වඩුක්කෝඩෙයි⁣ තරුණයා ඝාතනයට සැක පොලිස් නිලධාරීන් තවමත් අත්අඩංගුවට ගෙන නැහැ

යාපනය වඩුක්කෝඩෙයි⁣ පොලිසිය භාරයේ සිටියදී පහරකෑමට ලක්ව දින කිහිපයකට පසුව 26 හැවිරිදි නාගරාසා ඇලෙක්ස් මිය යාම සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයකු හා කොස්තාපල්වරයකු වහාම ක්‍රියාත්මක වන පරිදි යාපනය පොලිසියට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවද පොලිසිය කියයි.

මිය ගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය ශික්ෂණ රෝහලේ දී පෙරේදා (20) පැවැත්වීමෙන් අනතුරුව පහරදීම හේතුවෙන් ශරීරයේ අභ්‍යන්තරයේ ඇති වු බහුවිධ තුවාල හේතුවෙන් වකුගඩු අකර්මන්‍ය වීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවට අධිකරණ වෛද්‍යවරයා විසින් සිය වාර්තාව මගින් දන්වා තිබුණි.

එසේ තිබියදී මෙම සිද්ධිය සම්බන්ධ නිලධාරීන් අත්අඩංගුවට නොගෙන මාරුවීම් පමණක් ලබාදීම සම්බන්ධයෙන් විරෝධයක් එල්ල වී තිබේ. පොලිස් භාරයේදී පුද්ගලයන් මිය යාමේ සිදුවීම් නිරන්තරයෙන් වාර්තා වෙමින් පවතින අතර ඔවුන්ට එරෙහිව කිසිදු පියවරක් ගන්නා ආකාරය දක්නට නොලැබේ. චෝදනා ලබන පොලිස් නිලධාරීන්ට ලැබෙන උපරිම දඬුවමක් බවට පත්ව ඇත්තේ යම්කිසි කාලයකට වැඩ තහනම් කිරීම හෝ ස්ථාන මාරු කිරීම පමණි.

පළාත් බද වාර්තාකරුවන්ට අනුව වඩුක්කොඩෙයි, සිත්තංකේනි ලිපිනයේ පදිංචි නාගරාසා ඇලෙක්ස් සොරකම් චෝදනාවක් සම්බන්ධයෙන් වඩුක්කෝට්ටේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ නොවැම්බර් 08 වැනි දිනයි.

පරීක්ෂණයක් සදහා බව පවසමින් සිය පුතු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවට නොවැම්බර් 10 වැනිදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ යාපනය කාර්යාලයට නාගරාසා ඇලෙක්ස්ගේ මව පැමිණිලි කිරීමෙන් පසුව නාගරාසා ඇලෙක්ස් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතු කර තිබේ. පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ නාගරාසා ඇලෙක්ස් බන්ධනාගාරගත කිරීමට අධිකරණය එහිදී නියෝග කළ බවයි.

නාගරාසා ඇලෙක්ස් යාපනය බන්ධනාගාරයේ, බන්ධනාගාරගත කිරීමට නියෝග කිරීමෙන් පසුව අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් මීට දින කිහිපයකට පෙරදීද යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බවයි පළාත් බද වාර්තාකරුවන් වැඩි දුරටත් පවසන්නේ. එම අවස්ථාවේ ඔහු බැලීමට රෝහලට පැමිණි පවුලේ ඥාතියකුට නාගරාසා ඇලෙක්ස් තමන් පොලීසිය තුලදී වධ බන්ධනයට මුහුණ දුන් ආකාරය පිළිබඳව කර ඇති විස්තරය එම ඥාතියා විසින් සිය ජංගම දුරකතනයෙන් විඩියෝ ගත කර ඇත.

“පොලිසිය සැක කේස් එකකට අරන් ගිහින් ගැහුවා. හොරකම් සිදු වෙලා කියලා ගැහුවා. පිටි පස්සේ ගැට ගහලා මූණ රෙදි කෑල්ලකින් වහලා වතුර වක්කර, වක්කර ගැහුවා. පොඩ්ඩයි කන්න දුන්නේ. එක ලණුවකින් ගැට ගහලා ගැහුවා. අහ, අහ ගැහුවා. මම නෑ කිව්වා. බෑගයකට පෙට්‍රල් තවරලා දාලා ගැහුවා. මට සිහිනැති උනා.“ යැයි නාගරාජා ඇලෙක්ස් පවසන ආකාරය විඩියෝ ගතව තිබේ.

තරුණයාගේ මරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් දෙමළ ජාතික සංධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ සරවනභවන් සදහන් කර ඇත්තේ නාගරාසා ඇලෙක්ස් පොලිස් අත්අඩංගුවේදී වධ හිංසාවට ලක්වු බවට සැකයක් නොමැති බවයි.

“මෙම සිද්ධියේදී ඔහු මිය යාමට පෙර ලබාදුන් ප්‍රකාශය, ඥාතීන්ගේ ප්‍රකාශ, ඇතුළු සියළු ප්‍රකාශවලින් පැහැදිලි වෙන්නේ ඔහු පොලිස් අත්අඩංගුවේ දී වධහිංසාවට ලක් වූ බවට සැකයක් නැති බවයි .“

මේ සම්බන්ධයෙන් වඩුක්කොඩෙයි පොලිසියේ සේවයේ නියුතු නිලධාරීන් හතර දෙනකු හඳුනාගෙන ඇති බව යාපනයේ මාධ්‍යවේදීන් සමග පැවසු යාපනය දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති මංජුල සෙනරත් තව දුරටත් සදහන් කර ඇත්තේ ඒ අනුව ඔවුන් සිව්දෙනාම මේ වන විට දිස්ත්‍රික් අපරාධ නිවාරණ පොලිස් ඒකකය යටතේ සිටින බවයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...