මන්නාරම දූපත ආශ්‍රිතව ඉදිකිරීමට නියමිත මන්නාරම සුළං බලාගාරයේ දෙවන ව්‍යාපෘතියට අදාළව සුළං ටර්බයින රැගෙන යන වාහන ගමනාගමනය නවත්වමින් මන්නාරම ප්‍රදේශයේ ජනතාව විරෝධතාවල නිරතව තිබේ . මෙම සුළං විදුලි බලාගාර ඉදි කිරීමට එරෙහිව මුලු උතුරු පළාත පුරාම දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතීන අතර ජනතාව පෙන්වා දෙන්නේ එම බලාගාර ඉදි කිරීම නිසා උතුරේ ධීවරයින්ට මත්ස්‍ය සම්පත අහිමි වී යන බවය.
සුළං ටර්බයින් හා සුළං බලාගාර වෙත රැගෙන යන ටර්බයින් දැති රෝද මේ දිනවල ත්‍රිකුණාමලය වරායේ සිට මන්නාරම නගරය වෙත රැගෙන එමින් ඇතැයි පැවසේ.
ජනතා විරෝධතා හමුවේ සුළං ටර්බයින් රැගෙන ගිය වාහන මන්නාරම ප්‍රධාන පාලම අසළ නවතා දැමීමට වාහන රියැදුරන්ට සිදුවූ අතර, අදාළ භාණ්ඩවල ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය යොදවා තිබේ.
මන්නාරම සිවිල් සංවිධාන එකමුතුවේ සභාපති අරුතන්දෙයි මාර්කස් BBC සේවය සඳහා අදහස් දක්වමින් පැවසූවේ වර්තමානයේදී මන්නාරම දූපත ගැටලු රැසකට මුහුණ පා ඇති බව ය. මන්නාරම දිස්ත්‍රික්කය තුළ ඉල්මනයිට් ඛනිජ වැලි කැණීමට හා මන්නාරම දූපතේ සුළං බලාගාර ව්‍යාපෘති ආරම්භ කිරීම තුළින් මන්නාරම දිස්ත්‍රික්කයේ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වි ඇති බව ඔහු සඳහන් කර ඇත.
“මන්නාරම සුළං බලාගාර දෙවන ව්‍යාපෘතිය සඳහා මේ දිනවල රාත්‍රී කාලයේ ටර්බයින් හා ටර්බයිනවලට සවි කරන දැති ගේනවා. දැන් මේ දෙවැනි සුළං බලාගාර වැඩසටහන ආරම්භ කරමින් තිබෙන්නේ.”
“ආරම්භ කරලා තිබෙන පළමු සුළං බලාගාර වැඩසටහන හින්දා ප්‍රදේශයේ ජනතාව ගැටලු රැසකට මුහුණ දීලා තිබෙනවා. දැන් දෙවැනි වැඩසටහනත් ආරම්භ කළොත් මන්නාරම ජනතාවට තවත් ගැටලු රැසකට මුහුණ දෙන්න වෙයි,” ඔහු සඳහන් කරයි.
“දැන් ඇති. කරලා තිබෙන සුළං බලාගාර වැඩසටහන හින්දා වැසි සමයේ අප ජලය මුහුදට ගලාගෙන ගිය ඇළ මාර්ග සියල්ල වහලා තිබෙන්නේ. ඒ හින්දා වැසි කාලයට ජලය ගලාගෙන යන්න ක්‍රමයක් නෑ. වැසි ජලය ගලාගෙන යන්න තැනක් නැති හින්දා වැස්සට එකතු වෙන වතුර ඔක්කෝම ගම්වල රැඳිලා තිබෙනවා. ඒ හින්දා වැහි කාලයේ ජල ගැලීම් ඇතිවීම සාමාන්‍ය දෙයක් වෙලා තිබෙනවා.”
“ඒත් එක්කම මේ සුළං බලාගාර හින්දා සංචාරක කුරුල්ලන්ට මන්නාරම දූපතට පැමිණීමේදී ගැටලු ඇති වෙලා තිබෙනවා. කුරුල්ලන් පැමිණීමේ මාර්ග අවහිර කරලා තමයි සුළං බලාගාර හදලා තිබෙන්නේ. ඒ හින්දා සංචාරක කර්මාන්තයටත් බලපෑම් එල්ල වෙලා තිබෙනවා.”
“කුරුල්ලෝ එන කාලයට දූපතට එන සංචාරකයෝ කුරුල්ලන් නැති නිසා දැන් එන්නේ නැති තත්ත්වයක් තමයි තිබෙන්නේ. මේ වාගේ ගැටලු රැසක් දැනට තිබෙන සුළං බලාගාර හින්දා ඇති වෙලා තිබෙනවා. තවත් සුළං බලාගාරයක් හැදුවොත් මේ ප්‍රශ්න දෙගුණ වෙයි කියලා තමයි අපි හිතන්නේ. ඒ හින්දා නැවත සුළං බලාගාර වැඩසටහනක් මන්නාරම දූපතට ඕනේ නෑ,” යනුවෙන් මාර්කස් සඳහන් කර ඇත.
මේ අතර සුළං බලාගාරය ඉදිකිරිම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිචාර ද ජනතාවගේ කෝපයට හේතු වී තිබේ. බලශක්ති ඇමති කුමාර ජයකොඩි පුවත්පතක සම්මුඛ් සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ මේ ප්‍රදේශයේ කළ සංචාරයකදී තමන් ඇතැමුන් කියන ආකාරයෙන් කුරුල්ලන් නොදුටු බවයි.
මේ සම්බන්ධයෙන් කෝපය පලකරන පරිසරවේදීන් පවසන්නේ මන්නාරමේ ඉන්න කුරුල්ලෝ ගැන, මන්නාරමෙන් ලංකාවට ඇතුල්වෙන සංක්‍රමණික කුරුල්ලෝ ගැන, මෙතරම් පර්යේශණ සිදුකර, දත්ත ඇතුළත් පර්යේෂණ පත්‍රිකා , ලිපි සහ වෙනත් තොරතුරු මූලාශ්‍ර තිබියදී බලශක්ති ඇමතිගේ ප්‍රකශය මුග්ද ප්‍රකාශයක් බවයි.
කෙසේහෝ ආණ්ඩුව මේ සූදානම් වෙන්නේ ජනතාවගේ විරෝධය තඹේකට මායිම් නොකරමින් තම වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට බව පෙනේ. මෙහි ඇති උපහාසාත්මක කාරණයක් වන්නේ මෙම ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා මූලික අඩිතාලම දමනු ලැබුවේ රනිල් – රාජපක්ෂ ආණ්ඩුව විසින් වීමයි. ආණ්ඩුව එම වැඩපිළිවෙල ඉදිරියට රැගෙන යාම හැර වෙනත් විකල්ප වැඩපිළිවෙලක් ගැන අදහසක් නොමැති බව මේ අනුව පැහැදිලි වේ.