධීපත්‍යය තුල ය. එය එසේ යැයි සිතන්නට පවා හැඟීමක් ඇති නොවන තරම සංස්කෘතික කර ඇත.

බටහිර චින්තනය මත ඇති වූ දියුණුව ලෙස සලකන පුනරුද යුගය තුල විද්‍යාව හා තාක්ෂණයේ වර්ධනය හා භාවිතාව විසින් ලෝකය නූතන ම්ලේඡ්චත්වය කරා ද, නූතන වහල් බව කරා ද ගෙන ගොස් ගැටුමේ උපරිමාස්ථානයන් වන යුද්ධයන්ගෙන් කෙළවර වී ඇත. කුඩා පරිමානව මිනිස් සමාජයන් තුල ඇති වන අභ්‍යන්තරික ගැටුම් ලෝක පරිමාණයේ යුද්ධවලින් ද අවසන් කර ඇත. යුද්ධ නතර වී නැත. නව ආකාරයට උත්පාදනය කර නැවත නැවතත් ගැටුම තුලින්ම ආර්ථිකයත්, බලයත් මෙහෙය වීම සිදු කරයි.

මේ කෙටි අදහසින් කියන්නට අවශ්‍යව ඇත්තේ ක්‍රම වෙනසක් හෝ ජාතික විමුක්ති අරගලයක් යැයි කියන ජවිපේ සහ මාලිමාවට මෙම අභියෝගය ජය ගැනීමට පෙර ඒ පිළිබඳව වැටහීමක් ඇත්දැයි සැක සහිත නිසා ය. මොකද 2024 ලංකාව යන්නත්, එම ගැටුමේ ම, එම බලයේම පරිවාර විකෘතියකි. එය ප්‍රකෘතිමත් කිරීමටත්, ඒ ගැන බලාගෙන සිටින ජනයාත්, ඒ වෙනුවෙන් අර්ථකතන සපයන බුද්ධිමතුන් ඇතුළු සියල්ල මේ ගැටුමේම පාර්ශවකරුවන් ය.

ක්‍රමයකින් ක්‍රමයකට වෙනස් වීම සුසමාදර්ශක් වන්නට නම්, අධෝ ව්‍යුහයත්, උපරි ව්‍යුහයත් සමපාත කරන චින්තනයක් ඇති විය යුතු ය. ඒ චින්තනය දර්ශනවාදයටත් දෘෂ්ටිවාදයටත් ලඟ නෑකමක් සහිතව එකට අනුබද්ධ විය යුතු ය. උගත්යැයි කියන “උගතුන්”, බුද්ධිමත් යැයි කියන “බුද්ධිමතුන්” සිටියත්, ඔවුන් සතුව ඇති වගකීම වී ඇත්තේ, විලෝමය සත්‍යයක් කිරීමට මිසක, විලෝමයට සත්‍ය පෙන්වීම නො වේ.

බොහෝ දෙනා කරනු ලබන්නේ වෙනස් කිරීම යන්න වෙනුවට වෙනස් වීම වේ. එය දකින්නේ ධනවාධයේ ස්වභාවිකත්වයක් ලෙස ය. ලෝක ගෝලය පුරා සිදු වෙමින් පවතින ධනවාදය විසින් ඇති කරන විපාකයන්ට ප්‍රතිචාර දැක්වීම සිදු කරනු ලබන්නේ ද එහිම කොටසක් ලෙස ය. එය කිසිසේත්ම ප්‍රමාණාවත් නො වන දෙයක් වී ඇත්තේ භෞතික ප්‍රතිසංස්කරණයන් තුලින් වෙනසක් ඇති කරනු ලැබුවද ධනවාදය තුල ආත්මිය වෙනසකට ලක් කළ හැකි සාධක වෙනස් වන්නේ නැත. එසේ වුවත් ධනවාදයට එරෙහි ගැටුම මානව ජීවිතයේ හා චින්තනයේ ප්‍රමුක අංගය වී ඇත. එහෙත් එය විසින්ම එහිම වූ ගැටුමක් නො වන පරිදි ස්වභාවික වී ඇත. සාර්ව තලයේ සිදු වන බල පොර, රාජ්‍යයන් අතර යුද්ධ, අත්පත් කර ගැනීම්, උල්ලංඝණයන් දේශපාලනය තුල දී මතු වී පැමිණීමත්, එය ආර්ථිකයට සෘජු වක්‍ර බල පෑම් ඇති කළත්, ධනේෂ්වර චින්තනය තුල ඇති මානව ඛේදවාචකය පිළිබඳ ඥාණනයක් ඇති නො වන තරමට මිනිසාගේ ජීවන විලාසිතාව එහිම සංස්කෘතියක් වී ඇත.

මෙවැනි ගෝලීය පසුබිමක් තුල දී, ක්‍රමයකින් ක්‍රමයකට වෙනස් වීමට නියමිත යැයි ලංකා සමාජය තුල පෙන්නුම් කරන සමාජ චලනය ධනවාදී ක්‍රමයට එරෙහි ක්‍රම වෙනස මානව සමාජයට ඇවැසි ක්‍රම වෙනසක් ලෙස හෝ එහි භාහිර ස්වරූපය වෙනස් කිරීම සඳහා වන අවම ක්‍රම වෙනසක් දැයි පවා විශ්වාස කිරීමට හැකි ද පැනය ඉතිරිව ඇත.

එය එසේ පැවැතියත් ලංකාව තුල ඇති කර ඇති අර්බුදය ආර්ථිකවත් දේශපාලනිකවත් විසඳා ගැනීමට යැයි කියමින් ඇති වී ඇති ගැටුම මේ ඔස්සේ තේරුම් ගැනීමේ දී, ජවිපේ ප්‍රමුක මාලිමාව මෙතෙක් පැවැති බල ආධිපත්‍යය අභියෝගයට ලක් කරමින් ඉදිරියට පැමිණ ඇත. එය ජනතා සවිඥාණය මත සිදු වන මතු වීමක් නො වුනත් ලාංකීය අභ්‍යන්තරික දේහයේ චලනයකට බලපෑම් කළ හැකි මතුව ඒමක් ලෙස තේරුම් ගැනීම නිවැරදි විය හැකි ය. ලෙඩා හොඳටම අසාධ්‍ය වී ඇත. බෙහෙත අලුත් නැත. බෙහෙතේ බ්‍රෑන්ඩ් එක වෙනස් නමුත් රසායනය එක ය.

මේ නිසා, මාලිමාවේ පාලනයක් තුලින් ගත හැකි දේශපාලන බලයටත්, ආර්ථික බලයටත් ඇත්තේ එකම ඩෝස් එකකි. වෙනත් බෙහෙතක් ඇතැත්, සමාජය නැමැති ලෙඩා ඉල්ලා සිටින්නේ පැණි බෙහෙත් ය. මාලිමාව සතු බෙහෙත තිත්ත යැයි සිතුවත්, පෙත්ත ඇතුලත තිත්ත බෙහෙත ඇතැයි සිතන චින්තනයක් නැත. ඇත්තේ බටහිර චින්තනයේ ගැලපීමකට ලක්කර, ධනේෂ්වර සංස්කෘතියේ ප්‍රගමනාත්මක ලක්ෂණයන්ගේ යුතු චින්තනය පවා බැහැර කරනු ලැබූ චීන ආධිපත්‍යයට හැරෙමින් යන දැක්මක් නම්, එය අප හිතන තරමි සුන්දර වනු නො මැත. මිනිසා ද සොබාදහම ද ගැන මායිම් නො කර, සමාජවාදයෙන් ධනවාදයට විපරිවර්තනය වෙමින් අත්පත් කර ගත් මකර ධනවාදය චීනය සතුව පවතී. එහි පැරණි චීනයට හිමිව තිබූ කිසිදු දාර්ශනික හෝ මානව පැවැත්මේ ආදරණීය සහ සම්බන්ධයක් ඇත්දැයි සැක සහිත ය. සමාජවාදය මානව හා ස්වභාදහමේ දිශාවට දියුණු නො වී ධනවාදය දෙසට මාරු වීම යනු ම්ලේච්ඡත්වයට ගමන් කිරීමකි. චීනය තුල ඇති නිෂ්පාදන මාදිලියම පශ්චාත් ම්ලේච්ඡත්වයකි. ලාභය පිණිස ගුණයෙන් තොර නිෂ්පාදනයන් ධනවාදය නිර්මාණය කරන කෑදරකමට වෙළෙඳ පළ සපයයි. ලෝකය කසල ගොඩක් බවට පත්කරමින් සිටී. ලෝකයේ පවතින බලය චීනය වෙතට ගමන් කිරීම යන්න මානව ශ්ෂ්ටාචාරයේ ජයග්‍රහණයක් නොව පරාජයකි. අවම වශයෙන් පැරණි චීනයට උරුම වූ උසස් දාර්ශනික භාවිතයන් නැත. ලාභය උදෙසා කොන්දේසි විරහිත නග්න ධනවාදී භාවිතාවක යෙදී සිටි. චීනය විසින් මේ වන විටත් එම බල කේන්ද්‍රයේ ගොදුරක් ලංකාව ඩැහැගෙන හමාර ය. ඉඟුරු දී මිරිස් ගැනීම නව ක්‍රමයකට මාරු වීම ලෙසත්, එය අලුත් දෙයක් යැයි කීම තුලම සිය වල කපා ගැනීම ඈතකට නො යනු ඇත. මන්ද අන්ධකාරය තුල සිට එලිය සොයන්නේ මායාකාරී උපකාරය ඇතිව ය.

මෙතැන දී, ලංකාව දුර්වල ජීවියෙකු ලෙස අසරණය. භූ දේශපාලනික බල තරඟයේත්, උපාය උපක්‍රමවල දඬු කඳට හසු වී හමාරය. කිසිදු තෝරා ගැනීමක් නැත. තෝරා නො ගෙන ගමනක් නැත. ගෙදර ගියත් මග සිටියත් සිදු වන දේ වළක්වා ගැනීම කළ හැකි වන්නේ, නව මාදිලියක ජීවන විලාසිතාවකට රට යොමු විය හැකි චින්තනයකින් යුතු විපරිවර්තනීය මගකට යොමු වීම ය. එවැන්නක් කෝ?

ඒ වෙනුවට පවතින ක්‍රමයට ප්‍රතිපක්ෂව ලබා ගැනීමට සූදානම් බලය විසින් යොමු කරනු ලබන්නේත්, තල්ලු කරනු ඇත්තේත් එකම ගැටුමේ ම නව ස්වරූපයක් වෙතට ය.

ලාභදායක විකල්ප නැති බැවින්, ලංකාවට උරුම කර ඇත්තේ විනාශය කරා යන මාවත ය. ක්‍රම වෙනස ගැන ඇති බලාපොරොත්තු ඇතැයි, සිතුවත්, වෙනස් වී ඇති වන ක්‍රමය කුමක් දැයි නො දන්නා බැවින් සමාජයකට පැවැරී ඇති වගකීම වන්නේ, කුමන බලයකින් හෝ කුමන දේශපාලනයකින් හෝ සිදු විය හැකි විනාශය වලකා ගැනීමේ සවිඥ්ඥාය පිණිස නැණවත් වීම ය. ගැටුම් ඇති වීම, ගැටුම් නිර්මාණය කිරීම අනිවාර්යය දෙයක් වුවත්, ගැටුම විනාශකාරී නො වීමට විපරිවර්තනය කර ගැනීමට හැකි දේශපාලනික බලයකට පමණි අනාගතයට අභියෝගයක් ලෙස මුහුණ දිය හැකි වන්නේ. එය පළමුව කළ යුතු ය. එය ජනතාව කියන ප්‍රපංචයට තීරණය කළ නො හැකි ය. 2024 මැතිවරණය එවැනි ඥාණනයක් සහිතව නැගී එන රැල්ලක් නොවේ. එවැන්නක් ඇති විය හැකි තරම් ජනතා පරිකල්පනයක් ඇති වී නැත. රැල්ලට ගසා යෑම තුලින් ප්‍රඥ්ඥාව නම් වූ වාලම්පුරිය නො ලැබෙනු ඇත. රැල්ලේ දුවන ජනයා දුව යන්නේ පරිභෝජනයෙත්, කෑදරකමේත් බලාපොරොත්තු වෙරළ දිගේ ය. ඔවුන්ව අන් මගකට ගැනීමට ප්‍රඥ්ඥාව ඔවුනට බලා දිය යුතු ය. නායකත්වය විසින් එය ලබා දිය යුතුය. ඒ වෙනුවට පීඩනය, අසහනය සියලු ආකාරයේ දුෂ්කරතාවයන් මාකට් කර ඉටුකළ නො හැකි පොරොන්දු දේශයකට අලුත් වටයකින් මිනිසා ඇන්ඳවීමත්, මිනිසා ඇඳ ගැනීමත් සිදු වෙමින් පවති.

දැන් එය වැළකිය නො හැකි ය.

ක්‍රම වෙනසක් ගැන අප කල්පනා කරන්නේ නම්, ඇත්තටම වෙනස් කළ යුතු නම් නිර්මාණය කර යග යුත්තේ කුමක් දැයි යන අදහස පැවැතිය යුතු ය. ධනවාදයට මානුෂික ධනවාදයක් යැයි කියන සමගි ජන බල වේගය වෙනස පෙන්වන්නේ, පවතින ක්‍රමයටම ඇති උත්තරයක් ලෙස ය. එය අපට අනූ හතරේ චන්ද්‍රිකා පාලනය සිහිපත් කරනු ඇත්තේ, සජිත් පිළිබඳ විකට රූපයක් සිහි ගන්වමිනි. මාලිමාව එවැන්නක් නො කියයි. ඇත්තටම මේ දෙකටම කරන්නට සිදු වන්නේත්, කරන්නට සිදුවන්නේ එවැනි දෙයකි. මේ දෙකම කාසියේ අනෙක් පැත්ත ය. මේ බලවේග දෙක බැලූ බැල්මට වෙනස් වන්නේ සංස්කෘතිය හා චින්තය තුල යැයි පෙනීම තුල භාහිර වෙනස්කම් ඇත. නමුත් ආත්මීය වෙනස පෙන්නුම් කිරීමට තරම් දාර්ශනික හරයක් මාලිමාව සතුව තිබේ ද යන්න සැක සහිත ය. එකක් බට හිර නම් අනෙක බටහිරේ බටහිර ය. සියල්ලම සිටින්නේ ද බටහිරේ බටහිර තුල ය. නැගෙනහිර වෙනුවට යථාර්ථය වී ඇති බටහිරෙහි බටහිර පදනම කරගනිමින් කියා සිටින්නේ තමන් සිටින්නේ නැගෙනහිර බව ය. දෙබිඩි බවින් මිදීමට සිතීමම නව ක්‍රමයකි. නමුත් එය දැන ගෙනත්, රංගනයක් කරන දේශපාලනයට ක්‍රම වෙනසක් නම් ඇති කළ නො හැකි ය. වෙනත් පංතියකට පමණක් මාරු වී, ඒක තමයි මේක. එතකොට කෝ අනිත් ඒක කියා අහනවිට කීමට ඇත්තේ ඒක තමයි මේක ය. නමුත් අවසාන වශයෙන් කිව හැකි වන්නේ, ඇත්තටම වෙනසක් කිරීමට අවශ්‍ය වන්නේ නම්, ජවිපයට හා මාලීමාවට ඒ විභවය පිණිස භූමිය සැකසී ඇත. ඒ සඳ කළ හැකි, කළ යුතු ක්‍රියාමාර්ග ඔවුන්ගේ තින්ක් ටෑන්ක් එක තුල සඟවා තබාගෙන ඇතැයි කියා කියන්නේ නම්, අප පිළිගත යුතුද. මොකද එවැනි දර්ශනයක් එදා සිටම ජවිපේ විසින් සඟවා ඇතැත්, සඟවා ගෙන තිබූ කිසිවක් නැත.

මේ ලිපිය මගින් මාලිමාව සෘජුව ඉලක්ක කර ගනු ලබන්නේ මාලිමාව නොව රනිල් හෝ සජිත් හෝ රාපක්ෂලා යැයි විසඳුම කීමට හෝ එවැන්නක් ගැන සිතීමට නොවේ. ලංකාවේ තවමත් ගැඹුරු හිතීම්වල සිටින, මානව යහපත ගැන සිතන සිහින දකින මිනිසුන් සිටින බැවින්, ඔවුගේ අවධානයටත්, විවේචනයට හසු වූ පාර්ශවයේ අවධානයත් යොමු කර ගැනීම පිණිස ය.

 

 

leave a reply