Breaking News

අලුත් පනතට කලින් හඳුන්වා දී ඇති බලපත්‍ර ක්‍රමයක් නිසා ධීවර ජනතාව අමාරුවේ

සුළු පරිමාණ ධීවරයන් සදහා හදුන්වා දී තිබෙන අවසර පත් ක්‍රමය නිසා ධීවරයන් මහත් දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව වාර්තා වේ. විශේෂයෙන් බලපත්‍ර නොමැති බව පවසා ධීවරයන් අත්අඩංගුවට ගැනීම මෙයට හේතුවයි.

වලංගු බලපත්‍ර නොමැතිව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි දේශීය ධීවරයන් නම දෙනකු පසුගියදා ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මන්නාරම, අරිප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ වලංගු බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් නව දෙනෙකු සමඟ කිමිදුම් උපකරණ, මුහුදු කූඩැල්ලන් ගණනින් එක්දහස් තුන්සිය අසු හතරක පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රා තුනක් ද නොවැම්බර් මස 20 වැනි දින උදෑසන කාලයේදී සිදු කල විශේෂ මෙහෙයුමක් මඟින් සිය භාරයට ගත් බවයි නාවික හමුදාව පවසන්නේ.

ඔවුන් මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද බව ශ්‍රී ලංකා නාවික හමුදාව නිවේදනය කර තිබේ.

ඔවුන් වැඩි දුරටත් පවසන්නේ එම සැකකරුවන් නව දෙනා, කිමිදුම් උපකරණ, ඩිංගි යාත්‍රා තුන සහ මුහුදු කූඩැල්ලන් තොගය ඉදිරි නීතීමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කළ බවයි.

බලපත්‍ර නිසා ධීවරයන් අමාරුවේ

මන්නාරම පල්ලිමුනේ ග්‍රාමයේ ධීවරයන් ඔක්තෝබර් 12 වැනි බ්‍රහස්පතින්දා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට දී විරෝධතා දියත් කරමින් අවධාරණය කර තිබුනේ සුළු පරිමාණ ධීවරයන් සදහා හදුන්වා දී තිබෙන අවසර පත් ක්‍රමය නිසා තමන් මහත් දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවයි.

ධීවර අමාත්‍යාංශය බල පත්‍ර වර්ගීකරණයක් හදුන්වා දීම නිසා ධීවරයන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බව පෙන්වා දුන් ධිවරයකු එහි දී ඉල්ලා තිබුනේ මුහුදු සම්පත නෙලා ගැනීම සදහා පොදු බලපත්‍ර ක්‍රමයක් හදුන්වා දෙන ලෙසයි.

” මේ රස්සාව කරගෙන යන්න දෙන්නේ නැතුව පාස් ක්‍රමයක් ගෙනල්ලා, මුහුදේ කුඩැල්ලෝ එනවා, ඉස්සෝ එනවා, මාළු එනවා, දැල්ලෝ එනවා. මේ ඔක්කෝටම පාස් දෙන්න කියලා තමයි අපි කියන්නේ. මාළුන්ට එක පාස් එකක්, ඉස්සන්ට එක පාස් එකක්, කකුළුවන්ට එක පාස් එකක් එහෙම තියෙන්න බෑ. අපි රස්සාවට යන්න ලැස්ති වෙනකොට නාවික හමුදාව අපිව නවත්තන්නේ ධීවර දෙපාර්තමේන්තුවේ උපදෙස් මත. ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රාවට පාස් තියෙනවද? මෙහෙ ඇවිත් රස්සාව කරනවා. ඒත් අපිට පාස් ඕනේ. මොකක්ද මේ අසාධාරණය.”

තවත් ධීවරයකු එදින අවධාරණය කර තිබුනේ බලපත්‍රයක්දා නොමැතිව හෝ බල පත්‍රයට පිටින් මසුන් මැරීමේ නිරත වන්නන් අත්අඩංගුවට ගැනීම සදහා ධීවර අමාත්‍යාංශය නාවික හමුදාවට බලය පවරා ඇති බවයි.

“අපිට නිදහසේ රස්සාව කරන්න බැරි වෙලා තියෙන්නේ. අපි මුහුදට ගියොත් නාවික හමුදාව අපිව අත්අඩංගුවට ගන්නවා. ධීවර දෙපාර්තමේන්තුව තමයි අපිව අත්අඩංගුවට ගන්න කිව්වේ කියලා නාවික හමුදාව කියනවා. අපි සීමාව ඉක්මවා යනවා කියලා කියනවා. කිලිනොච්චි, යාපනය පැත්තේ අපිට රස්සාව කරන්න බෑ. ඒ උනත් අපි පරම්පරා ගණනක් මේ වගේ තමයි රස්සාව කරන්නේ.”

 

නව ධීවර පනත

මේ වනවිට දැනට පවතින 1996 අංක 02 දරන ධීවර පනත වෙනස් කරමින් නව ධීවර පනතක් ගෙන ඒමට ආණ්ඩුව සූදානමින් සිටියි.

ඉතා බරපතල ලෙස ධීවර ප්‍රජාව හා ධීවර කර්මාන්තයට බලපෑම් එල්ල කරන, කලහැකි යෝජනා මෙම පනත තුළ ඇති ඛව වාර්තා වේ.
දැනට සාම්ප්‍රදායික හා ධීවර සමිති තුල ලියාපදිංචි පුද්ගලයන් ධීවරයන් වන නමුත් මෙම පනතට අනුව පුද්ගලයකු ධීවරයෙකු වන්නේ අධ්‍යක්ෂ ජෙනරාල් නම් කරනු ලබන්නන් පමණි.

වෙරළේ සිට නාවික සැතපුම් 05 ට මෙහායින් යාන්ත්‍රික වැඩකටයුතු කිරීම තහනම් වීම

කෝටා ක්‍රමයක් ගෙන ඒම

ඇල්ලීමට අදාල මාළු ප්‍රමාණයන් සීමා කිරීම

ධීවර ප්‍රජාවට විශාල දඩ මුදල් නියම කිරිම

leave a reply