අපට යම්තරමකින් හෝ අන් අයගේ විඳවීම් ගැන වද වීමට හැකියාවක් ඇත්නම්, එය අපගේ ජීවිතයේ විඳවීම් සමනය කරනු ඇතැයි මම අසා ඇත්තෙමි. පහුගිය දින කිහිපය තුළ එය ප්‍රායෝගිකව අත්දැකීමේ අවස්ථාවක් මට උදා විය. ලෝකය තමන් වටේ කැරකෙනවා යැයි සිතන මානාධික පුද්ගලයන් සමඟ වැඩ කිරීමේ ඵලවිපාකය අත් විඳිමින්, පසුගිය දින කීපයේ, මා අති මහත් මානසික නොසන්සුන්තාවකින් විඳවන අතරවාරයේ දී ය, ගාමිණි මුතුකුමාරණ සොයුරාගේ “නොනිමි අරගලයක මතක ගිනි පුපුරු” කෘතිය මා අතට පත් වූයේ. හිත හික්මවා ගනිමින් එදිනෙදා යෙදෙන සුපුරුදු කාර්යයන්වල යෙදීමටවත් නොහැකිව සිටි නිසා ඒ බැරැති පොත සමඟ තනි වෙන්නට මම තීරණය කළෙමි.
මට මතක මම ඒ කෘතියේ මුල් පිටු කිහිපය පෙරළනවා පමණි. මට මා අමතක විණි, මගේ සිත් තැවුල් මට අමතක විණි, සමහර විට මට දවල් රෑ වෙනස් වෙනවා ද නොදැනෙන්ට ඇත. මගේ පුංචිම පුංචි කාලයේ බොඳවුණු ළමා මතකයන් ගොන්නක් ද සමඟින් මුහු වෙමින් සුන්දර මෙන්ම අසුන්දර වූ, බිහිසුණු සේම විර වික්‍රමාන්විත වූ, ඒ නිර්භීත තරුණ පරපුරේ මෙන්ම, ඒ අධම මිනිසුන්ගේ කතා වස්තුව සිනමා පටයක් මෙන් මා ඉදිරියේ දිග හැරෙන්නට විය.
ලාංකේය දේශපාලන ඉතිහාසය පිළිබඳ උනන්දු වෙන අයෙකුට 1971- 1988/89 හා ඉන් තරමක් ඔබ්බට විහිදෙන කාල පරාසය යනු කිසිදු ආකාරයකින් මඟ හැර යා නොහැකි වැඩ බිමකි. ඒ කාලය තුළ දකුණේ සිදුවුණු ජනඅරගල පිළිබඳ සිතාබලන විට මට සිහිපත් වන්නේ, මට මතක ඇති කාලයේ සිට මා අවට බොහෝ වැඩිහිටියන් සේම මාධ්‍ය මඟින් ද මා මනස තුළට ඇතුළු කර තිබු අදහස වූයේ, දකුණේ සිදුවුනු එම ජන අරගල විසින්, ඉතාමත් ‘සුවෙන් සතුටින්’ ජීවත් වූ රටේ තරුණ පිරිස රවටා ජන අරගලවලට ඇද දමා ඔවුන්ගේ ජිවිත නිස්කාරණේ විනාස කල බවකි. එවිට ඒ ජීවිත විනාශ වීමේ සම්පූර්ණ වගකීම, එහි දේශපාලන නායකත්වය සහ එයට දායකත්වය දුන් තරුණ පිරිස දැරිය යුතු බවක් වැනි අදහසක් ඉන් ගම්‍ය වෙයි. එම අදහස සමාජයේ බහුතර මතය බවට පත් වන විට, තරුණ තරුණියන් එවැනි අරගලයක් වෙත පිවිසීමේ ඓතිහාසික සමාජීයය තත්වයන් සේම ඒ පිළිබඳ රාජ්‍යයේ මර්ධනකාරී භුමිකාව ද නොතකා හැරෙයි.
මගේ කුඩා කල බොඳ වූ මතකයන්ට අනුව සේම, පසුකලෙක වැඩිහිටියන්ගෙන් අසා, කියවා දැන ගත් කරුණු අනුව ඒ කාල වකවානුවේ අරගල කල තරුණ තරුණියන් මත ඉතාමත් ම්ලේච්ඡ මර්ධනයක් දියත් කර තිබුන බව මම පසුකලෙක වටහා ගත්තෙමි. එහෙත් ඒ සා අමානුෂික මර්ධනයක් ක්‍රියාත්මක කළ රාජ්‍ය යාන්ත්‍රණයට අති බහුතරයක් ජනතාව එරෙහි වූයේ නැත. දහස් ගණන් තරුණ මළ සිරුරු ගංගාවල පාවෙද්දි, ටයර් මත පිලිස්සි යද්දී ඔවුන් ඒ පාලකයා පිළිබඳ කලකිරුනේ ද නැත. එසේ වුයේ නම් ඒ මහා මිනිස් ඝාතනවලින් පසුව දකුණේ පැවති මැතිවරණ වලදි, ඒ බව ඡන්දෙයන් හෝ ප්‍රකාශ විය යුතුය. එය එසේ වූයේ නැත. නමුත් සිදු වූ එකම දේ නම්, රාජ්‍යයට එරෙහිව සිදුවුනු එවැනි අරගලත් ඒ අරගලවලට දායක වූ තරුණ පරපුරත්, සමාජය තුළ ප්‍රතික්ෂේප වීමත් හෙළා දැකීමත් පමණි. එහිදී ඉතා කුමන්ත්‍රණකාරී ලෙස ප්‍රජාතන්ත්‍රවාදී මඟ අහුරමින් ඕනෑම පුරවැසියෙකුට නිදහසේ තමන් කැමති දේශපාලනයක නිරතවීමේ අයිතිය වළකාලූ පාලක තන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය ප්‍රශ්න කෙරුනේ නැති තරම්ය.
එම නිසා යම් උදාර පරමාර්ථයක් වෙනුවෙන්, මිනිසාට පරිකල්පනය කළ නොහැකි තරම් ජීව ගුණයකින් යුතුව මරණය පෙනි පෙනී සටන් කළ ඒ තරුණ පරම්රාවට සමාජය තුළින් ලැබිය යුතු ගරුත්වය පැසසුම නොලැබුයේ ඇයි ද යන්න සහ ඒ නිර්භීත තරුණ පරපුර, මිනිසෙකුට දරාගත නොහැකි තරමේ වධ වේදනා විඳිමින්, ජිවිත කැප කරමින් ඔවුන් කිනම් අරමුණක් වෙත ගමන් කිරීමට උත්සාහ කළේ ද යන්න යම් තරමකට හෝ ලාංකේය සමාජය වටහා ගත්තේ ද යන ගැටළු මා තුල ඇති වූයේය.
එසේම එම කාල වකවානුව තුළ සිදුවු සමහර සිදුවීම් එසේ සිදු නොවුනා නම් කෙතරම් හොඳ ද, එවැනි සිදුවීම් වලට හේතු පාදක වූ ඓතිහාසික හෝ සමාජීය තත්වයන් මොනවාද යන්න, නැතිනම් ඒවා වළක්වාගත හැකිව තිබූ අත් වැරදීම් ද යන්න මම පසුකලෙක සිතමින් සිටියෙමි. එහෙත් ඒ අතීත සිදුවීම්, විඳවීම්, වියෝගයන්, පරාජයන් කාලය විසින් ගිල ගත්තා මිසක ඒ පිළිබඳව ලියැවුණු කිසිම සාහිත්‍යයකින් හෝ කිසිදු මාධ්‍ය වාර්තාවකින් ඒ කිසිවකට සාධනීය පිලිතුරු ලැබුනේ නැත.
ගාමිණි මුතුකුමාරණ සොයුරා විසින් ලියන ලද “නොනිමි අරගලයක මතක ගිනි පුපුරු” නම් කෘතිය යනු බොහෝ කාලයක් මා මනසේ ගැවසුනු ඉහත සඳහන් කළ ගැටළු බොහෝ ගණනාවකට මට පිලිතුරු ලබා දුන්නේ යැයි සිතිය හැකි කෘතියකි. එහෙත් ඉතිහාසය යනු ප්‍රබන්ධයකි. එහි විවිධ ස්වරූප සහ පැති මාන තිබිය හැකිය. මේ ඉතිහාස කතාව වෙනත් මානයකින් වෙනත් ප්‍රවේශයකින් තවත් කෙනෙකුට ලිවිය හැකිය. ඒවායේ සත්‍ය අසත්‍යතාව සංවාදයට විවෘත බව ද අප අමතක නොකළ යුතුය.
කාලයෙන් නොව සිදුවීම් වලින් සුවිසාල, ඒ දසවසරකට අධික කාල වකවානුවේ, සිදුවූ සෑම සිදුවීමක්ම එක් කෘතියකට ගැනීම කල නොහැකි දෙයකි, එහෙත් ගාමිණී සොහොයුරා මේ කෘතියේ මුලික වියමන ලෙස දකුණේ තරුණ අරගලයකට සක්‍රීයව දායකත්වය දුන් කෙනෙකු ලෙස ඔහු ලැබූ පෞද්ගලික අත්දැකීම් ගොන්න යොදා ගන්නා අතරවාරයේ, ඔහුට හැකි උපරිමයෙන් ඒ යුගයේ සිදු වුණු සිදුවීම් වලට පාදක වුණු ඓතිහාසික සමාජීයය තත්වයන් ද පැහැදිලි කිරීමට උත්සාහ දරා ඇත.
“නොනිමි අරගලයක මතක ගිනි පුපුරු” කෘතියට මූලිකව පාදක වන්නේ ගාමිණී සොයුරාගේ අතීත මතකයන් වුවත්, එය කතා රසයෙන් අනූනය, ඒ කතුවරයා සිය අතීත මතකයන් පාඨකයා වෙත ගෙන එන සිත් ගන්නා සුළු භාෂා විලාසය නිසාය. විටෙක කෘතියේ අන්තර්ගතය විශ්ලේෂණාත්මකය, විටෙක දැඩි ලෙස විවේචනාත්මකය. කතුවරයා එක් මිනිසෙකු සතු උපරිම ශක්තිය යොදවා ඒ ගැඹුරු ඉතිහාස පදාසයේ ආලෝකයත් අඳුරත් එකට කැටි කොට පාඨකයා වෙත සමීප කරවීමට උත්සාහ දරා ඇත. එහෙයින් ඔහුගේ ඒ මාහැඟි වෙහෙසට අපි සැබවින්ම ප්‍රණාමය පුද කළ යුතු වෙමු.
අවසාන වශයෙන් කිව යුතු වන්නේ ලංකාවේ ඒ අරගල ඉතිහාසය පිළිබඳ කුතුහලයෙන් යුතු සිටින්නෙකුට “නොනිමි අරගලයක මතක ගිනි පුපුරු” යනු කිසිසේත්ම නොතකා හැරිය නොහැකි කෘතියක් බවයි. එය කියවන විට නරුමයකු නොවෙන ඕනෑම පාඨකයෙකුගේ හුස්ම මොහොතකට නතර කරවයි, දෑස් කඳුළින් පුරවාලයි, හදවත බර කරවයි.. ඒ පිටු අතර රැඳුන මිනිස් ජිවිත වල බර ඔහුගේ හෝ ඇයගේ ආත්මය ඔත්පල කරවයි.
එහෙත් අප එය කියවිය යුතුමය, මක්නිසාදයත් මේ රටේ එක් අදීන උදාර පරපුරකගේ කතාන්තරය ඒ වූ නිසාය.
එහෙත් මට තවත් ප්‍රශ්නයක් ඉතිරිව ඇත: තමන් විශ්වාස කළ උත්තරීතර අරමුණක් වෙනුවෙන් ඒසා විශාල කැපකිරීමක් කිරීමටත්, මිනිසත්බව අභිබවා සියලු වධ වේදනා දරා ගන්නත්, අවශ්‍ය මොහොතේ ජීවිත පරිත්‍යාග කරන්නටත් හැකි මිනිසා සතු ඒ ජීව ගුණය පැන නඟිනේනෙ කොතැනින්ද?
මේ කෘතිය කියවන විට මා වඩාත් සසල කල පැනය එයයි.. ඒ ජීව ගුණය පැන නඟින්නේ කොතැනින්ද??