Breaking News

නිරෝධායන නීති උල්ලංඝණය කරේ පොලීසිය – ආණ්ඩුවේ මර්දනයට, ආචාර්යවරුන්ගේ විරෝධය

රොහාන් ලක්සිරි – ලේකම්

කොළඹ ලිප්ටන් වටරවුමේ පැවති සාමකාමී උද්ඝෝෂණයකට පොලිසිය විසින් පහරදී විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම දැඩි ලෙස හෙළා දකින බව විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. පොලිසිය නිරෝධායන නීති රීති උපුටමින් ඊට එරෙහිව වාරණ නියෝගයක් ලබා ගෙන තිබුනද නිරෝධායන රෙගුලාසි සැබැවින්ම උල්ලංඝණය කලේ විරෝධතාකරුවන් නොව කිසිදු රෙගුලාසියක් නොතකමින් ප්‍රචණ්ඩ ලෙස වාහනවලට පුද්ගලයින් ඇද දැමූ පොලිසිය බව එම සංගමය පවසයි.

විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

2020 ජූනි 09 වන දා පැවැති සාමකාමී උද්ඝෝෂණයකට කළ පොලිස් පහරදීම විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය දැඩි ලෙස හෙලා දකී. මෙම විරෝධතාවය ඇමරිකා එක්සත් ජනපදයේ මිනියාපොලිස් හිදී එරට පොලිසිය විසින් සිදුකළ ජෝර්ජ් ‍ෆ්ලොයිඩ් ඝාතනයට එරෙහිව සිදු කරන ලද්දකි. මෙම ඝාතනයට විරුද්ධව ගෝලීය මට්ටමින් ප්‍රබල විරෝධයක් පැන නැගුණු අතර පසුගිය සති දෙක තුළ ලෝකයේ විවිධ ප්‍රදේශවල මෙම සිදුවීමට විරෝධය පල කරමින් උද්ඝෝෂණ පැවැත්විණ. ශ්‍රී ලංකාව තුළ සංවිධානය වූ විරෝධතාවය පොලිස් දාමරිකත්වය හා බලය අයුතු ලෙස යොදාගැන්මට එරෙහිව ලොව පුරා වැඩෙන මෙම ව්‍යපාරයට සමගාමීව පවත්වන ලද්දකි.

ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරියේ මෙම විරෝධතාවය මුලින් පැවැත්වීමට නියමිතව තිබුණු අතර පොලිසිය නිරෝධායන නීති රීති උපුටමින් ඊට එරෙහිව වාරණ නියෝගයක් ලබා ගෙන තිබුණි. කෙසේ වූවද, විරෝධතාවයේ ඡායාරූපවලින් පෙන්නුම් කෙරෙන්නේ නිරෝධායන රෙගුලාසි සැබැවින්ම උල්ලංඝණය කලේ විරෝධතාකරුවන් නොව කිසිදු රෙගුලාසියක් නොතකමින් ප්‍රචණ්ඩ ලෙස වාහනවලට පුද්ගලයින් ඇද දැමූ පොලිසිය බවයි.

විරෝධතා දැක්වීම සහ විසම්මුතික අදහස් ප්‍රකාශ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික අයිතිවාසිකමකි. ඊයේ දින ශ්‍රී ලංකාවේ රජය පෙන්නුම් කලේ මෙම අයිතිය ඔවුන් සහමුලින්ම නොතකා හරින බවයි. ඒ වෙනුවට, අන් මත නොඉවසීමේ හා රාජ්‍ය ප්‍රචණ්ඩත්වයේ සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීමට තිබෙන පෙලඹුම ප්‍රබල ලෙස ප්‍රදර්ශනය විය. මෙම සිදුවීම විරුද්ධවාදී අදහස නොඉවසීම පෙන්නුම් කරන්නක් බව වඩාත් පැහැදිලි වන්නේ පසුගිය දිනවල බලගතු කණ්ඩායම් විසින් අවමංගල උත්සවවල සිට, දේශපාලන රැස්වීම දක්වා – එසේම ප්‍රසංග සංවිධානය කිරීම දක්වා වූ විවිධ ක්‍රියාකාරකම් මගින් නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කළ බවට වූ කරුණ සැලකිල්ලට ගන්නා විටදීය. මෙම විරෝධතාවය ප්‍රචණ්ඩ ලෙස විසුරුවා හැරීමට පැය විසි හතරකට පෙර, තවත් එවැනි පාර්ශවයක් කිසිදු බාධාවකින් තොරව මැතිවරණ කොමිසම ඉදිරිපිට විරෝධතාවයක් ද සංවිධානය කොට තිබුණි.

මෙම රජය බලයට පැමිණියේ සියලු දෙනාට සමානව නීතිය ක්‍රියාත්මක කරන බවට වූ පොරොන්දුව මතය. ‘එක රටක්-එක නීතියක්’ යන්න එහි ජනප්‍රිය සටන් පාඨය විය. ඊයේ දින සිදුවීම්වලින් පෙන්නුම් කෙරෙන්නේ මේවා කිසිදු අර්ථයක් නොමැති හුදු හිස් ප්‍රතිඥා බවයි.

විසම්මුතියේ වටිනාකම, විරුද්ධවාදී අදහස් ඉවසීම, විරෝධය දැක්වීමේ, ප්‍රකාශනයේ හා සමාගමයේ නිදහස තුල ඇති අගය මැනැවින් අවබෝධ කරගත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ලෙස නීත්‍යනුකූල විරෝධතාවයකට රජය දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අප දැඩි ලෙස කණස්සල්ලට පත් වී සිටිමු. රටේ පුරවැසියන්ට තම අදහස් ප්‍රකාශ කිරීමට තිබෙන අයිතිය වෙනුවෙන් පෙනී සිටින ලෙස අප අපගේ සාමාජිකත්වයෙන් හා පොදු සමාජයෙන් ඉල්ලා සිටිමු. එසේම, පොලිසියේ හැසිරීම සම්බන්ධයෙන් අපගේ බලවත් සැලකිල්ල යොමු කිරීමට කැමැත්තෙමු. නීතිය ගැන වන සිය බරපතල නොසැලකිල්ල පොලිසිය විසින් මෑතකාලයේ ප්‍රකාශයට පත්කළ සිදුවීම් දාමයක එක් අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැක. හිංසනය සහ දාමරිකත්වය පොලිසිය තුළ ආයතනගත වී තිබෙන සෙයක් අපට පෙනී යයි. පොලිසිය ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක ‍වන ලෙස අප රජයෙන් ඉල්ලා සිටින අතර එය විසින් ආරක්ෂා කළ යුතු ප්‍රජාවන්ට පහර දීම වෙනුවට ‍පොලිසිය එම ප්‍රජාවන් වෙත සංවේදී වන හා ප්‍රතිචාරී වන තත්වයක් ඇති කිරීම රජයේ වගකීමකි.

 

leave a reply