රාජපක්ෂ ආණ්ඩුව 2009 අප්‍රේල් 27 දා නිවේදනය කරනව උතුරට එල්ල කරමින් තිබෙන බර අවි හා ගුවන් ප්‍රහාර නතර කරන බවට. ඉන් දිනකට පස්සෙ මාධ්‍ය හමුවක් තියල ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයෝ බර අවි ප්‍රහාර නැවැත්වීමට ආණ්ඩුව ගත් තීරණය දැඩි විවේචනයකට ලක් කරනව. එහිදී ජවිපෙ නායක මණ්ඩලය කියන්නෙ ඉහත තීරණය ඉන්දියාවේ බලපෑමට යටත් ව ගත් එකක් බවටයි.
එහිදී සෝමවංශ මූලික ජවිපෙ නායක මණ්ඩලය විසින් රාජපක්ෂ ආණ්ඩුවෙන් සිදුකරන ප්‍රශ්න කිරීමක් මෙසේ උපුටා දැක්විය හැකියි.
‘වීරෝදාර හමුදාවෝ විශාල කැප කිරීම් සහ පරිත්‍යාග සිදුකර තිබෙනවා. ආණ්ඩුවේ මේ ප්‍රකාශය මගින් ඒ ජයග්‍රහණ සියල්ල බොඳ කිරීමකට ලක් වෙනවා. මීට පෙර සිදුවූවා සේම මේ සිදුවන්නේ ලබාගත් ජයග්‍රහණය දිය කර හැරීමක්ද ?’
ඊට වසර කිහිපයකට පස්සෙ,ඒ කියන්නෙ 2015 යහපාලන ආණ්ඩුව බලයට පත් කළාට පස්සෙ අනුර දිසානායක ස්වාධීන රූපවාහිනියේ (උපුල් සාන්ත සන්නස්ගල විසින් මෙහෙය වූ) ‘සත්‍යාගාරය’ වැඩසටහනට සහභාගි වී ඉන් අසන පැනයකට පිළිතුර ලෙස කියනව ‘සිවිල් වැසියන්ට සිදු වූ හානිය නොතකා බර අවි ප්‍රහාර එල්ල කරන ලෙස තමන් කළ ඉල්ලීම විසින් ජනතා විමුක්ති පෙරමුණේ සමබරතාවය බිදවැටී’ ගිය බව. එහිදී ඔහු කියන්නෙ යුද්ධයට තමන් දායකත්වය ලබා දීමේදී සාමාන්‍ය සිවිල් වැසියන් මුහුණ දෙන ගැටළු පිළිබඳව තම පක්‍ෂය අවධානයක් යොමු නොකිරීම ගැටළුකාරී වූ බවයි.
‘සමස්ත සමාජයම යුද්ධයේ මනස්කාන්ත දර්ශනයෙන් හැඟීම්බර වී ඊට යට වූ තත්ත්වයක් තුළ තමන් ද ඊට සැළකිය යුතු ප්‍රමාණයකින් හසු වූ’ බව අනුර කුමාර එහිදී තවදුරටත් කියා සිටිනවා.
බරපතළ දේශපාලන සාපරාධයකින් කොයිතරම් සරල නිදහස් වීමක්ද ? මුළුමහත් සමාජයම හැගීම්බර කළ යුද්ධයේ මනරම් වසගයට තමන්ද හසු වූ බව කීම සේෆ් න්‍යායකට වඩා සටකපට විහිළුවක් වන්නේ එම ‘යුධ වින්දනය’ දකුණේ සිංහල පොදු ජන මනස තුළ දෘෂ්ටිවාදී සැණකෙළියක් බවට පත් කළේ ජනතා විමුක්ති පෙරමුණ විසින් වීම නිසාය.සිහළ-හෙළ උරුම ව්‍යාපාරය පවා එම තරගයේදී සිටියේ ජවිපෙට පිටුපසිනි. මහින්ද රාජපක්ෂ පවා යුධමය-සිවිල් ප්‍රහාර කරා යොමු කෙරුණේ ජවිපෙ විසින් උද්වේගී කළ යුධවාදී ජන මනසට අනුගත වීමේ තෝරාගැනීමක් හා ජවිපෙ
අද ජවිපෙ/ජාජබ මැතිවරණ ජයග්‍රහණ වෙනුවෙන් ළෙලවමින් තිබෙන ‘බර අවි’ සංඥා ‘සැහැල්ලු’ ප්‍රචාරක උපක්‍රමයක් පමණක් නොවෙන්නෙ ඉහත කී යුධමය අපරාධයේ මෑත අතීත සෙවණැල්ල යට එය තීරණාත්මකව හැගවුම්කරණය වන නිසයි.හැගවුම්කාරකයක් ඔහේ පාවෙන්නෙ නැත..ඊට ඇත්තේ ව්‍යුහාත්මක චලනයකි. උතුරේ දෙමළ ජනයාගේ හිස මතට එල්ල කළ ‘බර අවි’ විනාශය වෙනුවෙන් බරපතල දේශපාලන වන්දියක් නොගෙවා,සරලව අත පිසදා ගැනීමෙන් පමණක් නොනැවතී එම සංහාර සලකුණක්ම යළි උත්කර්ෂණය වීම වනාහී පවතින අධිපති ජනවාර්ගික දෘෂ්ටිවාදයට යට වීමක් පමණක් ද ?
ඊටත් වඩා දේශපාලන හෘද සාක්ෂියේ නැංගුරම් ලක්ෂ්‍යය ගිලිහී ගිය පසු ජනනය කෙරෙන ‘ලිබරල් සෝපාහාසී (Liberal ironic) පශ්චාත් නූතන වීරත්වය’ නම් වූ නරුම දෘෂ්ටිවාදයට දේශපාලන ව්‍යාපාරයක් යට වීම පිළිබද ඛේදනීය කතාවක්ද මෙහි ඇත.