Breaking News

ඔවුන් සොයන්නේ ඔබගේ උපකාරයයි

උපතින්ම ආබාධිත වූ තම වැඩිමල් දරුවා සුව කර ගැනීමට වසර 15 ක් පුරා ඉපැයූ මුදල් වැය වීම හේතුවෙන් ස්ථීර නිවසක් තනා ගැනීමට නොහැකි ව දරුවන් තිදෙනකු සමඟ දෙමාපියන් යුවලක් එප්පාවල පහළ හල්මිල්ලෑව ගම්මානයේ ඉතා අසරණ තත්වයට පත්ව ඇති අතර, සිහිනයක් වී ඇති නිවසක් තනා ගැනීම යථාර්ථයක් බවට පත් කර ගැනීමට ඔවුන් පරිත්‍යාගශීලීන්ගේ උපකාරය ප්‍රාර්ථනා කරයි.

එච්.ඩී ගයාන් පුෂ්ප කුමාර හා ආර්.බී සුභාෂිණි කුමාරී දහසකුත් බලාපොරොත්තු මැද මීට වසර 17 කට පමණ විවාහ දිවියට එළැඹෙන්නේ දරුමල්ලන්ද සමඟින් නිවසක් තනා ගෙන ජීවත් වීමට සිහින දකිමිනි.විවාහයට පත්ව වසරකට පමණ පසුව ඔවුන්ගේ කැඳැල්ලට අලුතින් සාමාජිකයකු එක්වන්නට යන බවට ලද ආරංචියෙන් ඔවුන් දෙපළ මහත් සතුටට පත්ව ඇත.කුසට මාස 07 ක් වූ කළ සුභාෂිණී දරු ප්‍රසූතිය සඳහා අපහසුතාවෙන් කෑ ගැසීමත් සමඟින් ගයාන් විසින් ඈ අනුරාධපුර ශීක්ෂණ රෝහලට වෙත රැගෙන ගොස් ඇත.ඒ අවස්ථාවේදී පරික්ෂා කිරීමේදී සුභාෂිණි ගේ කුස තුළ නිවුන්නු දරුවන් සිටින බැවින් ගර්භාෂයේ ඉඩ නොමැතිකම නිසාවෙන් කඩිනමින් සිසේරියන් සැත්කමක් හරහා දරුවන් බිහි කළ යුතු බවටත් වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.

ඒ අනුව සිසේරියන් සැත්කම සාර්ථකව සිදු කර දරු දෙදෙනා මෙලොවට බිහි කරවීමෙන් අනතුරුව අනුරාධපුර ශීක්ෂණ රෝහලේ ළඳරු කාමරයේ වීදුරු පෙට්ටියක් තුළ අඩු මාසෙන් ඉපදුන මෙම දරුවන් දෙදෙනා දින 15 කට ආසන්න කාළයක් තබා ගෙන ප්‍රථිකාර සිදු කර ඇත.එක් දරුවකු ඉතා නිරෝගී තත්වයෙන් පසු වී ඇති අතර, වැඩිමල් පිරිමි දරුවා කථන, ශ්‍රවණ ආබාධිත හා දෘෂ්‍ය ආබාධිත බවට වෛද්‍යවරුන් පවසා ඇත.

කුමන ආබාධ සහිත වූවත් තමන්ගේ කැඳැල්ලට ආ දරු දෙදෙනාවම ලොකු මහත් කිරීමට ගයාන් හා සුභාෂිණී අදිටන් කර ගෙන එදා පටන් අද වන තුරුත් වසර 15 ක් පුරා තම වැඩිමල් පුතු වන එච්.එම් අශාන් සඳකැලුම් (15)සුව කර ගැනීම සඳහා සිංහල බෙහෙත්, ඉංග්‍රීසී බෙහෙත් ,කොළඹ, නුවර ඇතුළු දිවයිනේ නොයෙකුත් ප්‍රදේශ වලින් ලබා ගත්තද මෙතෙක් ඔහු සුව කර ගත නොහැකි වී ඇත.දරුවා මීට වඩා සුව කර ගත නොහැකි බවට වෛද්‍යවරුන් පැවසූ බවද ඔවුන් පවසති.

ආබාධිත දරුවා වෙනුවෙන් වෙනුවෙන් එදා පටන් අද දක්වා කුළීවැඩ හා ගොවිතැන් කර ගයාන් උපයා ගත් මුදල් වැය වීමෙන් මේ වන විට ඔවුන්ට ස්ථිර නිවසක්ද තනා ගැනීමට නොහැකි වී ඇත. කුඩා කාරම දෙකක් හා කුඩා මුළුතැන්ගෙයක් සහිත එම නිවසේ මේ වන විට එච්.ඩී ගයාන් පුෂ්ප කුමාර( 36) , ආර්.බී සුභාෂිණී කුමාරී, එච්.එම් අශාන් සඳකැලුම් (15) නම් ආබාධිත දරුවා, එච්.එම් ක්‍රිශාන් සඳකැලුම් (15) හා බාල දියණිය වන තෙනුදි යොහන්සා පදිංචිව සිටිති.

නව නිවසක් ඉදි කිරීමේ අටියෙන් මීට වසර 03 කට පමණ පෙර අත්තිවාරම් දැමා බ්ලොක් ගල් ගෙන ආ නමුත් නිවසේ ඉතිරි වැඩ කර ගැනීමට ප්‍රමාණවත් මුදල් නොමැති වීමෙන් නිවසේ වැඩ කටයුතු අතර මඟ නවතා දැමීමට සිදු වූ බවද ගයාන් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ගයාන් පුෂ්පකුමාර (36)
මාස 07 න් තමා මගේ වැඩිමල් පුතා හම්බුනේ, එයා එක්කම තවත් පුතෙක් හම්බුණා, දෙන්නම බේබී රූම් හිටියා හම්බෙලා, එතනදී ලොකු පුතාට ලයිට් සැර වැදිලා ඇස්පේන්නේ නෑ, කන් ඇහෙන්නේ නෑ, කථා කරන්න බෑ, ඊට පස්සේ පුතාව හොඳ කර ගන්න නුවර, කොළඹ වගේ හැම තැනකම අරන් ගියා, සැත්කමක් පවා කළා, නමුත් සුව වුණේ නෑ, මම හම්බ කරපු හැම සතේම මේ දරුවන් වෙනුවෙන් වැය කලේ, ගෙයක් දොරක් හදා ගන්න බැරි වුණා, මේ දරුවොත් එක්ක ඉන්න හරි හැටි ගෙයක් නෑ, මම ඉල්ලන්නේ අපිට ගේ හදාගන්න ආධාරයක් කරන්න කියලා, මම කුළී වැඩ කරන්නේ, කුළි වැඩ කරලා දැන් හම්බ කරන හැමදේමත් දරුවන්ට වියදම් කළාම ගෙයක් හදා ගන්න අපහසු නිසයි මම ඒ ඉල්ලීම කරන්නේ යැයි පැවසීය.

මව වන ආර්.බී සුභාෂිණී කුමාරී අදහස් දක්වමින් කියා සිටියේ,
මට නිවුන්නු පුතාලා දෙන්නෙක් හම්බුණා, එක්කෙනෙක් අබාධිතයි, ඇස් පේන්නේ නෑ, කන් ඇහැන්නේ නෑ, කථා කරන්න බෑ, පුතාලා දෙන්නටම දැන් අවුරුදු 15 යි, තව දුවක් ඉන්නවා අවුරුදු 1 1/2 යි, කුලී වැඩ කරලා තමයි මහත්තයා අපි ඔක්කොම ජීවත් කරවන්නේ, ආබාධිත පුතා සුව කර ගන්න අපි ගොඩක් මහන්සි වුණා, වියදම් කළා, කොළඹ- නුවර ගියා, පුතාට මාස 03 ඉඳන් අවුරුදු 15 ක් වෙනකල් බෙහෙත් කළා,ඒත් සුවයක් නෑ, කොළඹින් සැත්කමක් පවා කරලා කනට ඔපරේෂන් එකක් දැම්මා, අපිට තව ශ්‍රවණ උපකරණයක් තියෙනවා ඒකට බඩු ගන්නවත් සල්ලි නෑ.අපි ඉල්ලන්නේ ගේ හදා ගන්න අපිට උදව් කරන්න කියලා.අපි දේශපාලඥයොන්ගෙන්, රජයෙන් ඉල්ලීම් කළා, උදව් කරන්නම් කිව්වට තාම කවුරුත් උදව් කලේ නෑ අපිට, පුලුවන් නම් අපිට ගේ හදා ගන්න උදව් කරන්න.ඒක ලොකු පිනක් යැයි පැවසුවාය.

leave a reply