සිතන්නට යමක්…

ලෝක ළමා දිනය ගෙවී ගියේ, කැලැන්ඩරයේ තවත් එක දිනයක් ලෙස පමණකැයි සිතේ.

ළමා දින වාර්ෂිකව උදාවන බවද, ඒ වෙනුවෙන් සිරිත් පරිදි සැමරුම් උළෙලක් කළ යුතු බවද සිතෙනවා මිසක, ළමයින් වෙනුවෙන් දිගුකාලීන වටිනාකමක් ඇති යමක් ආරම්භ කිරීමට ජාතියක් වශයෙන් අප උත්සාහ කර ඇත්ද.?

අද ළමයා තව වසර කිහිපයකින් යොවුන් වියට එළැඹී ලෝකයට එබිකම් කිරීමට පටන් ගනී. ළමයින් වෙනුවෙන් අප කළ යුතු දෑ නොපමාව ඇරඹිය යුත්තේ එහෙයිනි.

අවට ලෝකයෙන් අප බලාපොරොත්තු වන දෑ හෙට දින ලෝකයෙන් නෙලා ගැනීමට නම්, අද දින අප ඒ වටාපිටාව සැකසීම කළ යුතුය. අවශ්‍ය පරිදි ජලය, පොහොර ලබා දී ඒ සුහුඹුල් පැළ රැකගත යුතුය. එම වගකීම යුතුකම අද දින පැහැර හැරීමෙන් විනාශ වන්නේ ළමා ලෝකය පමණක්ම නොවේ ඔබ මගේ අනාගතයයි. .

කෑම බීම, ඇඳුම් පැළඳුම් ඇතුළු සියලු පහසුකම් සපයා දී ඔබ ඔබේ දරුවා වෙනුවෙන් ඉහලම පාසලක් තෝරා ගත්තද, දරුවාට යහපත් ගුණ ධර්ම වර්ධනය කරගැනීමට පරිසරය සකස් කර දී නොමැති නම් එතුලින් උගත් දරුවෙක් බිහි වුවද, යහපත් දරුවෙක් බිහිවේ යැයි බලාපොරොත්තු විය නොහැක.

වර්තමානයේ සියල්ල වාණිජකරණයට හසුවී ඇති වටපිටාවක ඔබගේ කාලය සීමිත විය හැක. එහෙත් ඔබ දරුවන් වෙනුවෙන් කාලය වැය කිරීමට පසුබට වන්නේ නම් දිනෙක ඔබ වෙනුවෙන් ඔවුන් කාලය වැය කරාවි යැයි නොසිතන්න.

මූල්‍යමය වශයෙන් ඔබ කරනු ලබන කැපකිරීම් වලට වඩා අවශ්‍ය වන්නේ, දරුවාගේ මානසික සෞඛ්‍ය වෙනුවෙන් ඔබ විසින් ලබාදෙන දායකත්වය යි.
සහකම්පනය සහිත දරුවකු සමාජයට දායාද කිරීමට නම් ඔබ නිවසේදී ඉදිකරන අඩිතාලම ශක්තිමත් විය යුතුය.

එනයින් ම, පාසල් පද්ධතිය තුළ විෂයය දැනුමට අමතරව දරුවන්ගේ අධ්‍යාත්මික ගුණවගාව වෙනුවෙන් සැලකිය යුතු කාලයක් වෙන් කල යුතුය.

මන්ද, ළමයා යනු අනුකරණය සහ අනුගමනය කරන්නෙකි. වැඩිහිටි ඔබ නිවසේදී සහ පාසලේදී ළමා ලෝකය අරුත්බර කිරීමට දෙනු ලබන දායකත්වය නිසැකවම ළමයා විසින් ග්‍රහණය කර ගනු ඇත.

සිතන්න, සහකම්පනයෙන් තොර යාන්ත්‍රික ජීවීයෙක් බිහිකර අනාගතයේ හිත් පිත් නැති දොස්තරවරු, ඉංජිනේරුවරු නිර්මාණය කරනවාට වඩා සහකම්පනය, සහජීවනය අගයන මානව හිතවාදී ළමුන් පිරිසක් අනාගතයට දායාද කිරීමට ඔබටත් මටත් අඩු වැඩි වශයෙන් වගකීමක් ඇත.

අප්‍රමාදව ක්‍රියාත්මක වෙමු.

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...