Breaking News

යාල වනෝද්‍යානයේ සිදුවීම නිලධාරීන්ට දඬුවම් දීමෙන් පමණක් අවසන් වෙයිද?

වන සතුන්ට හිරිහැර වන ආකාරයෙන් සහ පරිසරයට හානි වන ආකාරයෙන් යාල ජාතික වනෝද්‍යානය තුළ රථවාහන පැදවීමේ සිද්ධිය පිළිබදව සමාජ මාධ්‍ය හරහා කතා බහක් නිර්මාණය වී තිබේ. එම කතා බහ තුළ මතුව ඇති කාරණයක් වන්නේ මෙම සිදුවීමට කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීරගේ පුත්‍රයා සම්බන්ධ බවයි.

මහින්ද අමරවීර විසින් උඩවලව ජාතික වනෝද්‍යානයේ සිදු කළ සංචාරයකදී, ඔහුගේ රථයට හැපුණු මුවෙකු මියගොස් තිබූ බව මාස කිහිපයකට පෙරත් වාර්තා විය. වනෝද්‍යානය තුළ අධික වේගයෙන් රථය ධාවනය කිරීමත්, රියදුරාට රථය පාලනය කරගැනීමට නොහැකිවීමත් නිසා මෙසේ මුවා හැප්පී ඇති බවයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙ ගත් පියවරක් නැත. දැන් යාල සිදුවීම සම්බන්ධයෙන්ද එම දෙයම සිදුවෙනු ඇති බවට මත පළවේ.

යාල වනෝද්‍යානයේ සිදුවීම සම්බන්ධයෙන් අගහරුවාදා (ඔක්: 25) වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රා හේරත්ගේ ප්‍රධානත්වයෙන් සහ වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාරගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණි. වනෝද්‍යානයට ඇතුළත් ව අයථා ලෙස වාහන භාවිතා කරමින් වනජීවී හා වෘක්ෂලතා පනත උල්ලංඝනය වන අයුරින් කටයුතු කළ පිරිස සම්බන්ධව පියවර නොගත් වන නිලධාරීන් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමටද තීරණය කරගත් බව සඳහන් වේ.

ඊට අමතරව එහිදී, ගන්නා ලද තීරණ පහත දැක්වේ.

  1. සිද්ධියට සම්බන්ධ වාහන හා පුද්ගලයින් කඩිනමින් හඳුනා ගැනීම හා ඔවුන්ට එරෙහිව නඩු පැවරීම.

(දැනට එම වාහන හා පුද්ගලයින් සම්බන්ධයෙන් තිබෙන තොරතුරුවලට අමතරව ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ තොරතුරු, ඡායාරූප හා වීඩියෝ දර්ශනවල ඇතුළත් තොරතුරු ද සැළකිල්ලට ගැනීම.)

  1. අදාළ පිරිස සමඟ වනෝද්‍යානයට ඇතුලුවීමට සහාය වීම සඳහා කටයුතු කළ නිලධාරී පිරිස එම කටයුතු වළක්වා ගැනීමට උත්සහ නොකිරීම, ඉහළ නිලධාරින් දැනුවත් නොකිරීම නිසා විමර්ශන කටයුතු අවසන් වන තෙක් ඔවුන් වැඩ තහනමට ලක් කිරීම.

  2. විමර්ශන කටයුතුවලට සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා මගින් ලිපියක් යොමු කිරීම.

  3. යාල ජාතික වනෝද්‍යානය තුළ අනිසි ලෙස වාහන ධාවනය කරමින් වන සතුන්ට හිංසා වන පරිදි කටයුතු කළ පුද්ගලයින් හා සියලු වාහනවලට වසර තුනක් යන තෙක් ශ්‍රී ලංකාවේ කිසිදු ජාතික වනෝද්‍යානයකට ඇතුළත් නොකිරීමට ඔවුන් හා වාහන අසාදු ලේඛනගත කිරීම.

එමෙන්ම මින් ඉදිරියට ජාතික වනෝද්‍යාන තුළ වන සතුන්ට හිංසා වන පරිදි හැසිරෙන පුද්ගලයින් හා කණ්ඩායම් සම්බන්ධව මෙම තීරණය ක්‍රියාත්මක කිරීම.

  1. වනෝද්‍යානය තුළ වන සතුන්ට හිංසා නොවන පරිදි හැසිරීම සම්බන්ධව දෙස් විදෙස් සංචාරක කණ්ඩායම් දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකාවක් නිකුත් කිරීම.

පරිසර ක්‍රියාකාරීන්ගේ අදහස්

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජයේ බලධාරීන් ගෙන ඇති තීරණ සම්බන්ධයෙන් පරිසර ක්‍රියාකාරිකයින්ටද සැක මතුව තිබේ.

පරිසර ක්‍රියාකාරිකයෙකු වන නයනක රන්වැල්ල බීබීසී සිංහල සේවය සමඟ පවසා ඇත්තේ අදාළ සිද්ධියට යොදා ගැනුණු වාහන අසාදු ලේඛනගත කිරීමට ගෙන ඇති තීරණය සහ අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පවතින බවය.

වාහන අසාදු ලේඛනගත කළහොත් එම වාහන පසුව මිල දී ගන්නා පුද්ගලයින්ට ද එම තත්ත්වය බලපාන බව ඔහු පෙන්වා දෙයි.

මේ අතර, අදාළ සිද්ධියට සම්බන්ධ සැබෑ සැකකරුවන් වෙනුවට වෙනත් පුද්ගලයින් නීතිය හමුවට ඉදිරිපත් කිරීමේ ඉඩකඩක් ඇති බව ද නයනක රන්වැල්ල පැවසීය.

“මෙතන හිටිය අයගෙන් කිහිප දෙනෙක් දේශපාලනඥයින්ගේ පුත්තු. අනෙක් පිරිස ප්‍රබල ව්‍යාපාරිකයින්ගේ පුත්තු. ඒ නිසා ඔවුන් වෙනුවට වෙනත් පුද්ගලයින් නීතිය හමුවට ගෙන ඒමේ ඉඩකඩක් තියෙනවා. ඒ නිසා අපි බලපෑම් කළ යුතුයි නිසි ක්‍රියාමාර්ග ගැනීමට,” ඔහු පැවසීය.

මේ අතර, මෙහිදී වාහන 35ක් ධාවනය කළ අතර වාහන 8කට එරෙහිව පමණක් නීතිය ක්‍රියාත්මක කිරීමේ උත්සහයක් ක්‍රියාත්මක වන බව ද නයනක රන්වැල්ල පෙන්වා දී ඇත.

ජාතික වනෝද්‍යානයකට ඇතුළු වීම සදහා ප්‍රවේශ පත්‍රයක් මිල දී ගැනීමෙන් අවසර ලැබෙන බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, අදාළ ප්‍රවේශ පත්‍රය සහිත නරඹන්නන්ට අවසර දී ඇති මාර්ග ඔස්සේ පමණක් වාහනයක නැගී ගමන් කළ හැකි බවය.

එහෙත්, අදාළ මාර්ගවලින් බැහැර වී අවසර නොලත් මාර්ගවල වාහන ධාවනය කිරීම සහ වාහනවලින් බැස ගමන් කිරීම තහනම් වේ.

ඊට අමතරව රථවාහන තරගයට පැදවීම, අධික වේගයෙන් ධාවනය කරවීම තහනම්ය.තව ද වනෝද්‍යානය නැරඹීමට යාමේදී අවසර ලත් මග පෙන්වන්නෙකු ද රැගෙන යා යුතුය.වනෝද්‍යානය තුළ සංගීතය වාදනය කිරීම හෝ ශබ්ද කිරීම ද තහනම් කර තිබේ.

මෙම සිද්ධියේදී අධික වේගයෙන් රථවාහන ධාවනය කිරීම, අවිධිමත් ලෙස වාහන ධාවනය කිරීම, වාහනවලින් බැසීම සහ ශබ්ද කිරීම යන වැරදි සිදුව ඇතැයි ජගත් ගුණවර්ධන පැවසීය.

මෙම වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වසර 7ක් දක්වා බන්ධනාගාරගත කිරීම, රුපියල් ලක්ෂ 2ක දඩ මුදලක් පැනවීම හෝ එම දඩුවම් දෙක ම පැනවිය හැකිය.

leave a reply