තණමල්විල කොල්ලෙක් දෙස බැලීමි. යළිත් වරක් හැරී බැලීමි. බොහෝ හුරුපුරුදු ගතියක් දැනුණි. මොකක්දෝ නිවීමේ ගුණයක් ඔහු තුළ ඇතැයි සිතුණි. රළු යකඩ ගිණියම් වීමෙන් මෘදු වානේ නිපදවෙන බව එක්වරම සිහියට නැගුණි. නිවීම වූ කලී නිකන් ම නිකන් හිටි මිනිසෙකුට ලැබෙන්නේ නැත. විවිධ සමාජීය විචලතාවයන්ට හසුව හොඳින් තෙම්පරාදු වූ මිනිසෙකුට නිවීම නම් වූ සුවය ලැබේ. කුලියට ගත් කොළඹ ජීවිතය තුළ නොබිඳෙන සුළු අග්‍රගන්‍ය පෞරුෂත්වයෙන් යුතුව දිවිගෙවන්නට දීප්තට හැකිවන්නේ එබැවිනි. අත්හැරීම් බොහොමයක් සිය ගමන් මල්ල තුළ දමාගෙන කොළඹට එන දීප්තට කොළඹ මිනිසුන් හා අරුමැසි දිවිපෙවෙත් අරුම පුදුම දෑ නොවන්නේ එබැවිනි. ඔහු දකින දකින වාරයක් පාසා මාගේ මතකයට නැගුනේ ඇල්බෙයා කැමූ ගේ “පිටස්තරයා” නව කතාවේ එන “මර්සෝ” ගේ චරිතය යි.
Flyover මත හිඳ වැල නොකැඩී පයින් යන එන මිනිසුන් දෙස බලන කල බොහෝ දෙනෙකුට ඇත්තේ දීප්තගේ මුහුණුවර යැයි සිතේ. මොකක්දෝ කියාගත නොහැකි කතාවක් ඒ හැම කෙනෙකුගේම මුහුණුවල ඇඳී තිබේ. එවැනිම හැඟීමක් මුහුණෙහි රඳවාගෙන ගෙන්දගම් පොළොවට පා තබන දීප්ත තවත් සුධීර කෙනෙක් හෝ සාලිය කෙනෙක් හෝ අමරකීර්ති කෙනෙක් හෝ නොවන්නේ එබැවිනි. දීප්තට ඇවැසි ශක්තිය ඔහුගේ හැදී වැඩුණු පරිසරයෙන් ලැබී අවසාන ය. කොළඹ යනු සමාජීය පරිහානියේ කේන්ද්‍රස්ථානය යැයි සැළකූ සමහර විචාරකයින් ට ගම යනු ඊටත් එහා ගිය පරිහානියකට ලක් වූ තැනක් බව “තණමල්විල කොල්ලෙක්” ටෙලිවෘතාන්තය තුළින් එහි අධ්‍යක්ෂවරයා ශපථ කර අවසාන ය. එම මරු වැල් සහිත පොළොවේ කරක්ගසා හුරුපුරුදු දීප්තට කොළඹ යනු එතරම් ම නුපුරුදු තැනක් නොවන බව ඔහු සිටින සෑම රූපරාමුවකින් ම පාහේ පෙනී යයි.
දීප්ත සතු පෞරුෂත්වයෙහි උපරිම ස්ථානය පෙනෙන්නට පටන්ගන්නේ මරියා හමුවේ යැයි සිතෙයි. ධර්ම යුද්ධය නැමැති සිනමාපටයෙහි තරුණියකගෙන් ලිංගික අල්ලස් ගැනීමට යන නවීන පන්නයේ තරුණයෙකු ගේ චරිතය නිරූපණය කරන රංගන ශිල්පියා ම තණමල්විල කොල්ලෙක් තුළ දීප්තගේ චරිතය තුළින් මරියා නැමැති සුන්දර තරුණිය වෙත මුනිවර බැල්මක් හෙලීම සැබෑම පෞරුෂත්වය නොවේද යන ස්ථානයෙහි අධ්‍යක්ෂවරයා ප්‍රේක්ෂක සිත් නවතාලයි. අසභ්‍යත්වය සමාජගත වූ අවධියක තරුණයෙකු විසින් තරුණියක් වෙත හෙලන කාමාතුර බැල්මක් උපේක්ෂාසහගත බැල්මක් දක්වා පරිවර්තනයක් කිරීමට ටෙලිනාට්‍ය සඳහා දායක වූ සියළු පාර්ශවයන් ගත් උත්සාහය මල්ඵල ගැන්වී අවසාන ය. මරියා හෝ නාලිකාගේ අනියම් පෙම දීප්තට අරුමයක් නොවන්නේ ඔහුගේ මුල් ශක්තිමත් නිසා ය. ගමේ ගොඩේ කරක් ගසා සුලෝචනා, ධම්මි වැනි කෙල්ලන්ගේ පහස ලැබූ දීප්තට පසුව හමු වූ මරියා ආශ්චර්යයක් නොවේ. ජගා, කිතුලා වැනි එකට කා වැටී සිටි අතිජාත මිතුරන්ගේ වෙන්වීම දරාගත් ඔහුට යශෝධරාගේ වෙන්වයාම දරාගැනීමට අපහසු නොවීය. මන්ද ඔහු කොළඹ පැමිණියේ අතහැරීම් ගොන්නක් කරපින්නාගෙනය. රූපරාමු රැසක් ඔස්සේ නෙත-හද රැගෙනගොස්, ජීවිතය යනු අතහැරීම් ගොන්නක එකතුවක් බව තණමල්විල කොල්ලෙක් අපහට පසක් කරවයි.
දීප්තට කොළඹදී මුණගැසෙන අතිජාත මිතුරා “චන්ද්‍රකුමාර” යනු දීප්තගේම චිත්තාභ්‍යන්තරය බව විටෙක සිතෙයි. දීප්ත සිතන පතන හැටි ප්‍රේක්ෂකයා හට දැනවීමට අධ්‍යක්ෂවරයා යොදාගත් උපක්‍රමය චන්ද්‍රකුමාර ය. පොත්පත්, නාට්‍ය හා අනෙකුත් සාහිත්‍යාංග පරිශීලනය තුළින් ලැබූ දැනුම් සම්භාරය දීප්ත හට රැල්ලට නොයා ශක්තිමත් ගමනක් යාමට මග පෙන්වන්නේ “කලාවට ලැදි සිත කැලෑවට නොයයි” යන කියමන සනාථ කරමිනි. එමෙන්ම ගමෙන් නගරයට සංක්‍රමණය වීම තුළින් දීප්ත ලැබූ සමාජීය දැනුම් සම්භාරය චන්ද්‍රකුමාර නම් චරිතය තුළින් අධ්‍යක්ෂවරයා ප්‍රේක්ෂකයා හට සමීප කරවයි. එමෙන්ම එහිදී ඉතාමත් වැදගත් සමාජීය කර්තව්‍යක යෙදෙන අධ්‍යක්ෂවරයා නූතන තරුණ පරම්පරාවට සමාජශාලාවෙන් මිදී මහජන පුස්ථකාලය, ජාතික පුස්ථකාලය, ලේකනාරක්ෂකේ, ප්‍රලේඛනේ ආදී ස්ථානවල කරක්ගසන්න යැයි ආදරණීය ආරාධනාවක් කරයි. පරමාදර්ශ සමාජගත කළ යුතු තැන අපචාර සමාජගත නොකර ඔවුන් පරමාදර්ශය ම සමාජගත කරයි.
තණමල්විලටත්, කොළඹටත්, ප්‍රංශයටත් පායන එකම ඉරේ රශ්මිය යට දිවිගෙවන මිනිසුන්ගේ ජීවිත වෙනස්වන්නේ කෙසේද? නැත, කෙසේවත් වෙනස්වන්නේ නැත. ඔවුන් තමන් කැමති තැන්වල කරක්ගසා යළි එකතැනක හමුවන දිනකදී එය තේරුම්ගනු ඇත. අප වටා ඇති ලෝකය වෙනස්වුවද අපි ගතකොට ඇත්තේ එකම ජීවිත නොවේදැයි එවිට ඔවුන් හට තේරුම් යනු ඇත. මා හට අත්හැරුණු හැමදේම පාහේ මෙම සමාජ ක්‍රමය තුළ අනෙකාටද අතහැරී ඇත. රට රාජ්‍යවල කරක්ගැසූවද ජීවිතයේ රැස්කරගත් වටිනා දෙයක් නොමැති බව අතැඟිලි අතර සිරව ඇති රන් මුදුවෙහි, බෙල්ලේ එල්ලෙන රන් මාලයෙහි බර පරදා සිතට නැගෙන ජීවිතයේ මගහැරුණු දේ හි බර පසක් කරනු ඇත. එවිට අපහැමගේ මුවට උපේක්ෂාසහගත සිනාවක් නැගෙනු ඇත. තණමල්විල කොල්ලා කල්තියාම අපහට එය සිහිගන්වමින් ඇත.