Breaking News

සිතන්නට යමක් – 03

A. A. B. N

ඔබ හොඳ සන්නිවේදකයෙක් ද?

“සන්නිවේදනය” යන්නෙහි සරල තේරුම අදහස් හුවමාරුව ලෙස ගත හැක. මෙහිදී එය වාචිකව හෝ අවාචිකව ( වචන වෙනුවට ඉඟි, පින්තූර හෝ සංඥා ඇසුරෙන් ) සිදු විය හැක.

එහෙත්, කුමන ආකාරයක සන්නිවේදනයක් වුවද ඒ සඳහා වූ සදාචාරයක් නම් අනිවාර්යයෙන්ම පැවතිය යුතුමය.

ඔබට තොරතුරු ලැබෙන ප්‍රභවය අනුව ඔබ එය ග්‍රහණය කර ගන්නා ප්‍රමාණය විවිධ වේ. අතීතයේ අපගේ මුතුන් මිත්තන් තොරතුරු හුවමාරු කර ගත් ආකාර සිහිපත් කර බලන්න. පසුව අපගේ ව්‍යවහාරය තුළ තොරතුරු ප්‍රචාරයට “අන බෙර ගහනවා” වැනි දෑ ප්‍රචලිත වූයේ අතීතයේ අන බෙර ගැසීම සන්නිවේදනය සඳහා යොදා ගත් බැවිනි. අනාදිමත් කාලයක සිට මුද්‍රිත මාධ්‍ය, සන්නිවේදනය තුළ මහඟු සේවයක් කර ඇති බව අමතක කළ නොහැක. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන් සමාජය ආක්‍රමණය කිරීමට ප්‍රථම සන්නිවේදනයේ අතිශය වැදගත් භූමිකාවක් හිමිවූයේ මුද්‍රිත මාධ්‍යයටය.

වර්තමානයේ ඩිජිටල්කරණයත් සමග අපට බොහෝ විට පුවත්පත් කියවන්නට පුවත් පත් මිලදී ගැනීම හෝ රූපවාහිනී නැරඹීමට රූපවාහිනී තිරයක් අසල තිබීම අත්‍යවශ්‍ය නැත. ස්මාට් දුරකථනයක්ඔබ සතු නම් ඒ තුළින් ඔබට ඕනෑම මාධ්‍යයක තොරතුරක් ක්ෂණිකව ලබා ගැනීමේ පහසුකම් ඇත.

මෙසේ ඔබ වෙත ගලා එන තොරතුරු පිළිබඳව ඔබ සෑහීමකට පත් වනවාද? ඔබට ලැබෙන තොරතුරු දෙවැදෑරුම් පෙරනයට ලක් කරතොත් ඔබට විවිධ මාධ්‍යයන් ඔස්සේ දිනපතා අසන්නට දකින්නට ලැබෙන තොරතුරුවලට කුමක් වේද..?

01. සත්‍යය
02. සහකම්පනය
03. ප්‍රයෝජනය

යන පෙරනයන් හරහා තොරතුරු පෙරීමට ලක් කර ඔබ වෙත එන්නේ නම් , දිනපතා ඔබට 20% වත් තොරතුරු රැඳෙනු නැත.

වර්තමානයේ සන්නිවේදනය තුළ “තොරතුරු ලබාදීම” වෙනුවට “තොරතුරු විකිණීම හෝ වෙන්දේසි කිරීම” යන වචන ආදේශ වී ඇති බව බොහෝ විට නිරීක්ෂණය වේ.

එහෙත්,

සන්නිවේදනයේදී මාධ්‍යය කුමක් වූවද, සන්නිවේදන සදාචාරය අභියෝගයට ලක්කරමින් හැසිරීමට නම් ඔබට මට කිසිදු අයිතියක් නැත.

ඔබ සතුව තොරතුරු තිබීම යනු එම තොරතුර ඔබට රිසි ලෙස සන්නිවේදනය කරන්නට ලැබෙන අවසරයක් නොවේ. තොරතුරු හුවමාරුවට ප්‍රථම, එහි සත්‍යාසත්‍යතාව තහවුරු කර ගැනීම අත්‍යවශ්‍ය කරුණකි.

ප්‍රසිද්ධ වීම උදෙසා ඕනෑම කුණු ගොඩක් බෙදාහැරීම අතින් විශේෂයෙන්ම දකුණු ආසියාතික රටවල් ඉදිරියෙන් සිටින බව කිව යුතුමය. ඒ අතර තොරතුරුවලට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ අතර පවතින තත්ත්වය වැඩි වර්ධනය කර නොඑසේ නම් විකෘති කර සන්නිවේදනය කිරීම අතිශය භයානක තත්ත්වයකි.

ඔබට භාෂාව මෙවලමක් ලෙස භාවිතා කළ හැකි වුවත්, එතුලින් ඔබ සන්නිවේදනය කරන දේ ග්‍රහණය කර ගන්නා අය පිළිබඳව ඔබට යම් සහකම්පනයක් තිබිය යුතුය.
නොඑසේ නම්, ඔබ අත්තනෝමතික ලෙස දෙන පණිවුඩය ග්‍රාහකයාගේ මානසික නිදහස විනාශ කර දමනු ඇත.

සිතන්න, ලොවට පණිවුඩයක් දීමට පෙර කරුණාව මෛත්‍රිය මුසු කර උපේක්ෂාවෙන් යුතුව එය ලබා දෙන්නේ නම් එය ඔබ සමාජයට කරනු ලබන මෙහෙවරකි.



leave a reply