20 සියවසේ රුසියානු කවියේ ශ්‍රේෂ්ඨතම කුමරියක් –මරීනා ත්ස්වෙතායෙවා

ජනප්‍රිය ලෝකයේ කුමරියක් – ඩයනා – අද (31) වැනි දිනක ඛේදනීය ලෙස මියගිය මතකය ලංකාවේ මුහුණු පොත පුරාත් අද රැව් දුන්නා.
20 සියවසේ රුසියානු කවියේ ශ්‍රේෂ්ඨතම කුමරියක් – මරීනා ත්ස්වෙතායෙවා – ඛේදනීය ලෙස මියගිය ගියේ අද වැනි දිනක ( 1941. අගෝස්තු 31). ජනප්‍රිය ලෝකය හා සංස්කෘතික ලෝකය අතර සැමදා පවතින ආතතිය ගැන මෙනෙහි කරන අතරේ ඈ ගැන සටහනක් තියන්නට අවසානයේ හිත හදාගත්තා .

මරීනා ත්ස්වෙතායෙවා, 20 සියවසේ විශ්ව කාව්‍යයේ ( රුසියාවේ පමණක් නොවේ !) විශිෂ්ටතම නිර්මාණ චරිතය බව නොබෙල් ත්‍යාගලාභී ජෝශප් බ්‍රෝද්ස්කි කවියා විශ්වාස කළා.

ඇගේ කවිය නිර්මාණකරුවන්ගේ වින්දනය සඳහා වඩා සුදුසු බවත් , සාමාන්‍ය රසිකයන් සඳහා ගෝචර වීමට නම් එය දස ගුණයකින්වත් තනුක කිරීමට සිදුවන බවත් තවත් නොබෙල් ත්‍යාගලාභී රුසියානුවෙක් වන අලෙක්සාන්දර් සොල්ශෙනිත්සින් වරක් කිව්වා.

මගේ ‘ගිම්හානේ යන්න ගිහින් ‘ පරිවර්තන කෘතියේ ඇගේ කවි සාගරයෙන් ගත් කුඩා දෝතක් – කවි 27ක් – අඩංගුයි.
මේ ඇගේ එක් කවියක පරිවර්තනයක් ; එය ලියා ඇත්තේත් හරියටම අද(31) වැනි දිනක ! ! !

මග්දලීනා

නොවිසමි මාවත් ගැන නුඹ ඇවිද ගිය
ඇරත් සියලු දේ සැබෑවුනු කොට , මිහිරිය.
මම හිමියා වෙච්චි , පැළඳුවේ මට පාවහන්
නුඹ කෙස් වැටියෙන් හා කඳුළු වැස්සකින්.

නොවිසමි එලෙසින්ම , සුවඳ ඔසු හර
නුඹ ගත්තේ කවර මිලට ද කියා , ඉදින්….
පැදකුනු කළා නුඹ නිරුවත් මා සිරුර
නුඹ සිරුරින් කනක පවුරක් නගමින්.

නුඹේ නිරුවත පඬුරක් මෙන් ගනිමි දෝතින්
මුදුව දියටත් වඩා, නැමී තණ ගසක් මෙන්.
මම සිටියේ සිරව උජු බව දැඩිබවක් කරගෙන
එවිට, මුදුබව වෙතට මා නැමුවා නුඹ වෙළෙමින්.

මට දියන් කුටියක් නුඹේ සුවඳ මුහුලස මැදින්
ඔතාපන්න මා , හන පිළියක් අත නොගෙන.
පිරිසිදු කළා මා සෝදා නුඹ රළක් මෙන් අවුදින්,
සුවඳ ඔසු ගෙනෙන්නී ! ඉදින් කුමට මට ආලේපන ?

1923 , අගෝස්තු 31

 

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...